ඇමෝනියා නයිට්‍රේට් කිලෝ 125ක් සමඟ ව්‍යාපාරිකයෙක් දැලේ | දිනමිණ

ඇමෝනියා නයිට්‍රේට් කිලෝ 125ක් සමඟ ව්‍යාපාරිකයෙක් දැලේ

ඉන්දියාවේ සිට මුහුදු මාර්ග ඔස්සේ හොර රහසේ මෙරටට රැගෙන පැමිණ ඇතැයි කියනු ලබන පුපුරන ද්‍රව්‍ය ලෙස භාවිත කරන ඇමෝනියා නයිට්‍රේට් කිලෝ 125ක් සමඟ ව්‍යාපාරිකයකුව පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් දෙල්ගොඩ ප්‍රදේශයේදී පෙරේදා (20) රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන තිබේ.

විදුලියෙන් ධාවනය වන යතුරු පැදි ජපානයෙන් ආනයනය කර බෙදා හැරීමේ ව්‍යාපාරයක හිමිකරුවකු බව කියන මේ ව්‍යාපාරිකයා කැබ් රථයකින් මේ පුපුරන ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කරමින් සිටියදී දෙල්ගොඩ පනන්වල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය සඳහන් කළේය. එම වැටලීම සඳහා තොරතුරු විශේෂ කාර්ය බළකායට ලැබී ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදා බුද්ධි අංශයෙනි.

මේ ඇමෝනියා නටිට්‍රේට් තොගය තිබී ඇත්තේ කිලෝ 25 බැගින් වූ ඇසුරුම්වල අසුරාය. එම පුපුරන ද්‍රව්‍ය තොගයට අමතරව රුපියල් ලක්ෂ 05ක මුදලක් ද ව්‍යාපාරිකයා සතුව තිබී විශේෂ කාර්ය බළකාය සිය භාරයට ගෙන තිබේ. 41 වියැති මේ ව්‍යාපාරිකයා දෙකටන හෙළුම්මහර පදිංචිකරුවෙකි.

පුපුරන ද්‍රව්‍ය තොගය මේ ව්‍යාපාරිකයාට වෙනත් පුද්ගලයකුගෙන් ලැබී ඇති බවත් ඔහු ඒවා ගල් කොරිවලට අලෙවි කරන බවත් විමර්ශනවලින් අනාවරණය වී ඇත. කිලෝ 25ක් වූ එක් ඇසුරුමක් ඔහු අලෙවි කරන බව සඳහන් වන්නේ රුපියල් තුන් ලක්ෂ හැටදහසකටය. ඒ අනුව මේ පුපුරන ද්‍රව්‍ය තොගය ඔහු අලෙවි කිරීමට සූදානම් කර තිබී ඇත්තේ රුපියල් ලක්ෂ 18කටය.

 

ගයාන් කුමාර වීරසිංහ සහ ඇන්ටන් ප්‍රනාන්දු පනාගොඩ

නව අදහස දක්වන්න