ප්‍රාග් ඓතිහාසික ලාංකේය කාන්තාවගේ ජීවන අන්දරය | දිනමිණ

ප්‍රාග් ඓතිහාසික ලාංකේය කාන්තාවගේ ජීවන අන්දරය

ලෝක ප්‍රාග් ඓතිහාසික කාන්තාව පිළිබඳ කතා කිරීමේදී යම් යම් සිතුවම්වල නැටුම් ඉදිරිපත් කරන දර්ශනද සිත්තම් කර තිබේ. එහිදී ගිනිමැලයක් වටා හෝ වෙනත් ස්ථානයක නටන දර්ශන සිත්තම් කර හෝ ඇත. මින් පැහැදිලි වන්නේ ඇය විනෝදකාමි සිතුවිලිවලින්ද පොහොසත් බවකි. යම් තැනක තනිවමද, තවත් විටෙක ස්ත්‍රී හා පුරුෂ යන දෙපාර්ශ්වයමද මේ නැටුම් ඉදිරිපත් කර තිබේ. මොවුන් කණ්ඩායම් ලෙසින් නැටුම් ඉදිරිපත් කරන ලද අවස්ථාද වේ. නැටුම් ඉදිරිපත් කරන අවස්ථාවල විවිධ වර්ණ භාවිතයට ගෙන තිබේ. ස්වාභාවික ඛණිජ ද්‍රව්‍ය භාවිතයට ගනිමින් මේ වර්ණ සකස් කර ගත් බවක් අනුමාන කළ හැකිය. එවැනි ස්වාභාවික ද්‍රව්‍යයන්ගේ ශේෂ රැසක් ශ්‍රී ලංකාවේ කැණීම් මඟින්ද අනාවරණය වී ඇත.

ඉන්දියාවේ ප්‍රාග් ඓතිහාසික මෙසෝලිතික යුගයේ බොහෝ සිතුවම්වල අවමංගල අවස්ථාද නිරූපණය කර තිබේ. මියගිය තැනැත්තා හෝ තැනැත්තිය හෝ වට කරගෙන හඬාවැටෙන සිතුවම්ද වේ. කාන්තාව තුළ සෑම විටම අනෙකා පිළිබඳ අනුකම්පාව, දයාව, දුක යන්න බොහෝ ගැඹුරින් මනස තුළ ක්‍රියා කරන ආකාරය මෙමඟින් පැහැදිලිය. පිරිමින් සැම විටම දුක දරා ගන්නා අතර ගැහැනිය සැම විටම දුක ප්‍රකාශ කරන බවට මේවා කදිම නිදසුන්ය. ඉන්දියාවේ බොහෝ මෙ‍ෙසලිතික් ගුහා චිත්‍රවලින් ගර්භණී මව්වරුන්ගේ දර්ශන, බර උසුලන කාන්තාවන්, දරු උපත්, මව සහ දරුවා දැක්වෙන සිතුවම්, ලිංගිකත්වය දැක්වෙන සිතුවම් මෙන්ම, ලිංගික දර්ශනද සිත්තම් කිරීම දැකිය හැකිය.

ශිලා මෙවලම්

ප්‍රාග් ඓතිහාසික පර්යේෂණ මවක් වන්නේ කාන්තාවක් බව අපි දනිමු. එහෙත් මවකට ඇති ගෞරවනීය බව ඉස්මතු කිරීමට මෙවන් ගර්භණී මව්වරුන්ගේ දර්ශන සිතුවම් කළා විය හැකිය. බර උසුලන කාන්තාවන්ගේ දර්ශන සිත්තම් කිරීම මතින් කාන්තාවගේ කාර්යභාරයේ වගකීම් සහිත බැරූරුම් බව මැනවින් පැහැදිලි වේ. මෙවැනි සිතුවම් ඇන්දේ කාන්තාවන් විසින් ද? එසේත් නැත් නම් පිරිමින් විසින්ද? යි සොයා ගත නොහැකිය. ශ්‍රී ලංකාවේ මෙවැනි කාන්තා රූප සහිත සිතුවම් තිබිය හැකි නමුත්, මෙතෙක් පැහැදිලි ලෙසින් හඳුනාගෙන නොමැත. ස්ත්‍රී - පුරුෂ භේදයකින් තොරව මිනිසාගේ ලිංගික අවශ්‍යතා අඩු වැඩි වශයෙන් පවතී. යම් විටෙක එහි ප්‍රතිඵලයක් ලෙසින් ස්ත්‍රීන් හෝ පුරුෂයන් විසින් හෝ ලිංගිකත්වයට අදාළ සිතුවම් නිර්මාණය කරන්න ඇතැයි සිතිය හැකිය.

මෙරට ප්‍රාග්ඓතිහාසික තොරතුරු ගවේෂණය ඉංග්‍රීසි පාලන සමයේදී ආරම්භ කර ඇත්තේ මතුපිට ගවේෂණ මඟිනි. ඉන් පසුව දේශීය විද්වතුන්ගේ සහභාගිත්වයෙන් පර්යේෂණ සිදුව ඇත. ලංකාව තුළ ප්‍රාග් ඓතිහාසික කාන්තාව පිළිබඳ වෙන් කර හඳුනා ගත් පර්යේෂණ නොමැත. කෙසේ වෙතත් ප්‍රාග් ඓතිහාසික පර්යේෂණ මතින් ලබා ගත් පුරාවිද්‍යාත්මක දත්ත විමර්ශනාත්මකව අධ්‍යයනයෙන් කාන්තාවන් පිළිබඳ යම් යම් තොරතුරු අනාවරණය කර ගත හැකිය.

ප්‍රාග් ඓතිහාසික යුගයේදී එම මානවයාගේ තාක්ෂණික මෙවලම වූයේ ශිලා මෙවලම්ය. ශිලා මෙවලම් නිෂ්පාදනය වැඩි වශයෙන්ම පිරිමි පාර්ශ්වය විසින් සිදු කරන්න ඇත. යම් විටෙක ඊට අවශ්‍ය අමුද්‍රව්‍ය කාන්තාවන් විසින් ඇළ, දොළවලින් ගෙනෙන්න ඇතැයි අනුමාන කළ හැකිය. ගංගා, ඇළ දොළ ඔස්සේ ගමන් කිරීමේදී ප්‍රාග් ඓතිහාසික මානවයාගේ නෙතට හසු වන විවිධ ගල් වර්ග රැගෙන ගොස් කැබැලිවලට කඩා ශක්තිමත් ගල් වර්ග තෝරා ගැනීමට උත්සාහ ගෙන ඇති බව මේ අනුව පැහැදිලි ය.

ශ්‍රී ලංකාවේ මධ්‍ය ශිලා යුගයේදී වැඩි වශයෙන්ම ජ්‍යාමිතික ස්වරූපී ක්‍ෂුද්‍ර ශිලා මෙවලම් නිෂ්පාදනය කර ඇත. ඉතාමත් සුමට, එමෙන්ම අලංකාර හැඩතල සහිත මේ ශිලා මෙවලම්වල උපයෝගීතාව විවිධය. ඒ අනුව යම් විටෙක මේ නිෂ්පාදනය දරුවන් පිළිසිඳ ගැනීමේදී පෙකණිවැල කැපීම වැනි අති සංවේදී කාර්යවලට පවා භාවිතයට ගන්න ඇත. ඒ අනුව පුරුෂයන් විසින් කාන්තාවක් ගැබ් ගැනීමෙන් පසුව දරුවා පිළිසිඳ ගන්නා අවස්ථාවේදී භාවිතයට ගැනීමට තම මෙවලම් ගොන්නේ ඉතාමත් සුමට හැඩතල එකතු කරන ලද ශිලා මෙවලමක් තබා ගන්න ඇත්තේ දැඩි පීතෘ සෙනෙහසකින් විය හැකිය. මධ්‍ය ශිලා යුගයේ ජ්‍යාමිතික හැඩැති ක්‍ෂුද්‍ර ශිලා මෙවලම් නිපදවීම සඳහා බහුලවම භාවිතයට ගෙන ඇත්තේද තිරුවානාය. කිතුල්ගල බෙලිලෙන, කුරුවිට බටදොඹලෙන, කෑගල්ල අලුලෙන, හොරණ පාහියන් ලෙන, වරකාපොළ ඇතාබැඳිලෙන, කූරගල මෙන්ම මධ්‍ය ශිලා යුගයේ සෑම පුරා ස්ථානයකම පිරිසුදු තිරුවානා භාවිත කළ බවට පැහැදිලි සාධක ඇත.

ප‍්‍රාග් මානවයා ‘ජ්‍යාමිතික ස්වරූපී ක්‍ෂුද්‍ර ශීලා ගල් මෙවලම්’ වැඩි වශයෙන්ම නිපදවා ඇත්තේ ‘පළිඟු’ ඛනිජයෙන් වීම විශේෂත්වයකි. ඒ අනුව ඔවුන්ගේ ‘ජ්‍යාමිතික ස්වරූපී ක්‍ෂුද්‍ර ශීලා ගල් මෙවලම්’ භාවිතයද පුළුල්ය. ඉතා සුමට කුඩාවූ මේ මෙවලම් එම මානවයන් විසින් කැපීම, ඉරීම, සීරීම සහ විදීම සඳහා භාවිතයට ගෙන ඇති බවක් අනුමාන කළ හැකිය. දිගු කලක් තිස්සේ භාවිතයට ගන්නා ලද හා ‘නැවත හැඩ ගැසූ’ ශිලා මෙවලම්ද ‘ජ්‍යාමිතික ස්වරූපී ක්‍ෂුද්‍ර ශිලා මෙවලම්’ එකතුවේ හඳුනා ගෙන තිබේ. පබළු වැනි අලංකාර නිර්මාණවල සැකසුම් කාර්යය සඳහා සුමට මෙවලම් භාවිතයට ගත් බවක් අනුමාන කළ හැකිය. බොහෝවිට ආභරණ වැනි දේ පිරිමි පාර්ශ්වය මෙන්ම කාන්තා පාර්ශ්වයද භාවිතයට ගන්න ඇත. වැඩි වශයෙන් කැපී පෙනීම සඳහා ආභරණ භාවිතයට ගන්න ඇතැයි අනුමාන කළ හැකිය. යම් විටෙක කාන්තාවන් විසින් කොණ්ඩයේ ගසා ගැනීමට සත්ත්ව අස්ථීවලින් සකසන ලද කූරු භාවිත කළ බවට උපයෝගිතාව මැනවින් පැහැදිලි නැති, දිගු අස්ථි කූරු හමු වීමෙන් අනුමාන කළ හැකිය.

සත්ත්ව අං කැබැලි, සත්ත්ව ඇස්ථි කැබැලි, බෙලි කටු, මත්ස්‍ය කටු ආදියෙන් සකස් කර ගත් අස්ථි මෙවලම් විවිධ කාර්යය සඳහා භාවිතයට ගන්න ඇත.

ස්වාභාවික වර්ණ භාවිතය

එක් පසක් උල් කරන ලද අස්ථි මෙවලම් සේම දෙපසම උල් කළ ආයුධද, කූරගල ප්‍රාග් ඓතිහාසික මානව ආයුධ ගොන්නේ පැවැති බව වාර්තාවී තිබේ. ප්‍රාග් ඓතිහාසික මානවයන් භාවිතයට ගන්නා ලද වර්ණ ආලේපන මාධ්‍ය අතර හිරිගල්, ගුරුගල්, මිනිරන් වැනි ස්වාභාවික වර්ණ සහිත ඛනිජ ඉතා වැදගත්ය. වැඩි වශයෙන්ම වර්ණ පිළිබඳ උනන්දුවක් දක්වන්නේ කාන්තාවන්ය. ශරීරය වර්ණ ගැන්වීමට බොහෝ දුරට ප්‍රාග් මානවයන් භාවිතයට ගෙන ඇත්තේ මෙවැනි ස්වාභාවික ඛනිජ හා පාෂාණය. උරච්චි කිරීමට ලක් කරන ලද පුරාවිද්‍යාත්මක සාධක රැසක් පාහියන්ගල, බටදොඹලෙන හා කූරගල යන පුරාවිද්‍යා ස්ථානවලින් අනාවරණය කරගෙන ඇත. මින් පැහැදිලි වන්නේ ලෙන් ආශ්‍රිතව හා එළිමහන් ජනාවාසවල වාසය කළ මානවයන් විසින් වර්ණ හා අභිචාර අවශ්‍යතා වෙනුවෙන් ස්වාභාවික ද්‍රව්‍ය භාවිතයට ගෙන තිබෙන බවය. භාවිතයට ගන්නා පැහැදිලි ලක්ෂණ සහිත රතු, කහ, සුදු හා මිනිරන් අනාවරණය වී තිබේ. ඒ අනුව අනුමාන කළ හැක්කේ එම මානවයින් අලංකාරය පිණිස ගතහැකි විවිධ ක්‍රම ස්වාභාවික ද්‍රව්‍යයන්ගෙන් සකසා ගත් බවකි.

ස්වාභාවික වර්ණ භාවිතය ඛනිජ කුට්ටි වෙනත් පාෂාණ කුට්ටියක් මත උරච්චි කිරීම මඟින් වර්ණ සකසා ඇති බව අනුමාන කළ හැකිය. උරච්චි කළ ලක්ෂණ එම ස්වාභාවික ගුරුගල් හා මිනිරන් කැබැලි මත දක්නට ලැබීමෙන් ඒ බව පැහැදිලිය. 2009 පාහියන්ගල පුරාවිද්‍යා පර්යේෂණ කැණීම් ස්ථානයේ මෙලෙසින් උරච්චි කිරීමට ලක් කළ බිම් පාෂාණ කීපයක් අනාවරණය කර ගැනීමට හැකි විය. අතීතයේ විසූ ප්‍රාග් ඓතිහාසික මනාවයන් තම වරිගයේ පිරිස අතුරින් අනෙකා ඉස්මතු වීම සඳහා ශරීරයට විශේෂතා එක්කර ගත් බවක් මින් පැහැදිලිය. ආලේපන භාවිතය මඟින් බාහිර ස්වරූපයේ වර්ණයේ වෙනසක් සිදු කර ගනිමින් මේ ඉස්මතු වීම හා කැපී පෙනීමේ ලක්ෂණ ළඟා කර ගත් බවක් මෙමඟින් අනාවරණය වේ. එය කාන්තාවන් හා පිරිමින් ලෙසින් වෙන් කර හඳුනා ගැනීම අපහසුය.

කාන්තාවන් විසින් වනාන්තරයේ පවතින විවිධ වර්ණ සහිත මල් වර්ග කෙබදු ලෙසකින් භාවිතයට ගෙන ඇද්දැයි බැලීම කැණීම් ආශ්‍රිත කලාපයන්ගේ පාංශු කොටස්වල පවතින පරාග, ඩයටම හා ෆයිටොලික පරීක්ෂාවකින් සිදු කළ යුතුය. ශාක ද්‍රව්‍ය වැනි ඉක්මනින් දිරාපත් වන සාධක වසර දහස් ගණනක් පවතින් නම් ඒ සඳහා වූ සුවිශේෂ පරිසර අවශ්‍යතාද රැඳී තිබිය යුතුය. එවැනි පරිසර තත්ත්වයක් වත්මන් මෙන්ම අතීතයේදීද තිබූ බවක් විශ්වාස කළ නොහැකිය. ඒ සඳහා විද්‍යාගාර මට්ටමේ පුළුල් විශ්ලේෂණයක් සිදු විය යුතුය. යම් විටෙක විවිධ විශේෂ අවස්ථාවලදී කාන්තාවන් කොණ්ඩය මත හා ගෙලේ මල් පලඳා නැටුම් ඉදිරිපත් කළ අවස්ථාවල සිත්තම් ඉන්දියාවෙන් වාර්තා වී තිබේ. ශ්‍රී ලංකාව පුරාවට සිදු කරන ලද ප්‍රාග් ඓතිහාසික කැණීම් මඟින් අනාවරණය කර ගත් ශාක ද්‍රව්‍ය භාවිත සාධක බෙහෝමයක තොරතුරු දැක ගත හැකිය. ඒ අනුව කැකුණ, ගල් වෙරළු, වල් දෙල්, ඇටි කෙසෙල්, වැනි ශාකවල පිලිස්සුණු කොටස් වරින්වර සිදු කර ඇති කැණීම් මඟින් අනාවරණය වී තිබේ. එම ශාකමය ද්‍රව්‍ය අතුරින් කැකුණ, ගල් වෙරඵ වැනි ශාක ආහාර සඳහා මෙන්ම ගින්දර දැල්වීම සඳහාද භාවිතයට ගන්න ඇතැයි අනුමාන කළ හැකිය. මේවා එකතු කිරීම කාන්තාවන් විසින් සිදු කරන්න ඇතැයි පුරාවිද්‍යාඥයන් අනුමාන කරයි. වල්දෙල් ඇට, කැකුණ ඇට, ගල් වෙරළු වැනි දේ බිම වැටුණු පසු ප්‍රාග් මානව කාන්තාවන් විසින් ඒවා එකතු කරගෙන තම යැපෙන්නන් වෙනුවෙන් ගෙනවිත් දෙන්න ඇත. විදෙස් රටවල ප්‍රාග් ඓතිහාසික මානව කාන්තාවන්ගේ චිත්‍ර සටහන් පිරික්සීමේදී පැහැදිලි වන්නේ, ඔවුන්ගේ ශරීරයේ ඉඟ කොටස සිහින් බවින් යුතුව ඇඳ අති බවකි. ඔවුන් චිත්‍රයට නඟන්නේ ඔවුන් දකිනා ජීවමාන දසුන්ය. මේ ඔස්සේ කියවිය හැකි බොහෝ දේ වේ. ඉන් පැහැදිලි වන්නේ, වර්තමාන කාන්තාව තරම් එදා කාන්තාව තරබාරු බවින් යුතු නොවීමත්, මේද ස්ථරය තුනීව පවතින්න ඇති බවත්ය. ඒ අනුව ඔවුන් කය වෙහෙසා ශක්තිය වැය කළ පිරිසක් බව පැහැදිලිය.

ශ්‍රී ලංකාවේ මිනිරන්, නිර්මාණාත්මක ලෙසින් භාවිතයට ගන්නා ලද අවස්ථාවක් ප්‍රාග් ඵෙතිහාසික යුගයේදී හමු වන්නේ කූරගල පුරාවිද්‍යා ස්ථානයෙන් අනාවරණය කර ගත්, අදින් වසර 16000ක් පැරැණි පස් ස්ථරවලින් අනාවරණය වූ පබළුවකිනි. ප්‍රාග් ඵෙතිහාසික තොරතුරු විමසීමේදී ඛනිජ ද්‍රව්‍ය භාවිතයට ගනිමින් නිර්මාණයක් සිදු කරන ලද මේ අනාවරණය කර ගන්නා ලද ප්‍රථම අවස්ථාව මෙයය. මින් පෙර පබළු භාවිතය පිළිබඳ වසර 47, 000 සිට ශ්‍රී ලංකාවෙන් අනාවරණය වුවද ඛනිජ ද්‍රවයක් භාවිතයෙන් සිදු කළ බවට වූ සාධක අනාවරණය කරගෙන ඇත්තේ කූරගල 2013 කැණීමෙන්ය. මේ පබළුව නිසැකවම පලඳන්න ඇත්තේ කුමන පාර්ශ්වයක්ද යන්න පැහැදිලි නැතත්, කාන්තාවන් විසින්ද මෙවැනි පබළු භාවිත කරන්න ඇත.

මුහුදු බෙල්ලන්ගෙන් සෑදූ පබඵ

විවිධ හැඩ ඇති මුහුදු බෙල්ලන්ගෙන් සෑදූ පබඵ බොහොමයක්, 2013 කූරගල කැණීම් පර්යේෂණයේදී අනාවරණය කරගෙන ඇත. එම පබළු කාන්තා හා පිරිමි යන දෙපාර්ශ්වයම භාවිතයට ගන්න ඇති බවට පැහැදිලි සාධක වේ. අදින් වසර 8000කට දින නියම වූ පිරිමි අස්ථි සැකිල්ලක් ආසන්නයේ වැඩි පබළු ප්‍රමාණයක් තැම්පත් කර තිබීම ඊට හේතුවය. ඔවුන් විසින් භාවිතයට ගන්නා ලද පෞද්ගලික ළං කළා විය හැකිය. ඒ අනුව ස්ත්‍රි - පුරුෂ භේදයකින් තොරව මරණයට ගෞරවනීය සමු දීමක් ලබාදී තිබේ. මානවයන්ගේ මේ මිනිස්කම මෙන්ම අනෙකාට ගෞරව කිරීමේ පුරුද්ද අදටද ආදර්ශයකි.

ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඉතිහාසය දෙස විමර්ශනාත්මකව බැලීමේදී නවීන මානව සාධක අදින් වසර 48,000 දක්වා පහතරට තෙත් කලාපයේ ගල්ලෙන්වලින් හමුව තිබේ. ඒ සෑම ස්ථානයකින්ම පාහේ ආභරණ කාණ්ඩයට ගැනෙන පබළු හෝ පලඳනා වර්ග හමුව තිබේ. මේවා නිසැක ලෙසින්ම කාන්තාවන් පැලඳුවේද? එසේත් නැත් නම් පිරිමින් පැලඳුවේදැයි සොයාගෙන නැත. ලෝක ඉතිහාසය දෙස බැලීමේදී සාමාන්‍යයෙන් ආභරණ පැලඳීම භාවිතයට පටන් ගැන්ම සිදුව ඇත්තේ ඉහළ පුරා ශිලා යුගයේදීය. මානව ඉතිහාසයේ මළවුන් භූමදානය හා ඒ සමඟ පෞද්ගලික ආභරණ හා භාණ්ඩ තැම්පත් කළ පළමු පුද්ගලයා නියන්ඩර්තාල් මානවයාය. ඒ පහළ පුරා ශිලා යුගයේදීය. ශ්‍රී ලංකාවේ කූරගල ලෙන් සංකීර්ණයේ සිදු කළ පර්යේෂණ කැණීමෙන් මුහුදු බෙල්ලන්, සත්ත්ව අස්ථි, මිරිදිය හා ගොඩබිම බෙල්ලන්, ආදියෙන් පලඳනා සකසා ඇති සාධක හමුව තිබේ. මෙලෙස සකසා ගත් පබඵ බෙල්ලේ හෝ අත්වල එල්ලා භාවිතයට ගත හැකි අයුරින් මධ්‍ය සිදුරු කර ඇත. ඒවා සඳහා කලාත්මක හැඩතලද එකතු කර තිබීම විශේෂත්වයකි.

උක්ත කරුණු මතින් පිළිබිඹු වන්නේ, ප්‍රාග් ඓතිහාසික යුගයේදී කාන්තා හා පිරිමි යන්න වරිගයේ පැවැත්ම සඳහා කිසිදු ගැටලුකාරී තත්ත්වයක් විවර කර නොගත් බවකි. එහිදී ප‍්‍රාග් මානවයා වෙත ස්වභාවධර්මයෙන් ලබාදී තිබූ කාර්යය මැනවින් ඉටු කළ බව පැහැදිලිය. සැම විටම ඔවුන් ප්‍රාග් ඓතිහාසික සමාජය වෙනුවෙන් පවත්නා පරිසරය හා සම්පත් කළමනාකරණයෙන් යුතුව යුතුකම් ඉටු කරමින් දිගු ගමනක් පැමිණ ඇත්තේ කාන්තා පුරුෂ භේදයකින් තොරවය. කුමන අයුරින් ලෝකයේ සමස්ත සමාජ ක්‍රියාවලිය වෙනස් වුවද, මානව පරිණාමය කෙබදු ලෙසින් සිදු වුවද, විවිධ සංස්කෘති එකතු වුවද, විවිධ ජන කොට්ඨාසවලට වෙන් වුවද කාන්තාවගේ කාර්යභාරය සිදුවීම්වලින් වෙනස්කම් දැක්වුවද, වෙනසක් සිදුව නැත. මවගේ කාර්යය වගකීම, සෙනෙහස, දයාව, කරුණාව, වෙනස්වී නැත. අද සමාජය ස්ත්‍රි - පුරුෂ භේදය හුවා දක්වමින්, කාලය ගෙවා දමමින් සිටින්නේ, අනෙකාට නිහතමානීව ගරු කිරීමට ඇති මැළිකමය. ප්‍රාග් ඓතිහාසික යුගයේ කාන්තාවගේ කාර්යභාරය විමසීමෙන් පැහැදිලි වන්නේ, ස්වභාවධර්මය විසින් එම ජන කොට්ඨාස වෙත ශරීරයට කාවද්දන ලද යුතුකම් හා වගකීම් ඔවුන්ගේ ශක්ති පමණින් ඉටු කර ඇති බවකි. එලෙස නොවී ඔවුන් ස්ත්‍රි - පුරුෂ භේදයෙන් යුතුව කුලල් කා ගත්තේ නම්, අද වන විට ලෝකය තුළ ඉතිරි වන්නේ කිසිවෙකුත් නොදන්නා පාළු හා වනගත පරිසරයකින් යුතු සතුන් පමණක් ජීවත් වන පරිසරයක් විය හැකිය.

එච්. එම්. සමන් කුමාර ඇරගම

පුරාවිද්‍යා පර්යේෂණ නිලධාරි,

පුරාවිද්‍යා පර්යේෂණ සම්බන්ධීකරණ ඒකකය,

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව.

නව අදහස දක්වන්න