ආසියානු සහෝදරත්වය | දිනමිණ

ආසියානු සහෝදරත්වය

මැලේසියාව, සිංගප්පූරුව, දකුණු කොරියාව, තායිවානය වැනි රාජ්‍යය මෑත කාලයේ ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් ලැබූ ආසියාවේ රාජ්‍යය ලෙස හඳුන්වනු ලැබේ. එම රටවල ආර්ථිකයේ කැපී පෙනෙන ලක්ෂණ තුනක් දැක ගත හැකිය. පළමුවැන්න: ලෝක වෙළෙඳාම සමඟ මේ රටවල ආර්ථිකය ඍජු ලෙස ගැට ගැසී තිබීමය. දෙවැන්න: රැකියා වෙළෙඳපොළ තුළ සැලකිය යුතු විදේශිකයන් ප්‍රමාණයකට රැකියා සම්පාදනය කර තිබීමය. තෙවැන්න: එම රටවල දේශපාලන අර්බුද හා සේවක වැඩවර්ජන අවම මට්ටමකින් පැවතීමය. ශ්‍රී ලංකාව ඉහත රාජ්‍යය සමඟ හොඳ සබඳතාවක් පවත්වාගෙන යන අතර, ආර්ථික විශේෂඥයන්ගේ මතයට අනුව ආසියානු ආර්ථිකයේ කැපී පෙනෙන දායකත්වයක් එම රාජ්‍යය පවත්වාගෙන යයි.

මැලේසියාවේ මහතීර් මොහොමඩ් හා සිංගප්පූරුවේ ලී ක්වාන් යූ ශ්‍රී ලංකාවේ ආර්ථික සංවාදය තුළ නිතර සාකච්ඡාවට ලක්වන කැපී පෙනෙන රාජ්‍ය නායකයෝ දෙදෙනෙකි. මහතීර් මොහොමඩ් ශ්‍රී ලංකාවට බෙහෙවින් ආදරය කළ රාජ්‍ය නායකයෙකි. අතීතයේදී ලී ක්වාන් යූ ශ්‍රී ලංකාවට කිහිප වරක් පැමිණි අතර, මෙරට ආර්ථිකය ගැන තෘප්තිමත්ව කතා කර ඇත. 1950 ගණන් වනවිට අපේ අපනයන ක්ෂේත්‍රය ශක්තිමත්ව පැවති අතර, අපට එදා ශක්තිමත් ආර්ථිකයක් තිබිණි. අපේ ආර්ථික ප්‍රතිපත්තිවල වැරැදි නිසාද වැඩසටහන්වල දුර්වලතා නිසාද එම තත්ත්වය වෙනස් වූ අතර, අද වන විට බරපතළ ආර්ථික අර්බුදයකට මුහුණ දීමට අපට සිදු වී ඇත. මේ තත්ත්වයෙන් ගොඩ යෑම සඳහා මිත්‍ර රටවල සහයෝගය ගැනීමට ද අපට සිදු වී ඇත.

මැලේසියානු රජය අපේ ආර්ථිකය ගැන සැලකිල්ල යොමු කරමින් ශ්‍රී ලංකාවට රැකියා දස දහසක් ලබා දීමට ඉදිරිපත්ව ඇත. එරට කැබිනට් මණ්ඩලය එය අනුමත කර ඇති අතර, ඒ බව ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇත. මේ අනුව අදාළ වැඩසටහන පසුගිය විසි එක්වැනිදා සිට ආරම්භ වී ඇත. රැකියා දස දහසක් දීම යනු සැලකිය යුතු ආර්ථික සහයෝගයකි. ඊළඟ වසර තුළ රාජ්‍ය අංශයේ රැකියා දීමට ඉඩ ප්‍රස්ථා නැතැයි රජය ප්‍රකාශයට පත් කර ඇත. තව පැත්තකින් බරපතළ විදේශ විනිමය හිඟයක් රටට බලපා තිබේ. මේ ගැටලු දෙකටම ලැබෙන යහපත් විසඳුමක් ලෙස මැලේසියානු ආර්ථික සහයෝගය දැක්විය හැකිය. ශක්තිමත් ආර්ථිකයක් සහිත අනෙකුත් මිත්‍ර රාජ්‍යයන් ‍වෙතින්ද එම සහයෝගය ගැනීමට රජය ප්‍රයත්න දැරිය යුතුය.

විදේශ රැකියා අංශය වෙතින් ක්ෂේත්‍ර ගණනාවක ආර්ථික ප්‍රතිලාභ ලැබිය හැකිය. එක අතකින් පෞද්ගලික ආර්ථික ශක්තිය මේ මඟින් වර්ධනය වෙයි. මේ රටවල රැකියාලාභීන්ට ඉහළ වැටුප් හා වරප්‍රසාද හිමිවේ. විදේශ රැකියාලාභීන්ගේ ප්‍රේෂණ ඔස්සේ අපේ විදේශ විනිමය ආදායම් ඉහළ දමා ගත හැකිය. තව අතකින් අපගේ අන්තර්ජාතික ආර්ථික කටයුතු මේ මඟින් පුළුල් වෙයි. රාජ්‍යයන් අතර මිත්‍රත්වයටද එය හේතු සාධක වෙයි. ගෙවී ගිය සුළු කාලය තුළ දී ලක්ෂ පහකට ආසන්න පිරිසක් විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් සිටිති. මෙය ආර්ථික අර්බුදයෙන් ගොඩයෑමට ඇති ශක්තිමත් මාවතක් ලෙස පවතී.

අසල්වැසි ඉන්දියාව පරිගණක ක්ෂේත්‍රයේ විදේශ රැකියාවලින් පමණක් වසරකට ඇ.ඩො.බිලියන විස්සකට ආසන්න මුදලක් උපයන බව වාර්තාවල සඳහන්ය. පරිගණක ක්ෂේත්‍රය ඉන්දියාවේ රැකියා උත්පාදන මාර්ග වලින් එකක් පමණි. අපට එම ක්ෂේත්‍රයේ රැකියාවලින් වසරකට ඩොලර් බිලියන එකකට වඩා උපයා ගැනීමට හැකියාවක් ලැබී නැත. මෙය වෙනස් කළ යුතුය. ලොව පුරා රැකියා වෙළෙඳපොළ තුළ පරිගණක ඉංජිනේරුවන්ට විශාල ඉල්ලුමක් පවතී. ඉන්දියාව මේ වෙළෙඳපොළ හඳුනාගත්තේ මීට වසර ගණනාවකට පෙර සිටය. අපේ රට තුළ එබඳු පෙර සූදානමක් තිබුණේ නැත. එය ආර්ථික සැලසුම්වල හා අධ්‍යාපන වැඩසටහන්වල පවත්නා දුර්වලතාවකි. මෙය වෙනස්කොට විදේශ රැකියා කෙරෙහි අපගේ අවධානය හා සූදානම වැඩි කළ යුතුව තිබේ.

1970 ගණන්වලදී මැදපෙරදිග රාජ්‍යය අපේ ශ්‍රමිකයන් සඳහා රැකියා ලබා දීමට පටන් ගත්තේය. එය සිරිමාවෝ මැතිනියගේ පාලන සමය තුළ කොළඹදී පැවැත් වූ නොබැඳි ජාතීන්ගේ සමුළුව නිසා අපට ලැබුණු ආර්ථික වරප්‍රසාදයකි. එහෙත් එදා අපේ තරුණ පරම්පරාව විදේශ රැකියාවලට එතරම් කැමැත්තක් දැක්වූයේ නැත. මැද පෙරදිග රාජ්‍යය සැපයූ මුළු රැකියා ප්‍රමාණය පිරවීමට අප සමත්වූයේ නැත. එහෙත් පසු කාලයකදී මැද පෙරදිග රටවලට පමණක් නොව, ඉතාලිය වැනි යුරෝපීය රටවලටද යෑම සඳහා විශාල තරගයක් රට තුළ නිර්මාණය විය. එය කොතරම් ද යත් නීති විරෝධී ලෙස ඉතාලියට පැන ගිය පිරිස වැඩි විය. අදත් ඔස්ට්‍රේලියාව වැනි රටවලට නීති විරෝධී ලෙස පැනයෑමට විශාල පිරිසක් උත්සාහ දරති. රටේ ඇති විරැකියාව හා ජීවන වියදම් ගැටලුව ඉන් නිරූපණය වෙයි.

මැලේසියානු රජය අපට ලබා දී ඇති ආර්ථික සහනය ගැන එම රජයට කෘතඥතාව පළ විය යුතුය. හදිසි ණය මුදලක් හෝ ආධාරයක් හෝ දීමට වඩා රැකියා සම්පාදනය දිගුකාලීන වශයෙන් වැදගත් වෙයි. මේ අයුරින්ම ජපානය හා දකුණු කොරියාව ශ්‍රී ලාංකිකයන්ට රැකියා ලබාදීමට ඉදිරිපත් වී ඇත. විදේශ රැකියා ක්ෂේත්‍රයේදී භාෂා දැනුම හා වෘත්තීය පුහුණුව ඉතා වැදගත් සාධක දෙකකි. නුපුහුණු ශ්‍රමිකයන් නොව, පුහුණු වෘත්තිකයන් එම රටවලට පිටත්කර යැවිය හැකි නම් ප්‍රතිඵලය වඩාත් සාර්ථක වනු ඇත. ඒ සඳහා කඩිනම් වැඩපිළිවෙළක් සකස් විය යුතුය.

නව අදහස දක්වන්න