එකස්ප‍්‍රස් පර්ල් පරීක්ෂණ අවසන් අදියරේ | දිනමිණ

එකස්ප‍්‍රස් පර්ල් පරීක්ෂණ අවසන් අදියරේ

කොළඹ වරාය ආසන්න මුහුදේ දී එක්ස්ප‍්‍රස් පර්ල් භාණ්ඩ ප‍්‍රවාහන නෞකාව ගිනිගැනීමේ සිද්ධියට අදාළ පරීක්ෂණ කටයුතු තවදුරටත් සිදුකෙරෙමින් පවතින බව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයට අද(21) දැනුම් දෙනු ලැබීය.
 
ඒ, මෙම සිද්ධියට අදාළ නඩුව අද පෙරවරුවේ කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ කැඳ වූ අවස්ථාවේදීය.
 
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ සිද්ධියට අදාළ පරීක්ෂණ කටයුතු අවසන් අදියරේ පවතින බවයි.
 
එමෙන්ම අදාළ පරීක්ෂණ කටයුතු අවසන් කර කරුණු ඉදිරිපත් කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙස ද රජයේ නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
 
ඒ අනුව අදාළ නඩුව ලබන නොවැම්බර් මස 23 වනදා කැඳවන ලෙස නියෝග කළ කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා එදින සිද්ධියට අදාළ පරීක්ෂණවල ප‍්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද රජයේ නීතිඥවරයාට නියෝග කරනු ලැබීය.
 
මෙම නඩුවේ සැකකරුවන් ලෙස නම්කර ඇත්තේ ගිනිගත් නෞකාවේ රුසියානු ජාතික කපිතාන්වරයා සහ නෞකාවේ දේශීය නියෝජිත සමාගමේ අධ්‍යක්ෂවරුන් සිව් දෙනෙකි.

නව අදහස දක්වන්න