ශ්‍රී ලංකාවේ ජනතාව තුළ කොස් ගස සමඟ ඇති සාම්ප්‍රදායික බැඳීම ගලා එන්නේ දිගු කලක සිටයි. බත් ගස ලෙස ද හඳුන්වන මෙය යම් දුර්භික්ෂ කාලයන්වලදී පවා සිංහලයාගේ කුසගිනි නිවන්නට සහාය වන මනා ආහාරයක් වී තිබිණි.
ගැට පොළොස් මාළුව, ගෙඩිය පැහුණු පසු කිරි කොස් මාළුව මෙන්ම ඉදුණු පසු වැළ වරකා ලෙස පලතුරක් වශයෙන් ද ආහාරයට ගැනීම ප්‍රචලිතව ඇති කොස්, මිනිස් සිරුරට දෙන පෝෂණය ද ඉතා ඉහළයි. ප්‍රොටීන්, විටමින්, කාබෝහයිඩ්රේට්, පොටෑසියම් ආදිය දෙන කොස් හරහා පිළිකාකාරක නැසීම, ආහාර දිරවීම, නීරක්තිය ඇති වීම වැළැක්වීම, රුධිර පීඩනය පාලනය ආදිය ඇතුළු තවත් සෞඛ්‍යමය වාසි රැසක් අත්වේ.
මෙබදු වටිනාකමක් ඇති කොස් අහාරයට ගැනීම සම්බන්ධයෙන් මේ වන විට අප රට තුළ පෙරට වඩා අවධානය යොමු වී තිබේ. ඉදිරියේ ඇති විය හැකි ආහාර අර්බුදයට එක් විකල්පයක් ලෙස ද කොස් වියළා කල් තබා ගැනීමට කටයුතු කිරීම වඩාත් සුදුසුය. මෙවර කොස් පලදාව ද යහමින් තිබේ.
මෙම සියලු කරුණු අවධානයට ගත් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ෙජනරාල් එන්.ආර්. ළමාහේවා මහතාගේ සංකල්පයක් අනුව සහ අනුරාධපුර කලාපයේ සිවිල් ආරක්ෂක බළකා අණ දෙන නිලධාරී කර්නල් හර්ෂ ප්‍රේමචන්ද්‍ර, එම කලාපයේ සංවර්ධන නිලධාරී අකිලා මංචනායක යන මහත්ම මහත්මීන්ගේ අධීක්ෂණයෙන් කොස් පලදාවෙන් ආහාර වර්ග සැකසීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.
මැදවච්චිය සහ පෙරියකුලම සිවිල් ආරක්ෂක බළකා උප කලාපයේ ජ්‍යෙෂ්ඨ නියාමක ජී.අබේරත්න මහතාගේ මූලිකත්වයෙන් එහි සිටින සිවිල් ආරක්ෂක සෙබළ සෙබළයන් මෙම කාර්යයන් දිනපතා ඉතා යුහුසුලුව සිදුකරමින් සිටී. කොස්වලින් සකසන පොළොස්, කිරි කොස්, කොස් මැල්ලුම්, පලතුරක් ලෙස ආහාරයට ගැනීම හා කළු පොල් මාළුව හැරුණු කොට කල් තබා ගත හැකි තවත් බොහෝ රසවත් ආහාර කොස්වලින් සැකසිය හැකි බව මෙම භට පිරිස් ඔප්පු කර තිබේ.
සාමාන්‍යයෙන් කොස් ගසක වසරකට ගෙඩි 100ත් 200ත් අතර ප්‍රමාණයක් හට ගනී. ඉන් ප්‍රයෝජනයට නොගෙන ගස් යට වැටී විනාශ වන කොස් ප්‍රමාණය කොතරම් ද, එහෙත් මෙම සෙබළුන් එම කොස්වලට අගයක් දෙන්නට පටන් ගෙන තිබේ.
කොස් වියළා එයින් ආහාර වර්ග රාශියක් සකස් කිරීම මොවුන් විසින් ආරම්භ කර තිබේ. වියළි කොස් මැල්ලුම, කොස් ඉරි බැදුම, කොස් ඇට බයිට්, කොස් මදුළු පපඩම්, සීනි තැවරූ වියළි කොස් මදුළු, කොස් ඉරි ඩෙවල්, කොස් මදුළු බයිට් ආදි ආහාර වර්ග කිහිපයක්ම මෙලෙස සකසා වෙළෙඳපොළට නිකුත් කිරීමට සැලසුම් කර තිබේ. කිසිදු වියදමක් නොමැතිව සැකසිය හැකි ලාභ ලැබිය හැකි මෙන්ම, පවතින ආහාර අර්බුදයට විසඳුමක් වශයෙන් ද, ආහාර සුරක්ෂිතතාව ඇති කිරීමේ පිළියමක් වශයෙන් ද මෙම කොස් නිෂ්පාදන සිදු කරන සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අනුරාධපුර බළකායේ පෙරියකුලම උප බළකාය කාලීන වශයෙන් දෙමින් සිටින්නේ මනා ආදර්ශයකි.
සටහන සහ ඡායාරූප
අමිල ප්‍රභාත් වනසිංහ
නව අදහස දක්වන්න