ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න ශ්‍රී ලංකාවට පූර්ණ විදෙස් සහාය | දිනමිණ

ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න ශ්‍රී ලංකාවට පූර්ණ විදෙස් සහාය

රටවල් 23ක තානාපතිවරු ජනපතිට සහතික වෙති

ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ගැනීමට පූර්ණ සහාය දෙන බව විදෙස් තානාපතිවරු ජනපති හමුවේ සහතික වෙති.

ණය ප්‍රතිව්‍යුහගතකරණය හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ගැනීම පිළිබඳ විදෙස් තානාපතිවරු දැනුම්වත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී

ඔවුහු මේ බව සඳහන් කළහ.

පැරිස් සමාජය (Paris Club) සහ පැරිස් සමාජයට අයත් නොවන රටවල් 23කට අයත් තානාපතිවරු මේ සාකච්ඡාව සඳහා එක්ව සිටියහ. ශ්‍රී ලංකාව මුහුණ දී ඇති මේ තත්ත්වයෙන් මිදීමට සිය පූර්ණ සහාය දෙන බව මෙහිදී සඳහන් කළ විදෙස් තානාපතිවරු කඩිනමින් මේ අර්බුදයෙන් මිදීමට ශ්‍රී ලංකාවට හැකිවනු ඇති බවටද විශ්වාසය පළ කළහ.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාවට තිබෙන එකම අභියෝගය මේ ආර්ථික අර්බුදය බවත් එය අනාගත පරපුර වෙනුවෙන් ජය ගැනීම සිය අපේක්ෂාව බවත්ය. ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් වූ සාකච්ඡා මේ වසර අවසන් වන විට සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට බලාපොරොත්තු වන බවද ජනාධිපතිවරයා පැවසීය.

විදෙස් තානාපතිවරු වෙත සිය ස්තූතිය පිරිනැමූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ රජය සෑම අවස්ථාවකම විනිවිදභාවයෙන් හා සමානාත්මතාවෙන් කටයුතු කරන බවයි.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙහිදී වර්තමානයේ ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය සහ ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ පසුබිම් වාර්තාවක් ඉදිරිපත් කළහ.

රංජිත් සියඹලාපිටිය, තාරක බාලසූරිය, ෂෙහාන් සේමසිංහ යන රාජ්‍ය ඇමැතිවරු සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජයවර්ධන යන මහත්ම මහත්මීන් සහ රාජ්‍ය නිලධාරීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

ශිරෝමි අබයසිංහ

නව අදහස දක්වන්න