පත්තිනි මෑණියන් යක් හෙළ කාන්තාවක් ද? | දිනමිණ

පත්තිනි මෑණියන් යක් හෙළ කාන්තාවක් ද?

රූපවාහිනි ටෙලි නාට්‍ය‍යෙන් පවා අපි ‘රාවණ’ රජතුමා හොඳින් දනිමු. එතුමාගේ පරපුරේ ඥාති කුවේණියද එම දේව පාලනය හොඳින් හදාරා ඇත. හෙළ පාලන රටාව තුළ ස්ත්‍රී - පුරුෂ භේදයකින් තොරව දේවත්වයට පත් විය හැකි බව මින් පෙනී යයි. හෙළ වහරේ ‘දේවයා’ පාලකයාය. රාවණ රජතුමාට පෙර අසුර අධිරාජ්‍යය ලොව පුරා ව්‍යාප්ත කළ රාවණ රජතුමාගේ මව් පාර්ශ්වයේ සීයාගේ මව ‘මන්දාත’ නොහොත් ‘දේවයාණි’ ද, ලක්දිව අවුරුදු දස දහස් ගණනකටත් වඩා ඉපැරැණි ස්වදේශික ‘යක්හෙළ’ නම් වූ එක්තරා පරපුරක මෙවැනිම අසුර රැජනකි. මෙහි එවැනි අසුර රාජ්‍යයක් තිබූ බව යුරෝපීය හා අමෙරිකන් මානව විද්‍යාඥයන් පිළිගන්නා බව, ‘ශ්‍රී ලංකාවේ යක් හෙළ පරපුර’ කෘතියේ සඳහන් වේ. ඇය, යුදමය හා යුදමය ඥානයෙන් අති දක්ෂ දේවයාණි හෙළයේ පාලනය බාරගෙන සිහසුනට පත් විය. පසුව ඇය ක්‍රමවත් වැඩපිළිවෙළක් ඔස්සේ ලක්දිව ස්වයංපෝෂිත කර ඇත. එක්තරා පත්තිනි මෑණියන් වූ ඇය, අදටත් වැඳුම් පිදුම් ලබයි. දමිළ ජාතිකයෝ පත්තිනි මෑණියන් වෙනත් නම්වලින් හඳුන්වමින් අදහති. පත්තිනි මෑණියන් විවාහ පත්ව සිටියේ ද එම යක්හෙළ ගෝත්‍රයේම පාලඟ ගුරුන්නාන්සේ සමඟය.

“පරසිඳු පත්තිනි සඳ සැතපෙන්නේ

සැතපුන නින්දට සීන පෙනෙන්නේ

පාලඟ කඩුවක් ගත්තා වැන්නේ

කඩුව නෙවෙයි අඩුවයි දැනගන්නේ”

(පත්තිනි හෑල්ල)

පත්තිනි මෑණියන්ට පළමු පූජාව කළේ රාවණ රජතුමා විසිනි. එය සිදු කර ඇත්තේ නිකවැරටිය. හලඹගල දේවාල පුදබිමේය.

“හලඹ සේල දිවමට සළු දොහොත් කරපු කාලේ

වැස්සා දිව මල් වරුසා අනුහස් පෑ වේලේ

පතිදම් රැකි පත්තිනි දෙවි අනුහස් පෑ කාලේ

අපට උතුම් හලඹ ගලේ පත්තිනි දේවාලේ

 

බාර හාර ඇප කැප ගල වන්නේ

නෑර එයින් දෙව් දොස දුරලන්නේ

වීර යකුන් පත්තිනි දෙවියන්නේ

වාරය මේ වෙයි අප රැක දෙන්නේ”

(පත්තිනි හෑල්ල)

පූජාවේ සියලුම කිරි අම්මාවරුන් යක්හෙළ පරපුරෙන්ම පමණක් විය යුතුය. මෙහිදී පළමුව පත්තිනි මෑණියන් පමණක් නොව, තම යක්හෙළ ගෝත්‍රික පරපුරේ ආදි මුතුන් මිත්තන්ද සිහිපත් කළ යුතුය. මේ පරපුරේ විහාර මහා දේවිය, කති දේවිය, සෝමා දේවිය හා සුගන්දිකාවන්ද තමන්ට පමණක් නොව, හෙළ රටටත්, හෙළයින්ටත් පිහිට පතා මේ විශ්වයේ මහා ආශීර්වාද පූජාව කර ඇත. මේ පත්තිනි දේවතාවිය, පත්තිනි මෑණිවරුන් වීමේ ශක්තීන් පිළිබඳ දහම ගැන රාවණ රජතුමා දීර්ඝ විස්තරාත්මක විග්‍රහයක් කර ඇත. වරිගපූර්ණිකාවද එයට සාක්ෂ්‍ය සපයයි. පත්තිනි මෑණියන් පළමුවෙන් තපස් රකින ලද්දේ කැලණියේ බව පත්තිනි හෑල්ලේ සඳහන් වේ.

පත්තිනි පූජාවේ ගායන සඳහා යොදා ගන්නා වාද්‍ය භාණ්ඩ අතර, රාවණ රජතුමා නිර්මාණය කළ විශේෂ බෙර හතරක් ද යොදා ගැනේ. මඩු පේ කිරීම, පූජාව සැකසීම, මේ සඳහා අමතරව රාවණ තිරියම් නම් විශේෂ කැවිලි වර්ග සෑදීම, පත්තිනි පිළිමය වැඩමවීම, සළු පිළි ආභරණ පැලඳවීම, දේවාභරණ නානුමුර කර තැන්පත් කිරීම, මුරුතැන් බත ඉදවීම, බුද්ධ පූජාව කිරීම සිදුවේ. මහාමායා දේවියගේ රූපය තබා ඊට තබන අංජනම් තිරිය නම් විශේෂ පූජාව, නොඑසේ නම් මාතෘ දිව්‍ය රාජ පූජාව පැවැත්වීම සිදුවේ. සිද්ධාර්ථ කුමාරයා බිහිවුණු මොහොතේ ලුම්බිණි සල් උයනේදී වින්නඹු කටයුතු සඳහා පැමිණියේ පත්තිනි දෙවියන් බවට විශ්වාසයක් ඇත. දීර්ඝ පත්තිනි පූජාව පැවැත්වීමේදී ඊට, යහන් කවි ගැයීම, පත්තිනි අඩවි, පත්තිනි වන්නම්, පත්තිනි පෙරළුම් ඇතුළත්ය. නැටීම, ගැයීම කාන්තාවන්ම කරනු ලබයි. පත්තිනි දෙවියන් නාගේෂ්වරී ගංගාව නිර්මාණය කළ ආකාරය දැක්වෙන රංගනය, පඬිපුර ගිනි තැබීමේ රංගනය, සුර අසුර යුද්ධ රංගනය, කිරි දෙවීමේ රංගනය, පත්තිනි මෑණියන් විවරණ ලබා ගැනීමට දීපංකර බුදුන් හමුවේ චීවර පූජා කිරීමේ රංගනය, ( දීපංකර බුදු සමයේ ලංකාව ඉන්දියාවෙන් වෙන් වී නොමැත) මේ සඳහා කුවේණිය කපු කටිමින් සිටි කපු කටින අත් යන්ත්‍රයක් යොදා ගැනේ. රෙදි විවීම ගැන සඳහන් කිරීමේ දී රාවණ රජතුමා නීලගිරි ප්‍රදේශයේ ගොඩනැඟූ රාවණ අත්යන්ත්‍ර රෙදි විවීමේ ක්‍රමය ගැන සුන්දල පූර්ණිකාව නම් අති පැරණි පුස්කොළ ග්‍රන්ථයෙහි සඳහන් ඉඟියකි මේ.

“පීදි පුලිඟු කපු හේනේ සොඳ කාලේ

නෙළතිය අඟන කවිකර නිල්ගිරි ම මූලේ

කපුයක් ඔවුන් කපු නූලක් ගෙතූ තාලේ

ගෝමර නෑනේ වියමු ද රාවණ සේලේ”

කිරි ඉතිරවීම, රෝගීන් වෙනුවෙන් කරන සෙත් ශාන්තිය, පන්දම් රැගෙන පත්තිනිය යෙදෙන රංගනය, පන්දම් නිවීම සඳහා රාවණ කොරහ පාවිච්චි කරයි. ආශීර්වාද පූජාව, ගිනි පෑගීමේ අවස්ථාව, පූජාව පැවැත්වීමෙන් පතුරුවාලු ආනුභාවයන්ගේ බලය, සෙත් ශාන්ති කිරීමෙන් ලබාගන්නා වූ පිං බලය, ගායනාවලින් ලබා ගත් වාග් ශක්ති බලයෙන්, තෙලෙන් බැදගත් කැවුම් හා රත්කරගත් කිරි තුළින් කැටිකරගත් විශ්ව බලවේගයන්ගේ අග්නි ශක්තිය ඒකරාශි කර මතු බුදුවන ලෙසට පත්තිනි මෑණියන්ට ආශිර්වාද කිරීම හා පිං අනුමෝදන් කිරීමෙන් පාන්දර පසු වී මද වේලාවකින් පූජාව අවසන් වේ. අද මේ චාරිත්‍ර අඩුපාඩු ඇතිව කිරීම නිසා මින් හරිහැටි පිහිටක් නොලැබෙන බවට සිතමි.

“පුරන පෙරුම් දම් හැම සපිරේවා

පතන පිරිමි බව නිති අත්වේවා

දුන්න මේ දානෙන් පින් සිදුවේවා

පත්තිනි දෙවියෝ මතු බුදුවේවා”

මේ, රාවණ හා එම යක්හෙළ ගෝත්‍රික පරපුර පමණක් සතු දොළොස් පැය පත්තිනි පූජාවේ සාරාංශයය. මේ සටහන තබන හෙළයේ ආදිතම ශ්‍රේෂ්ඨ රාවණයන් හා එම යක්හෙළ ගෝත්‍රික පරපුර කෙතරම් කාරුණික ද?

පූජාවේ තොරතුරුවලදී ‘වරිග පූර්ණිකාව’ මෙසේ කියයි. “එමෙන් මෙමඟින් පතිව්‍රතා ධර්මය ආරක්ෂා කරන චරිතවත් කාන්තා පරපුරක් බිහිවී, දරුවන් ඇතුළු පවුල් සංස්ථාව ආරක්ෂා වීමක් සිදු වන බවට සිතමි.” යනුවෙනි. පත්තිනි මෑණියන්ට අයත් බව කියන ක්‍රීඩා 64ක් ඇති බවක් පැවසේ. අංකෙළිය, පොල් කෙළිය, ඔලිඳ කෙළිය ඉන් කීපයකි. පසු කාලීනව පත්තිනි පූජාවේ වටිනාකම දැන ගත් වෙනත් කිරිඅම්මාවරුන්ද මීට සහභාගි වන බවක් පෙනේ.

රාවණ රජතුමාගේ අවසාන කාලයේ මුහුදු ගැලීමට පෙර ඉන්දියාවේ මැඩගස්කරය දක්වා ශ්‍රී ලංකාවට අයත්ව තිබුණි. ඒ කාශ්‍යප බුදු සමයේය.

“කාශ්‍යප මුනිඳු වැඩ සිටි ශාසන කාලේ

රාවණ රජු ගුවනින් ගිය ඒ කාලේ

රාම කුමරු කළ වරදට පෑව බලේ

සීතා දේවි ගෙන වැහැව්වලු ලකේ ගලේ”

එමෙන් විශ්ව, බ්‍රාහ්මණ, යක්හෙළ, විශ්කම් කුල ගෝත්‍ර හිමි ශ්‍රී ලාංකේෂ්වර රාවණ රජතුමා විසින් ඉන්දියාවේ ප්‍රාන්ත දහයක් පමණ පාලනය කර ඇත. එම නිසා එතුමා දශ ශීර්ෂ රාවණ යනුවෙන්ද හඳුන්වනු ලබයි. ඊට පෙරද ඉන්දියාවේ බොහෝ කොටස් ලංකාවේ පාලනය යටතේ තිබී ඇත. මේවායේත්, මෙතුමා සංවර්ධනය කළ ප්‍රාන්තවලත් විශේෂයෙන් අපේ යක්හෙළයන්ද පදිංචිව සිටි බව අමුතුවෙන් කිව යුතු නැත. එම යක් හෙළයන් මඟින් අපේ පත්තිනි වන්දනාව, සූර්ය වන්දනාව (සිංහල අලුත් අවුරුදු උත්සවය) විස්කම් පූජාව මුළු ඉන්දියාව පුරාම පැතිරුණි. ඉහත මුහුදු ගැලීමෙන් ඉන්දියාව එහි සිටි අප යක්හෙළ පිරිස්ද සමඟ ලංකාවෙන් වෙන් විය. සමහර අය නොයෙක් අවස්ථාවල නැවත ලක්දිවට පැමිණ ඇත. අපේ රජවරු විසින් ද එම යක්හෙළ ශිල්පීන් බොහොමයක් වරින් වර මෙහි ගෙන්වාගෙන ඇති බවක් වංශකතාවල සඳහන් වේ. එහි සිටි ඉතිරි මේ ගෝත්‍රික පිරිස් කාලයක් ගත වීමේදී වෙනස්වීම් තිබුණත්, ලේවල නම් කිසිම වෙනසක් වී නැති බව අපේ ලංකාවේ යක් හෙළයන්ගේ පිළිගැනීමය.

පත්තිනි මෑණියන් හින්දූන් ඇදහුවාට එතුමිය අපේම නියම යක්හෙළ කුල කාන්තාවකි. ඒ බව ඉහත සඳහන් හෑල්ල කවියේ ද “වීර යකුන් පත්තිනි දෙවියන්නේ” යනුවෙන් සඳහන් වීමෙන්ම මනාව පැහැදිලි වේ. මේ අනුව මෙසේ මේ හැම දෙයක්ම ඉන්දියාවෙන්ම පැමිණි ඒවා බවට අපේ අය හීනමානය ඇති කර ගැනීම කනගාටුවට කරුණකි.

 

කලාභූෂණ එම්. ඒ. කරුණාරත්න

නව අදහස දක්වන්න