අ‌මෙරිකාවෙන් ශ්‍රී ලංකාවට කෝටි 27ක ඖෂධ සහ වෛද්‍ය සැපයුම් | දිනමිණ

අ‌මෙරිකාවෙන් ශ්‍රී ලංකාවට කෝටි 27ක ඖෂධ සහ වෛද්‍ය සැපයුම්

ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සැලකිල්ලට ගෙන රුපියල් 279,476,100ක් (අමෙරිකන් ඩොලර් 773,000) වටිනා හදිසි ඖෂධ සහ වෛද්‍ය සැපයුම් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කිරීමට අමෙරිකා එක්සත් ජනදපයේ Americares ආයතනය පියවර ගෙන තිබේ.

අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතාගේ මඟ පෙන්වීම යටතේ වොෂින්ටන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කරන ලද ඉල්ලීමකට අනුව ලොව ප්‍රමුඛ ලාභ නොලබන ඖෂධ සහ වෛද්‍ය සැපයුම් ආයතනයක් වන Americares විසින් මේ හදිසි ඖෂධ සහ වෛද්‍ය සැපයුම් ශ්‍රී ලංකාවේ ජනතාව වෙත පරිත්‍යාග කර තිබෙන බව අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි. මේ පරිත්‍යාගය සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩිනමින් අවශ්‍යව ඇති විටමින්, නිදන්ගත රෝග සඳහා වන ඖෂධ, කැතීටර්, සිරින්ජර සහ අත්වැසුම් ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධවලින් සමන්විත වන අතර, මේ ආධාර දීමේ ක්‍රියාවට පහසුකම් සලසාදීමේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ Americares අතර, ඉදිරි පරිත්‍යාග කිරීමට හැකි වන පරිදි අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබේ.

මේ වැදගත් අවස්ථාව සනිටුහන් කිරීම සඳහා විධිමත් සහතික පත්‍රයක් භාරදීමේ උත්සවය වොෂින්ටන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී, ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා සහ Americaresහි නියෝජ්‍ය වෛද්‍ය නිලධාරිනි සධානා රාජමූර්ති මහත්මියගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇත.

මේ කාර්යය ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහයෝගීතාවෙන් වන අතර, ශ්‍රී ලංකාව වෙත ජාත්‍යන්තර ආධාර සහ ඖෂධ අත්‍යවශ්‍ය වන මොහොතක Americares ආයතනයේ මේ උත්සාහයන් සහ කැපවීම වෙනුවෙන් ශ්‍රී ලාංකීය ජනතාව සහ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ඔවුන් වෙත සිය ස්තූතිය පුද කරන බව ප්‍රකාශ කර තිබේ. Americares ආයතනය යනු දරිද්‍රතාවෙන් හෝ ව්‍යසනයෙන් පීඩාවට පත් වූ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරන සහ සෞඛ්‍ය වැඩි දියුණු කරන සෞඛ්‍ය කේන්ද්‍ර කර ගත් සහන සහ සංවර්ධන සංවිධානයක් වන අතර, සෑම වසරකම මේ සංවිධානය එක්සත් ජනපදය ඇතුළුව රටවල් 85කට පමණ ජීවිතය වෙනස් කරන සෞඛ්‍ය වැඩසටහන්, ඖෂධ, වෛද්‍ය සැපයුම් සහ හදිසි ආධාර පරිත්‍යාග කරයි.

වසර 40කට පෙර ආරම්භ කරන ලද මේ සංවිධානය මඟින් මේ වන විට අමෙරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් 164කට ඩොලර් බිලියන 20කට වැඩි ආධාර දී ඇතැයි ද අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පෙන්වාදෙයි.

 

 

මහින්ද අලුත්ගෙදර

නව අදහස දක්වන්න