කෝටිපති වෙළෙන්දකුගේ වෙස්ගෙන ලක්ෂ 300ක අගරු චෙක් දුන් සැකකරු කොටු වෙයි | දිනමිණ

කෝටිපති වෙළෙන්දකුගේ වෙස්ගෙන ලක්ෂ 300ක අගරු චෙක් දුන් සැකකරු කොටු වෙයි

කෝටිපති තොග වෙළෙන්දෙක් ලෙස පෙනී සිටිමින් කුළු බඩු සහ සහල් තොග වශයෙන් මිලදී ගනිමින් අගරු චෙක්පත් දෙමින් රුපියල් ලක්ෂ 300ක් පමණ මුදලක් වංචා කරමින් පොලිසියට කට්ටි පනිමින් සිටි පුද්ගලයකුව කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවතේ පිහිටි රාත්‍රි සමාජ ශාලාවක කැසිනෝ ගැසීමට පැමිණ සිටියදී කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ වංචා විමර්ශන කාර්යාංශයට පසුගිය 15 දා ලද රුපියල් විසිපන් ලක්ෂ හැටනව දහසක අගරු චෙක්පතක් දී හාල් තොගයක් මිලදී ගැනීමක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මේ වංචාකරුව කොටු කර ගැනීමට වංචා විමර්ශන කාර්යාංශය සමත්ව ඇත.

ඒ වන විට 2019 වසරේදී කරාබු නැටි සහ ගම්බිරිස් තොගයක් මිලදී ගෙන රුපියල් දහතුන් ලක්ෂ තිස්හතර දහස් පන්සිය විසි හතක සහ රුපියල් දොළොස් ලක්ෂ පනස් දහසක අගරු චෙක්පත් දීමක් ගැන පැමිණිලි දෙකක් ද වංචා විමර්ශන කාර්යාංශයට ලැබී තිබී ඇත.

මේ පැමිණිලි දෙක මෙන්ම ඉකුත් 15 දා ලද පැමිණිල්ල අධ්‍යයනය කිරීමේදී මේ වංචා සියල්ලකටම සම්බන්ධව සිටින්නේ එකම පුද්ගලයෙක් බව වංචා විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දුමින්ද බාලසූරිය මහතා විසින් අවබෝධ කර ගනිමින් විමර්ශන ආරම්භ කර තිබේ.

හාල් වංචාව කර ඇත්තේ සුඛෝපභෝගි මෝටර් රථයකින් තොටලඟ නාගලගන් වීදියේ පිහිටි ඉන්දියාවෙන් සහල් ආනයනය කරන ව්‍යාපාරිකයෙක් මුණගැසී රුපියල් ලක්ෂ 45ක හාල් ඇණවුමක් මුලින්ම දෙමිනි. එහිදී ඔහු සහල් ආනයනකරුට පවසා ඇත්තේ එකවර මුදලින් ගෙවීම් කරන බවය. ඒ අනුව මේ වංචාකරු පසුගිය 14 දා ලොරියක්ද රැගෙන ගොස් ඔහුගේ ඇණවුමට සරිලන ප්‍රමාණයට සහල් තොගය ලොරියේ පටවාගෙන ඇත. සහල් තොගයම ලොරියට පැටවීමෙන් පසු ඔහු ආනයනකරු අතට මුදලින් දී ඇත්තේ ලක්ෂ 20ක් පමණි. ඉතිරි මුදලට සරිලන ලෙස චෙක්පතක් ආනයනකරු අතට දී තිබේ.

මේ සහල් තොගය ආනයනකරුගේ ගබඩාවෙන් ලොරියට පටවා ඇත්තේ රාත්‍රි කාලයේදීය. වංචාකරු පවසා ඇත්තේ දහවල් කාලයට පිටකොටුවේ දැඩි වාහන තදබදයක් ඇති බැවින් සිය ගබඩාවට හාල් ගොඩබෑම සවස් කාලයේදී පහසු බවය. එසේ සහල් තොගය ලොරියට පැටවීමෙන් පසු මුදල් කොටසක් පමණක් දීම ගැන ආනයනකරු එතරම් කැමැත්තක් නොදැක්වීම නිසා වංචාකරු ඔහුට පවසා ඇත්තේ හාල් තොගය ගබඩාවට රැගෙන යෑමෙන් පසු තමා මුදල් දෙන බවය. එතෙක් චෙක්පත ළඟ ලබා ගන්නා ලෙසත් හාල් පැටවූ ලොරියේ ආනයනකරුගේ සේවකයකුට චෙක්පත ද රැගෙන පැමිණෙන ලෙසත් එහිදී පවසා තිබේ.

ඊට ආනයනකරු එකඟවීමත් සමඟ හාල් තොගය කොළඹ පිටකොටුවේ තොග ගබඩාවක් වෙත රැගෙන ගොස් ඇත. ඒ වන විට තොග ගබඩාව තිබී ඇත්තේ දොරගුළු ලා වසා දමාය. සිය සේවකයන් වැරදීමකින් දොරගුළු ලා ගොස් ඇති බව පවසමින් දුරකථන ඇමතුම් දෙමින් කිසිවකුට බැන වැදුණු වංචාකරු අවසානයේදී ආනයනකරුට දැනුම් දෙන්නේ පසුදින උදෑසන 9.00 වන විට සේවකයෙක් චෙක්පතත් සමඟ එවන ලෙසත් එවිට මුදල් දී හාල් තොගය ගබඩාවට ලොරියෙන් බා ගන්නා බවත්ය.

වෙන කරන්නට කිසිවක් නැති වූ තැන වංචාකරුගේ වචනය විශ්වාස කරමින් ආනයනකරු එම යෝජනාවට එකඟවී පසු දින එම ගබඩාවට ගෝලයෙක් එවා බැලීමේදී එම ගබඩාව ඉදිරිපිට නවතා තිබුණු හාල් ලොරිය තිබී නැත. ගබඩාව වෙත ගොස් සොයා බැලීමේදී එම ස්ථානය සහල් ගබඩා කරන ස්ථානයක් නොවන බවත් එවැනි ඇණවුමක් කර නැති බවත් අනාවරණය වීමත් සමඟ ආනයනකරු තමන් වංචාවකට හසුවී ඇති බව දැනගෙන ඒ බව වංචා විමර්ශන කාර්යාංශයට පැමිණිලි කර තිබේ.

එම චෙක්පතත් අගරු චෙක්පතක් බව බැංකුවට ඉදිරිපත් කිරීමේදී අනාවරණය වී ඇත.

2019දී ලද පැමිණිලිවලට අදාළ ගම්මිරිස් සහ කරාබුනැටි ද මිලදී ගෙන මේ වංචාව කර ඇත්තේ දුර පළාත්වලින් කොළඹට එම කුළුබඩු ගෙන්වාගෙනය. ඉතා සටකපට ලෙස මේ පුද්ගලයා අහිංසක ව්‍යාපාරිකයන් සහ ගොවීන් රවටමින් දීර්ඝ කාලයක් තිස්සේ මේ වංචාවේ නිරතව සිට ඇති බව විමර්ශනවලින් වංචා විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ට පෙනී ගොස් තිබේ.

වංචා විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපතිවරයා විසින් වංචාකරු කොටු කර ගැනීමට ඔහු පස්සේ පැන්නීමට පටන්ගෙන ඇත්තේ හාල් ආනයනකරු මුණගැසීමට පැමිණි මෝටර් රථයේ අංකය ඔස්සේය. ආරක්ෂක කැමරා දර්ශනවලින් වාහනයේ අංකය සොයාගත් වංචා විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් එහි හිමිකරු හඳුනාගෙන ඇත. එහිදී අනාවරණය වී ඇත්තේ හිමිකරු වංචාකරුගේ බිරිය බවය.

වාහනය ලියාපදිංචි කරන අවස්ථාව වන විට පෑලියගොඩ දුටුගැමුණු පාරේ පදිංචිව සිටි වංචාකරු ඒ වන විට වත්තල හුණුපිටිය පැත්තේ කුලී නිවෙසක පදිංචිව සිටින බවට තොරතුරු වංචා විමර්ශන කාර්යාංශය සිය විමර්ශනවලින් සොයා ගත්තේය. එහෙත් වත්තල හුණුපිටියේ ඔහු පදිංචිව සිටින ස්ථානයක් ගැන නිශ්චිත තොරතුරක් නොවූ තැන වංචා විමර්ශන කාර්යාංශය ඔහු ගැවසෙන තැන් ගැන දුරකථන ජාල විශ්ලේෂණයක් ඇතුළු විද්‍යාත්මක විමර්ශනයක් ඔස්සේ සොයා බැලීමකදී අනාවරණය වන්නේ ඔහු කොළඹ ඩී.ආර්. විජයවර්ධන මාවතේ පිහිටි රාත්‍රි සමාජ ශාලාවකට කැසිනෝ ගැසීමට නිතර පැමිණෙන බවය.

ඒ අනුව වංචා විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති දුමින්ද බාලසූරිය මහතා විසින් සිය පෞද්ගලික ඔත්තුකරුවන් යොදා ඒ ගැන කරුණු සොයා බැලීමේදී අනාවරණය වන්නේ මේ වංචාකරු තදින්ම කැසිනෝ සූදුවට ඇබ්බැහි වී සිටින්නකු බවය. ඉකුත් 20 දා ඔහු එම කැසිනෝ ගැසීමට එහි පැමිණි විට පෞද්ගලික ඔත්තුකරුවන්ගෙන් ලද තොරතුරකට අනුව දුමින්ද බාලසූරිය මහතා කණ්ඩායමක් සමඟ රැක සිට සමාජ ශාලාවෙන් පිටතට එන අවස්ථාවේදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ. එදින ඔහු කැසිනෝ සූදුවෙන් අහිමි කරගෙන තිබුණු මුදල රුපියල් ලක්ෂ 04කි.

අත්අඩංගුවට ගත් මේ වංචාකරුව දුමින්ද බාලසූරිය මහතා ඇතුළු නිලධාරීන් රැගෙන යන්නේ ඔහු ඒ වන විට පදිංචිව සිටි වත්තල හුණුපිටියේ පිහිටි නිවෙසකටය. එහි ගොස් කළ පරීක්ෂාවේදී අගරු චෙක්පත් දුන් චෙක් පොත සමඟ 2018 වසරේ සිට ඔහු කළ මෙවන් වංචා ගැන සටහන් කළ පොතක් ද හමුවී ඇත. ඊට අනුව ගල්ගමුව කුරුණෑගල, හොරොව්පොතාන, සමන්තුරේ, ජාඇළ, වැලිමඩ, කඩුගන්නාව, මිද්දෙණිය, යාපනය, තංගල්ල, වැල්ලවාය, බදුල්ල, ත්‍රිකුණාමලය, ගම්පොළ, කෑගල්ල යන ප්‍රදේශවල පදිංචි ගොවීන් සහ වෙළෙඳුන් රවටා සියඹලා, වියළි හාල්මැස්සෝ, ගම්මිරිස්, ගොරක, පොල්තෙල්, බඩඉරිඟු, හාල්, පොහොර උර, රට කජු, කජු, කරුන්කා මිලදී ගනිමින් රුපියල් ලක්ෂ 300කට ආසන්න මුදලක් වංචා කර ඇතැයි වංචා විමර්ශන කාර්යාංශයට පෙනී ගොස් තිබේ.

 

 

ගයාන් කුමාර වීරසිංහ

නව අදහස දක්වන්න