ෂින්සෝ අබේගේ රාජ්‍ය අවමංගලෝත්සවයට විරෝධය පෑ පුද්ගලයකු සිරුරට ගිනි තියාගෙන | දිනමිණ

ෂින්සෝ අබේගේ රාජ්‍ය අවමංගලෝත්සවයට විරෝධය පෑ පුද්ගලයකු සිරුරට ගිනි තියාගෙන

ජූලි මාසයේදී ඝාතනයට ලක් වූ හිටපු අගමැති ෂින්සෝ අබේගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට විරෝධය දැක්වීම සඳහා ජපන් ජාතිකයකු සිරුරට ගිනි තබාගෙන ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කළේය. ඔහු මේ ක්‍රියාව සිදු කර ඇත්තේ ලබන 27 වැනිදා ටෝකියෝ නුවරදී පැවැත් වීමට නියමිත හිටපු අගමැතිවරයාගේ රාජ්‍ය අවමංගලෝත්සවයට මහජන මුදලින් ඩොලර් මිලියන 11කට වැඩි ප්‍රමාණයක් වෙන් කිරිමට විරෝධය පාමිනි. පසුගියදා ටෝකියෝ නුවර අගමැති කාර්යාලය අසලදී ඔහු මෙසේ තම සිරුරට ගිනි තබා ගෙන ඇති අතර, පොලිසිය හා ගිනි නිවන භටයන් එක්ව ගින්න මැඬ පැවැත් වීමට කටයුතු කර ඇත. පසුව ඔහු රෝහල් ගත කර ඇති අතර, ඔහුගේ තත්ත්වය බරපතළ බව ද වාර්තා වේ. 70 හැවිරිදි එම පුද්ගලයා ගිනි තබාගත් ස්ථානයේ ඔහු විසින් ලියනු ලැබූ ලිපියකින් සඳහන් කර ඇත්තේ මහජන මුදල් නාස්තියට එරෙහිව මේ පියවර ගත් බවය.

ලොව පුරා රාජ්‍ය නායකයන් ඇතුළු ප්‍රභූවරුන් 190කට වැඩි පිරිසක් සහභාගි වීමට නියමිත ෂින්සෝ අබේගේ රාජ්‍ය අවමංගලෝත්සවය සඳහා වැය කරන මුදල් ප්‍රමාණය සම්බන්ධව ජපානයේ තවත් පළාත් රැසක විරෝධතා පැවැත්වේ.

 

නව අදහස දක්වන්න