අහසට රහසක් කියූ අභිරහස | දිනමිණ

අහසට රහසක් කියූ අභිරහස

සිනමාපටයේ ප්‍රධාන භූමිකාවට විජය

සිනමාපටයේ චරිත අතර විජය,(රංජිත් ), ස්වර්ණා කහවිට ( මාලිනී ජයවීර) තලතා ගුණසේකර, සම්පත් ශ්‍රි නන්දලෝචන, රොබින් ප්‍රනාන්දු යන අය නිෂ්පාදක කණ්ඩායම විසින් තෝරාගනු ලැබූහ.චිත්‍රපට කතාවට මුල පුරන්නේ රංජිත්ට විශාල කාර්යභාරයක් ද පවරමිනි. එනම් විදේශයක සිට පැමිණෙන මාලිනී කටුනායක ගුවන් තොටුපළ සිට නිවසට රැගෙන ඒමයි. නිවසේ රැඳී හුන්නේ මාලිනීගේ කුඩම්මාය. මේ සඳහා රංගනයෙන් සම්බන්ධ වූයේ තලතා ගුණසේකර ය. මාලිනී විදේශගතව සිට පැමිණෙන්නේ තම පියා වන ජයවීරගේ මරණය සිදු වූයේ කවරාකාරයෙන් ද යන්න සොයා ගැනීමේ චේතනාවෙනි . එහෙත් මාලිනී ලංකාවට පැමිණෙන්නේ දෙපා පණ නැති අබ්බගාතයකු ලෙසිනි. ගුවන් තොටුපළේ සිට නිවසට පැමිණි මාලිනීට රෝද පුටුවෙන් නැඟීමට බැසීමට හා අනෙකුත් සියලු ආවතේව කටයුතුවලට උදව් උපකාර කරනු ලබන්නේ නිවසේ රියදුරා ලෙසින් සේවය කළ රංජිත්ය.

තම පියා වන ජයවීරගේ මරණය සම්බන්ධයෙන් සොයා බැලීමට ආ මාලිනීට නිවස තුළ වෙමින් පවතින බොහෝ දේ අවසන් වන්නේ සැකයක සේයාවක් මෙන්ම ප්‍රශ්නාර්ථයක් ද ඉතිරි කරමිණි . එහෙත් තම සිත තුළ ජනිත වන සැකය කොයි මොහොතේ හෝ අනාවරණය කරගැනීම මාලිනීගේ මූලික අභිලාෂයයි. කරුණු කාරණා මෙසේ වන විට ඇය තදින්ම විශ්වාස කරනු ලබන කරුණ වන්නේ තම පියා මියගොස් ඇත්තේ කුමන්ත්‍රණයක අවසාන ප්‍රතිඵලය ලෙසින් බවයි.

පියාගේ මිනිමැරුමේ කරුණු සොයාගැනීමට ලංකාවට පැමිණිය ද තනිව එය කරගැන්මට නොහැකි බව මාලිනීට හැඟේ. ඇයට දැඩිව දැනෙන කරුණ වන්නේ මේ සඳහා තවත් කාගේ හෝ උදව් උපකාර අවැසි බවයි . මේ අතරවාරයේ මාලිනී රංජිත්ට ළංවන්නේ තම කටයුතුවලට උදව් උපකාර අපේක්ෂාවෙනි. ඔවුන් දෙදෙනාගේ සුහදතාවය වර්ධනයත් සමඟ බොහෝ නිදහස් අවස්ථාවන්හිදී රංජිත් ඇයව මුහුදු වෙරළට රැගෙන විත් නිදහස් සුව විඳීමට ද ඉඩකඩ සලසා දුන්නේය. ඔවුන් දෙදෙනාගේ ළංවීමත් නිදහස් සුව විඳීමේ අවසානයත් නතර වන්නේ දෙදෙනාම ආදර කතාවකට අත් පොත් තැබීමෙන් අනතුරුවය

"සිතුම් පැතුම් සඳ ආදරේ

උදාවේදෝ

මහදේ සොඳුරු අහසේ

අනාගතේ

සිතුම් පැතුම් සඳ ආදරේ

උදාවේවා

මහදේ සොඳුරු අහසේ

අනාගතේ

පැණි සොයමින් බඹරුන් එනවා

පැණි බී යළි උන් ඉගිළෙනවා

පැණි සොයමින් බඹරුන් එනවා

පැණි බී මල වට ඉගිළෙනවා"

ඔවුන් දෙදෙනාගේ ප්‍රේමයේ සලකුණු විටින් විට සිනමා පටය පුරා චිත්‍රණය වන්නේ මියුරු ගීතයන් ද සමඟිනි. එක් ගීතයක රංජිත් මාලිනී රෝද පුටුවක තබා ගයන යුග ගීතය ප්‍රේක්ෂකයාට දනවන්නේ ඔවුන් දෙදෙනාගේ පිවිතුරු ප්‍රේමයේ එක් සලකුණක් ලෙසිනි. ප්‍රේමකීර්ති ද අල්විස් විසින් රචනා කළ ගීතය ගායනා කරනු ලැබුවේ එච්. ආර්. ජෝතිපාල සහ ඇන්ජලීන් ගුණතිලක විසිනි.

එමෙන්ම එවක පමණක් නොව කාලාන්තරයක් යන තුරු ජනප්‍රියත්වයේ පැවැති පහතින් දැක්වෙන ගීතය ද අභිරහස සිනමාපටය ත්‍රාසජනක චිත්‍රපටයක් වුවද එහි ප්‍රේමණීය ගීත මහත් ලෙසින් ජනප්‍රියත්වයට පත්විය.

“ඈත දිලිසෙන හිරු සඳු රන් තරු

රහසේ කීවා මට ඔබ ගැන තොරතුරු

මගෙ නෙත් යුග යළි පිය වනතුරු

ආදරෙයි මා ආදරෙයි.“

මෙම ගීත කිහිපයත් සමඟින් ප්‍රේක්ෂකයාගේ සිතේ ජනිත වූයේ රංජිත් හා මාලනිය අතර පැවති කලක් තිස්සේ පතාගෙන ආ සොඳුරු ප්‍රේමයක සලකුණකි.

චිත්‍රපටය යේ අපට දක්නට ලැබෙන්නේ ගීත තුනක් වුව ද ජෝර්ජ් ලෙස්ලි රණසිංහ ලියූ ජෝතිපාල සහ ඇන්ජලීන් ගුණතිලක ගායනා කරන "ජීවන සමීර" නම් ගීතයක් ද විය. කෙසේ වෙතත් රැඟුම් පාලක මණ්ඩලය එම ගීතය චිත්‍රපටය ට අනවශ්‍ය" යයි පැවසූ හෙයින් එම ගීතය චිත්‍රපටයෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලදී. සැකසංකා, ප්‍රශ්නාර්ථ, ප්‍රේම කතා අතරවාරයේ මාලිනී කරුණු එකින් එකිනෙක ලිහා ගැනීමට සූදානම් වන මොහොතක තම පියාගේ සිරුර නිවසේ නොයෙකුත් තැන්වල ඇයට දර්ශනය වීමට පටන් ගනී. , විටෙක කාමරයේ ද තවත් විටෙක ගබඩා කාමරයක ද ඇය තම පියාගේ සිරුර දකී. මෙම සිදුවීම් සමඟ ඇය එක් තීරණයකට එළඹේ . එනම් මාලිනී සැක කරනු ලබන්නේ ජයවීර ගේ සිරුර සඟවා තබා ඇත්තේ පිහිනුම් තටාකය තුළ බවයි . මාලිනීගේ කුඩම්මාට අවැසිව ඇත්තේ මාලිනීගේ පියාගෙ බූදලය ඇයට ලබා ගැනීමටයි. ඇය එය ප්‍රේක්ෂකයාට ඒත්තු ගොස් තිබුණේ මේ සම්බන්ධයෙන් නීතිඥවරයකු සමඟ කතාබහ ඇතිවන අතරවාරයේදීය. මේ කාලයේ විටින් විට වෛද්‍යවරයකු ද ජයවීර නිවසට පැමිණේ. කෙසේ වුව මාලිනීගේ කුඩම්මා සැලසුම් කරන්නේ රිය අනතුරක් මඟින් මාලිනී මරණයට පත් කිරීමයි.

ඇය මේ සඳහා සම්බන්ධ කරගන්නේ මාලිනීගේ පෙම්වතා වන රංජිත් ය. ඔහු මාලිනී සමඟ කාරයේ යනවිට තිරිංග අතහැර බෑවුමකට කාරය ඇදී යාමට සැලැස්වීමෙන් මාලිනී ජයවීරගේ ජීවන ගමනට අවසන් තිත තැබීමට කටයුතු කළේය. රථය බෑවුමට ඇදි යන විට මාලිනීට දිස් වන්නේ තම පියාගේ මළසිරුර රථයේ තිබෙන බවයි .ඇයගේ කුඩම්මා මෙන්ම රංජිත්ද සිතා සිටි පරිදිම රථය අනතුරට ලක්විය . පොලිස් පරීක්ෂණ ආරම්භ වන්නේ මෙතැන් සිටය .පොලිසිය රංජිත් ගෙන් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කරනා විට රංජිත් පවසා සිටින්නේ මාලනි පියා සමඟ කාරයේ ගමන් කරනු දුටු බවයි .කෙසේ වෙතත් පොලිසිය විසින් රථය ගොඩට ගැනීමේදී හමුවූයේ එක් මළසිරුරක් පමණි .ඒ ජයවීරගේ මළ සිරුරයි . මාලිනී ජයවීර ගේ සිරුර අතුරුදන්ව තිබිණි.

රෝද පුටුවේ සිටි මාලිනී නැඟිටියි

සියල්ල කණපිට හැරෙන්නේ මෙතැන් සිටයි. මෙතෙක් කාලයක් ඇවිද ගැනීමට වත් නොහැකිව රෝද පුටුවට වී සිටී මාලිනී අනතුරින් පසු දෙපයින් නැගී සිටියාය. රංජිත්ට මෙන්ම කුඩම්මාට ද තම සියලු ප්‍රයත්නයන් වතුරේ ගිය බව දැනෙන්නේ එවිටයි. පොලිසිය විසින් රංජිත් සහ කුඩම්මා පොලිස් අත් අඩංගුවට ගැනීමෙන් පසුව රංජිත් පොලිසියෙන් මිදී පලා යයි. කෙසේ වුවත් පොලිසිය රංජිත් යළි අත්අඩංගුවට ගනු ලබන්නේ මහත් පරිශ්‍රමයකින් පසුවය .

මෙතෙක් මාලිනී ලෙසින් පෙනී සිටියේ රහස් පොලිස් පරීක්ෂකවරියකු වූ ජයන්තිය. ඇයට මේ සඳහා උදව් කරනු ලැබුවේ නිතර දෙවේලේ ජයවීර නිවසට ආගිය වෛද්‍යවරයාය. අවසානයේ සියල්ල හෙළි වීම ඇරඹේ. මාලිනී ගේ පියා වූ ජයවීර ඝාතනය කරනු ලැබ ඇත්තේ රංජිත් සමඟ අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය කුඩම්මා ය. අවසානයේ දී ජයවීරගේ ඝාතනයට හවුල් වූ වරද කරුවන් නීතියට හසු විය.

නිෂ්පාදන කණ්ඩායමට අභියෝගය

චිත්‍රපටය නිර්මාණය කිරීමේදී නිෂ්පාදන කණ්ඩායමට මුල්ම අවස්ථාවේ සිට බැරෑරුම් ගැටලු ගණනාවකට ද මුහුණ පෑමට සිදුවිය. "අභිරහස'' චිත්‍රපටය නිර්මාණය වූයේ "ස්ක්‍රීම් ඔෆ් ෆියර්" චිත්‍රපටය මුල් කර ගනිමිනි. එකී චිත්‍රපටයේ තිර පිටපත ලිවීම භාරගනු ලැබුවේ එස්.ඒ අලගේෂන්ය.

"ස්ක්‍රීම් ඔෆ් ෆියර්" චිත්‍රපටය අනුව ලියැවුණු තිරපිටපතේ දර්ශන තලයේ පිහිනුම් තටාකය අසලම තිබු නිවසක් වුවමනාවිය. චිත්‍රපටය නිෂ්පාදක අධ්‍යක්ෂ, ඇතුළු පිරිවර ගේ මුල්ම මෙහෙයුම වූයේ එයයි. ඔවුන්ගේ පළමු මෙහෙයුම සාර්ථක කරමින් චිත්‍රපටය රූගත කිරීමට අවැසි නිවස ඔවුනට හමු වූයේ බත්තරමුල්ලෙනි. මෙම නිවසට අයත් පිහිනුම් තටාකය පිහිටියේ නිවසේ මැදක් හරියට වන්නටය. ලෙනින් මොරායස් නිවස පිළිබඳ මහත් සතුටුවීමට වූ කාරණා වන්නේ නිවසේ ඇතුළත සැලැස්ම ද චිත්‍රපටයට සුදුසු ආකාරයට පිහිටා තිබුණු හෙයිනි. එම නිවසේ පිහිටා තිබූ පිහිනුම් තටාකය පවා ඉතා පැහැදිලි ආකාරයෙන් පැවතීම දිය යට දර්ශන කැමරා කිරීමේදී බෙහෙවින් ප්‍රයෝජනවත් විය .

චිත්‍රපට ක්ෂේත්‍රයට පැමිණ තම පළමු නිෂ්පාදනයට සම්බන්ධ වූ නිමල් වීරක්කොඩිට සහ ලෙනින් මොරායස් ඇතුළු පිරිසට තම පළමු අභියෝගය සාර්ථකව පසු කරන්නට සමත් වුව ද ඊටත් එහා අභියෝගයක් ඔවුන්ට ඉදිරිපත් විය . මෙම නිවසේ හිමිකරු වූයේ ධර්මදාස ජුවලර්ස් අධිපති වූ ශාරධා රත්නවීර ය . හිමිකරු දින නවයකින් විදේශ ගත වන නිසා ඔවුන් ඉදිරියේ තිබූ ඊළඟ ඉලක්කය වූයේ ඉතිරි දින නවය තුළ නිවසේ සිදුවන සියලු රූගත කිරීම් අවසන් කිරීමය. දිවා රෑ නොබලා රූ ගත කිරීම් සිදු කිරීමට ඔවුන් වගබලා ගත්හ.

චිත්‍රපටයේ වූ විරල සිදුවීමක් වන්නේ එච් ආර් ජෝතිපාල සහ මාලිනී ෆොන්සේකා රංගනයෙන් සම්බන්ධ වන ගීතයක් මෙයට ඇතුළත්ව තිබීමයි. මෙම ගීතයේ හා බැඳුනු තවත් විශේෂිත සිදුවීමක් තිබේ එනම් චිත්‍රපටය ප්‍රදර්ශන මණ්ඩලය වෙත ඉදිරිපත් කර අනුමැතිය ලබා දීමෙන් පසුව මෙම සිංහලෙන් නිර්මාණය වූ ගීතය යළිත් චිත්‍රපටය ට එක් කිරීමට කටයුතු කිරීමයි. මෙම ගීතය රූගත කරන කාලයේ දී මාලිනී ෆොන්සේකාට මෙන්ම එච්. ආර්. ජෝතිපාලට දින ලබා ගැනීමේ ගැටලුවක් පැවතුණි . කෙසේ හෝ දින ලබාගැනීමෙන් පසුව මෙම ගීතය රූගත කරන අවස්ථාව වන විටත් ගීතය පටිගත නොකර තිබුණි. එම නිසා මෝදර මුහුදු වෙරළේ රූගත කළ මෙම ගීතයට පසුබිමින් වාදනය වූයේ ආරාධනා චිත්‍රපටයේ හින්දි ගීතයකි. පසුව කරුණාරත්න අබේසේකර විසින් මේ සඳහා එච්, ආර්,ජෝතිපාල සහ ඇන්ජලීන් ගුණතිලක ගායනා කරන මෙම ගීතය රචනා කළේය .

"සුසුදු රැල්ල වැල්ලෙ පෙරළි

ගීත ගයයි යළි යළි

සුසුදු රැල්ල වැල්ලෙ පෙරළි

ගීත ගයයි යළි යළි

නැඟී ආලෝකෙ දී දින රජිඳ

පාවී සිනා මුදු කෝල

ආදරෙ ලෝකෙ අමා, තුළින් දකිමි

සොඳුරු සිහින සමුදාය

හද අරණේ, සිසිලසදී ,

එන සුවඳ දැනේ යළි යළි"

ලාංකේය සිනමා නිර්මාණ බොහෝ අවස්ථාවන්වල දී නිර්මාණය වූයේ ස්වතන්ත්‍ර නිර්මාණයන්ටත් වඩා විදේශීය රටක නිම වූ කවර හෝ චිත්‍රපටයක ආශ්‍රයෙනි. ඒවාට බොහෝ විට අනුබල දුන්නේ හින්දි සිනමාපට හා තමිල්නාඩු සිනමාපටය. මේ දෑ ආශ්‍රයෙන් බිහි වූ ලාංකේය සිනමා පටයන්හි නළු නිළියන් ද කලක් යනතුරු අච්චුවක දමා ගත් කලක මෙන් ඒ හැඩයෙන් යුක්ත විය. ගිනිකුරු රැවුල සහිත හිසකේ ඉහළට පීරු තරුණයන් ද දෙබැම තදින් ඇඳ නළලත මොට්ටුවක් තබා ගත් නිළියන් ද ඉන්දීය මොඩලයෙන් ලංකාවේ චිත්‍රපටවල චරිත රංගනයෙන් සම්බන්ධව විය. එහෙත් ඒ හා සමගාමීව පසු කලක බටහිර චිත්‍රපට ආශ්‍රයෙන් ද සිංහල චිත්‍රපට බිහි වුව ද ඒවා ජනප්‍රිය වූයේ එහෙමත් වෙලාවකය. යම් හෙයකින් රංගනයෙන් සම්බන්ධ වූ නළු නිළියන්ගේ ජනප්‍රියත්වය ද ඒ සඳහා බොහෝවිට බලපෑවා වන්නට පුළුවන. එහෙත් මේ අයුරින් බටහිර චිත්‍රපටයක් ආශ්‍රයෙන් නිමැ වූ ජනප්‍රිය සිංහල චිත්‍රපටයක් වන්නේ "අභිරහස'' චිත්‍රපටයයි.

 රජිත බස්නායක

නව අදහස දක්වන්න