ලංකා ගුවන් සමාගම ඩොලර් බිලියන 1.2ක අලාභයක් ලබා තිබෙනවා | දිනමිණ

ලංකා ගුවන් සමාගම ඩොලර් බිලියන 1.2ක අලාභයක් ලබා තිබෙනවා

  • වරාය, නාවික හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා

රූපවාහිනී සංස්ථාව පාඩු ලබන ආයතනයක් ‌ලෙස දැනට හඳුනා‌ගෙන ති‌බෙනවා

  • රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර

පලාලි ගුවන් තොටුපොළේ ගුවන් ගමන් නැවත ආරම්භ වී නැහැ. කොවි‌ඩ් කාලයේ එය නැවතුණා

  • මන්ත්‍රී එස්. සුමන්තිරන්

සිවිල් ගුවන් සේවා කටයුතුවලදී අපව නියාමනය කරන්නේ අන්තර්ජාතික සිවිල් ගුවන් සේවා සංවිධානය බවත් ඔවුන්‌ දෙන නිර්ණායක අනුගමනය කරන්න අප බැඳී සිටින බවත් අයිකාවෝ සංවිධානය ගුවන් මගින් ආරක්ෂා කිරීමට කටයුතු කරන බව වරාය, නාවික හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22) ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වූ කල් තැබීමේ විවාදයට සහභාගී වෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (22) රැස්විය. නිවේදන, ලිපි ලේඛන, පෙත්සම් වාර්තා ඉදිරිපත් කිරීමෙන් පසුව වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මන්ත්‍රීවරුන් ඇසූ ප්‍රශ්නවලට ඇමැතිවරු පිළිතුරු ලබා දුන්හ.

තව දුරටත් වරාය, නාවික හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙසේ ද පැවසිය.

ශ්‍රී ලංකා ගුවන් සමාගම සතුව කේටරින් ආයතනය තිබෙනවා. ඉන් ලාභයක් අපි ලබනවා. සමස්තයක් විදියට ශ්‍රී ලංකා ගුවන් සමාගම ඩොලර් බිලියන 1.2ක අලාභයක් ලබා තිබෙනවා. මේ ආයතනය පවත්වාගෙන යෑම සඳහා රජයෙන් වාර්ෂිකව ඩොලර් මිලියන 150ක් පමණ දෙනවා. ඒක හැමදාම කළ නොහැකියි. ශ්‍රී ලංකා ගුවන් සමාගමේ 6000ක පමණ සේවකයන් පිරිසක් සිටිනවා. අපට තිබෙන ගුවන්යානා 21න් එකක්වත් අපට අයිති ඒවා නොවේ. මේ ආයතනය ප්‍රතිව්‍යුහගත කළ යුතුයි. ‌මේ ආයතනය විකිණිය නොහැකියි. දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොරව මේ ගුවන් ආයතනය ශක්තිමත් කළ යුතුයි. සේවක අයිතිය සුරක්ෂිත කිරීම අපගේ පළමු පරමාර්ථය වෙනවා.

ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන මහතා -

ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණයට මෙන්ම මාධ්‍ය ආයතනවලටත් මාතෘභූමිය පිළිබඳ විශාල වගකීමක් පවතිනවා. මුදල් අමාත්‍යාංශයේ නිලධාරියෙක් රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කිරීම සඳහා මෙම සංශෝධන පනත් කෙටුම්පත ඉදිරිපත් කරනවා.

ලංකා ඉතිහාසයේදී අවස්ථා තුනකදී මෙරට ආර්ථිකයේ පසුබෑමක් සිදු වුණා. ඒ තත්ත්වය තුළ ණය පිළිබඳ අර්බුදය සඳහන් කිරීමක් වුණා. රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ ගැටලුවක් නිසා තමයි මේ තත්ත්වය ඇති වෙලා තිබෙන්නේ. ආදායමට වඩා වියදම රටේ වැඩි වෙලා. ලංකා ආණ්ඩුව එදිනෙදා පවත්වා ගැනීම සඳහා අවශ්‍ය මුදල් සොයා ගැනීම ගැටලුවක්ව පවතිනවා. යහපාලන කාලයේදී තමයි වැඩිම ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කර තිබෙන්නේ‌. ඩොලර් බිලියන 12.5 කට වැඩි ප්‍රමාණයක්. එවැනි ණය ප්‍රමාණයක් ගත් ආණ්ඩුවක් ලංකා ඉතිහාසයේ නැහැ. ණය කල් පිරෙන දවසට 2029දී ණය කල් පිරෙනවා. කවුරු ආණ්ඩු කළත් මේ තත්ත්වයට මුහුණ දෙන්න වෙනවා. මේ අර්බුදය ජයග්‍රහණය කි‌රීමට වැඩපිළිවෙළක් සකස් කර දෙන ලෙසට ප්‍රංශයේ ලසාඩ් සමාගමට දැනුම් දී තිබෙනවා.

අපේ දැනුම අනුව මේ ගැටලුව විසඳීමට නොහැකියි. මේ සභාව තුළ එකිනෙකාට බැන ගන්නවා වෙනුවට අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ප්‍රබුද්ධ සාකච්ඡාවක් ඇති කර ගැනීම තමයි වඩාත් වටින්නේ. ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය වගේම මාධ්‍ය ආයතනවලටත් මාතෘභූමිය පිළිබඳ විශාල වගකීමක් තිබෙනවා. රුසියාවේ පැවැති ජාත්‍යන්තර සිනමා උලෙළට මම පසුගියදා සහභාගී වුණා. එහිදී ලෝකයේ රටවල චිත්‍රපට අධ්‍යක්ෂවරු, නිෂ්පාදකවරු, විෂයානුබද්ධ ආචාර්ය,මහාචාර්යවරු විශාල පිරිසක් හමුවුණා. ඔබගේ රටට බියෙන් හා සැකයෙන් තොරව පැමිණිය හැකි ද කියලා ඔවුන් මගෙන් විමසුවා. රටේ පාරවල් වහලා තිබෙනවා නේද. අපරාධ සිදු වෙනවාද. බය නැතිව ගමන් කරන්න පුළුවන් ද කියලා විවිධ ප්‍රශ්න මගෙන් ඇසුවා. රටක මූලික ප්‍රතිරූපය කෙලෙසන ආකාරයට ප්‍රවෘත්ති පළ කිරීමෙන් වළකින ලෙසට මම මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටිනවා. එය මෙලොව වශයෙන් කීර්තියක්. පරලොව වශයෙන් විශාල පින්කමක්. පුවත්පතේ තිබෙන දේ කොතරම් පුන පුනා ප්‍රකාශ කළත් කමක් නැහැ.

පුවත්පතේ තිබෙන දේ සම්බන්ධයෙන් තමන්ගේ පෞද්ගලික මතයක් ඉදිරිපත් කළ නොහැකියි. මාධ්‍ය ආයතන හරිම අමාරුවෙන් පවත්වාගෙන යනවා. දුම්රිය ගාස්තු මම වැඩි කළා. දුම්රිය ස්ථානවලින් ටිකට් නිකුත් කිරීම නතර කළා ඒ වැඩි කිරීම ජනතාවට පීඩාවක් කියලා. වැඩි වෙලා තිබෙන ඉන්ධන මිල වැඩි කළ මිලෙන්වත් පියවා ගත නොහැකියි. රට පත්ව තිබෙන තත්ත්වය ආර්ථික විද්‍යාත්මක පැත්තෙන් පැහැදිලි කරමින් මේ ගැටලුවෙන් ගොඩ ඒමට පියවර ගත යුතුයි.

රාජ්‍ය සේවක, විශ්‍රාම වැටුප් ගෙවනුයේ කෙසේද, ඒවා කරලා ප්‍රාථමික ගිණු‌මේ අතිරික්තයක් ඇති කර ගන්නේ කෙසේද කියලා සැලසුම් කළ යුතුයි. ජාත්‍යන්තර අරමුදලෙන් ගන්න මුදලෙන් ඔක්කොම කරන්න බැහැ. මුදල් අමාත්‍යාංශයේ නිලධාරියෙක් රූපවාහිනි සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කිරීම පමණයි මෙමඟින් සිදු කරන්නේ. ඒ සඳහා සහාය දෙන ලෙස ඉල්ලා සිටිනවා. ජාත්‍යන්තර අරමුදල සමඟ 16 වතාවක් කතා කරලා ණය ගෙන තිබෙනවා. ලංකාවේ ආණ්ඩුවට රාජ්‍ය සේවකයන්ට මුදල් නොගෙවා සිටිය නොහැකියි.

නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා මුලසුනට පැමිණියේය.

ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර මහතා -

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ මණ්ඩල සංයුතිය වෙනස් කිරීම සඳහා මෙම යෝජනාව ඉදිරිපත් කරනවා. අධ්‍යක්ෂවරුන් 7ක් මෙතෙක් කල් කටයුතු කරනවා. භාණ්ඩාගාරයෙන් සහභාගී වන නිලධාරිවරයා සක්‍රිය අධ්‍යක්ෂවරයෙක් බවට පත් කර ගත යුතු බවට කෝප් කමිටුවෙන් තීරණයක් ගත්තා. අධ්‍යක්ෂවරුන් 9කින් සමන්විත කණ්ඩායමකින් තීරණ ගැනීම සඳහා මෙම යෝජනාව ඉදිරිපත්ව ති‌‌බෙනවා. රූපවාහිනී සංස්ථාව පාඩු ලබන ආයතනයක් ‌ලෙස දැනට හඳුනා‌ගෙන ති‌බෙනවා.

ජපන් ආධාරයක් ‌ලෙස රූපවාහිනී සංස්ථාව අපට ලැබුණා. ජාතික ‌මෙහෙවරක් ඉටු කරන ආයතනයක් බවට ‌මේ ආයතනය පත් කළ යුතුයි. ප්‍රමුඛ ‌පෙළේ නාළිකාවක් බවට පත් කිරී‌මේ අරමුණෙන් ‌මේ වැඩපිළි‌‌වෙළ ‌ගෙන තිබෙනවා. වරලත් මට්ටමට මාධ්‍යවේදියකු නිර්මාණය කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ති‌බෙනවා. රජයේ සහ පෞද්ගලික වශයෙන් සිටින මාධ්‍යවේදීන්ට අවශ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීමට අපි කටයුතු කරනවා. විවිධ පාඨමාලාවලින්, විශ්වවිද්‍යාලවලින් අධ්‍යාපනය ලැබූ මාධ්‍යවේදීන් සිටින්නා සේම වරලත් මට්ටමේ මාධ්‍යවේදියකු නිර්මාණය කිරීමට වැඩපිළිවෙළක් සකස් කරමින් තිබෙනවා. වරලත් මාධ්‍යවේදී ආයතනයක් ඉදිරි කාලය තුළදී ස්ථාපිත කිරීමට කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය ලැබී තිබෙනවා.

ගුණාත්මක හා වෘත්තීයභාවයෙන් ඉහළ මාධ්‍යවේදියකු වසර හතරක පුහුණු පාඨමාලාවකින් පසුව වරලත් මාධ්‍යවේදියකු නිර්මාණය කරනවා. එය රට තුළ හැරවුම් ලක්ෂ්‍යයක් වනු ඇත. ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය යන කුලුනු තුනට අමතරව පවතින ඊළඟ ප්‍රධාන කුලුන වනු‌යේ මාධ්‍යයයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අ‌බේසිංහ මහතා (ස.ජ.බ.) -

රූපවාහිනී සංස්ථාව පාඩු ලබන බව ඇමැතිවරයා පැවසුවා. ඒ ති‌බෙද්දී තවත් අධ්‍යක්ෂවරුන් වැඩි කර ති‌බෙනවා. සිවිල් ගුවන් ‌සේවා නියෝගත් ක්‍රියාත්මක ‌වෙනවා. පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යුහගත කරන්න කියලා අයි. එම්. එෆ්. කියනවා. ශ්‍රී ලංකා ගුවන් සමාගමේ ‌‌කේටරින් එක ලාභ ලබනවා. ‌‌මෙහි ‌සේවකයන් 4000ක් පමණ සිටිනවා. ගුවන්යානා ති‌බෙනු‌යේ 21යි. ආර්ථික අපරාධකරුවන් සිටිනවා. වංචාව, දූෂණය නිසා තමයි ‌මේ ගැටලු ඇති වී ති‌බෙන්නේ. පාස්කු ප්‍රහාරය ගැන දැන් වචනයක්වත් කතා කරන්නේ නැහැ. ආර්ථික අගාධයක් තිබියදීත් ‌හොරකම් කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. සුමන්තිරන් මහතා (දෙ.ජා.ස.) -

පලාලි ගුවන් තොටුපොෙළ් ගුවන් ගමන් නැවත ආරම්භ වී නැහැ. කොවි‌ඩ් කාලයේ එය නැවතුණා. එය ආරම්භ කිරීම කළත් ගුවන් ගමන් ගාස්තු ඉහළ ගොස් තිබෙනවා. එහි වෙනසක් කරන ලෙස ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. පලාලි ගුවන් තොටුපොළෙන් හොඳ ආදායමක් ලබන්න පුළුවන්. කුරුදුමලෛයි ප්‍රදේශයේ ඊයේ විරෝධතාවක් පැවතුණා. එහි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කටයුතු කරන නිලධාරින්ට බාධා කළා කියලා අපේ පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත විය.

පාර්ලිමේන්තුව යළි අද (23) උදේ 9.30 රැස්වේ

ස්වර්ණා විජේකෝන්, නුවන් කොඩිකාර සහ සන්ධ්‍යා කරුණාරත්න

නව අදහස දක්වන්න