ස්වාධීන වෙන අයට කොල්වින් කිවුවේ ඔළු තුනේ බූරුවන් | දිනමිණ

ස්වාධීන වෙන අයට කොල්වින් කිවුවේ ඔළු තුනේ බූරුවන්

පාර්ලිමේන්තුවේ ස්වාධීන වෙන අයට ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මහතා කීවේ ඔළු තුනේ බූරුවන් කියා යැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නිවාස සහ නාගරික සංවර්ධන ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22) පැවසීය. පාර්ලිමේන්තුවේ කතා කිරීමට කාලය වෙන් කරන්නේ නැතැයි මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා මේ බව කියා සිටියේය.

‘‘පාර්ලිමේන්තුවේ සිටින සැමට කතා කිරීමේ අයිතිය තිබෙනවා. ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය කියා කොටස් දෙකක් තිබෙනවා. ස්වාධීන කොටසක් කියා දෙයක් ඉතිරි වන්නේ නැහැ. දෙපැත්තටම නැති අය සිටිනවා නම් මැදට ආසන ටිකක් දමා ස්වාධීන කිව යුතුයි. එහෙම වුණොත් වෙන්නේ වෙස්ට්මිනිස්ටර් ක්‍රමය නැතිවී ඔළු තුනේ සම්ප්‍රදාය ක්‍රියාත්මක කරන්න වෙනවා.

ස්වාධීන වෙන අයට ඔළු තුනේ බූරුවන් යැයි ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා කිව්වා. අපි එහෙම කියන්න කැමති නැහැ. එතුමාලටත් කතා කරන්න අයිතිය තිබෙනවා. ස්වාධීන වී දෙපැත්තෙම නැති වුණාම කාලය දෙන්නේ ආණ්ඩු පක්ෂයෙන් ද? විපක්ෂයෙන් ද? අපේ කාලයෙන් දෙන්නම්, විපක්ෂයෙන් දෙනවාද?

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා,

පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව වෙලාව වෙන් කරන්නේ පාර්ලිමේන්තුවට තේරුණු කණ්ඩායමේ වෙලාවයි. විපක්ෂයේ වාඩි වුණු අය තේරුණේ පොදුජන පෙරමුණෙන්. වෙලාව දිය යුත්තේ ඒ අනුවයි.

චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයා කතාවට ප්‍රතිචාර දැක්වීමත් සමඟ ප්‍රසන්න රණතුංග මහතා,

‘‘ඔබතුමා වැරදියට තේරුම් ගන්න එපා මම කාටවත් බූරුවා කියල කිව්වෙ නෑ. මම කිව්වේ අර ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මහතා කියපු කතාවක්. ඔබතුමාට එතුමාට බූරුවා කියන්න බෑ. මොකද එතුමා මේ පාර්ලිමේන්තු ක්‍රමය තුළ විශාල කාර්යයභාරයක් කරපු කෙනෙක්.

ස්වර්ණා විජේකෝන්, නුවන් කොඩිකාර සහ සන්ධ්‍යා කරුණාරත්න

 

නව අදහස දක්වන්න