දිග් ගැසුණු පාපන්දු ඡන්දය ලබන 23දා නව ව්‍යවස්ථාව ඒකමතිකව සම්මතයි | දිනමිණ

දිග් ගැසුණු පාපන්දු ඡන්දය ලබන 23දා නව ව්‍යවස්ථාව ඒකමතිකව සම්මතයි

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය ලබන මස 23 වැනිදා පැවැත්වීමට තීරණය වෙයි. ඊයේ දිනයේ පාපන්දු නිලවරණ මෙහෙයුම් කමිටුව පත් කර ගැනීම සිදු වූ අතර, නාමයෝජනා කැඳවීම ඔක්තෝබර් 6දා අවසන් වේ.

වත්තල ප්‍රදේශයේ හෝටලයක ඊයේ පැවති රැස්වීමකදී ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නව ව්‍යවස්ථාව ඒකමතිකව සම්මත වී ඇති අතර, නාමයෝජනා කැඳවීම අවසන්වීමට පෙර නව ව්‍යවස්ථාවට ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය ලබා ගන්නා ලෙස ඡන්දය දීමෙන් වැළකී සිටි පාර්ශ්ව ඉල්ලා ඇත. නව ව්‍යවස්ථාව අනුව එක් පාපන්දු ලීගයකට එක් ඡන්දයක් හිමිවන අතර, මෙවර නිලවරණයට පමණක් මෙතෙක් ඡන්ද භාවිත කළ ආකාරයට ඡන්ද තුනක් සුදුසු යැයි පාපන්දු සභාපති ජස්වර් උමර් මහතා ඉදිරිපත් කළ යෝජනාවට අදාළව ඡන්ද විමසීම පැවැත්විණි.

එහිදී සභාපතිවරයාගේ යෝජනාවට පක්ෂව ඡන්ද 48ක් ලැබුණු අතර, ලීග් 13ක් ඡන්දය දීමෙන් වැළකී සිටියේය. එම යෝජනාවට හැර අනෙක් සියලු වගන්තිවලට කිසිවකුගේ විරෝධතාවයක් එල්ල නොවීය.

ඡන්දය දීමෙන් වැළකී සිටි පාපන්දු ලීග් වන්නේ මීගමුව, කළුතර, කොළඹ, මාවනැල්ල, දෙනියාය, වෙළෙඳ සේවා, වෙන්නප්පුව, දෙහිවල - ගල්කිස්ස, පොල්ගහවෙල, මන්නාරම, මාතර, කෑගල්ල හා ජනසතු සේවා පාපන්දු ලීග්ය. ඔවුන් පවසා ඇත්තේ ලෝක පාපන්දු සම්මේලනයේ රෙගුලාසි අනුව නිලවරණයේදී එක් රටකට එක් ඡන්දයක් ලෙස ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ක්‍රීඩා පනත අනුව එක් ලීගයකට එක් ඡන්දයක් හා නව පාපන්දු ව්‍යවස්ථාව අනුව එක් ලීගයකට එක් ඡන්දයක් ලෙස සඳහන් වන්නේ නම් මෙවර නිලවරණයට පමණක් ඡන්ද 3ක් යනුවෙන් යෝජනාවක් සම්මත කිරීම නිවැරදි නොවන බවය.

එබැවින් ක්‍රීඩා පනත හා පාපන්දු ව්‍යවස්ථාව අතර පරස්පරයක් නිර්මාණය වන බැවින් ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය ඉක්මනින් ලබා ගත යුතු බව පාපන්දු සභාපතිවරයාගේ අවධානයට ලක් කොට ඇත. එමෙන්ම නව ව්‍යවස්ථාව අනුව සභාපති, උප සභාපතිවරු 4ක්, විධායක සභා නියෝජිතයන් අටක් (කාන්තාවක් අනිවාර්යයි) හා පාසල් සංගමය වෙනුවෙන් නියෝජිතයෙක් පත් වුවද, රටේ පවතින ක්‍රීඩා නීතිය ප්‍රකාරව පත්විය යුතු ලේකම්, නියෝජ්‍ය ලේකම්, භාණ්ඩාගාරික හා උප භාණ්ඩාගාරික තනතුරු පත්නොවීම සම්බන්ධයෙන් ද අදහස් පළ කොට තිබේ. මේ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ මතය විමසිය යුතු බව ද ඡන්දය දීමෙන් වැළකී සිටි පාර්ශ්ව පෙන්වා දී ඇත.

මේ අතර පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමර් මහතා පවසන්නේ වසර ගණනාවක් තිස්සේ කිසිදු පාලනයකින් අනුමත කර ගැනීමට අපොහොසත් වූ යුගයට ගැළ‍පෙන නව පාපන්දු ව්‍යවස්ථාව තම පාලන කාලයේදී අනුමත කර ගැනීම පාපන්දු ලීග් ලබාගත් විශාල ජයග්‍රහණයක් බවය. “අපේ වැඩපිළිවෙළ අනුමත කර තිබෙනවා. දැන් පාපන්දු පවුලේ ප්‍රශ්නවලට ස්ථීර විසඳුම් සෙවිය හැකියි. පාපන්දු ක්‍රීඩාව උසස් තැනකට ගෙන ඒම ඉදිරි වසර 4 තුළදී කිසිදු අපහසුවක් නෑ“ උමර් මහතා පැවැසීය.

අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ උපදෙස් අනුව සකස් කළ ශ්‍රී ලංකා පාපන්දු නව ව්‍යවස්ථාවට අනුමැතිය ලබා ගැනීම උදෙසා එම නව ව්‍යවස්ථා කෙටුම්පත ක්‍රීඩා අමාත්‍යාංශයට කලින්ම භාර දී තිබිණි. එම කෙටුම්පත අධ්‍යයනය කිරීමෙන් පසු ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ අමල් එදිරිසූරිය මහතා පාපන්දු සම්මේලනයට දැනුම් දී තිබුණේ ඒ සඳහා මුලින්ම පාපන්දු ලීග්වල අනුමැතිය ලබාගන්නා ලෙසය.

ශ්‍රී ලංකා පාපන්දු ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු යැයි වසර 2014 වසරේ සිට ලෝක පාපන්දු සම්මේලනය ශ්‍රී ලංකාවට දැනුම් දී ඇති හෙයින් මෙවර අවසන් අවස්ථාව ලෙස සලකා කටයුතු කරනු ඇතැයි අන්තර්ජාතික පාපන්දු සම්මේලනය හා ආසියානු පාපන්දු සම්මේලනය ශ්‍රී ලංකාවට අවධාරණය කළ පසුබිමකදී ව්‍යවස්ථාව සම්මත කර ගැනීම කැපී පෙනුණි.

 

ප්‍රින්ස් ගුණසේකර

නව අදහස දක්වන්න