ගාල්ලේදී ව්‍යාපාරික කතට හෙල්මටයෙන් ගැසූ පොලිස් නිලධාරියා අත්අඩංගුවට | දිනමිණ

ගාල්ලේදී ව්‍යාපාරික කතට හෙල්මටයෙන් ගැසූ පොලිස් නිලධාරියා අත්අඩංගුවට

චෙක්පොතත් පැහැරගෙන

අසභ්‍ය වචනත් කියලා

ව්‍යාපාරික කාන්තාවකට ගාල්ල මිලිද්දූව බෝධිය අසලදී අසභ්‍ය වචනවලින් බැණ වැදී යතුරුපැදි හිස් වැසුමකින් පහරදී තුවාල කර ඇය සතුව තිබුණු චෙක්පොතක් පැහැර ගත් පොලිස් නිලධාරියකුව ගාල්ල පොලිසිය විසින් පෙරේදා (22) අත්අඩංගුවට ගෙන තිබේ.

මේ පහරදීම සිදුව ඇත්තේ පසුගිය 21 දා බව ගාල්ල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතා සඳහන් කළේය.

පහරදීමෙන් තුවාල ලැබූ හතළිස් එක් වියැති එම කාන්තාව රෝහල්ගත කර ඇති බවත් එය තමාට දැන ගැනීමට ලැබීමෙන් පසු එම පොලිස් කොස්තාපල්වරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරමින් වැඩ තහනම් කිරීමට පියවර ගත් බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා කීය.

මේ පොලිස් නිලධාරියා සහ ව්‍යාපාරික කාන්තාව සමඟ අනියම් සම්බන්ධයක් පවත්වා ඇති බවත් එම සම්බන්ධය ඇය විසින් නවතා දැමීමෙන් පසු ඔහු විටෙන් විට ඇයටත් ඇගේ සැමියාටත් තර්ජනය කරමින් කරදර කර තිබෙන බවත් පොලිස් විමර්ශනවලින් අනාවරණය වී තිබේ. ඒ සම්බන්ධයෙන් පොලිසියට මෙයට පෙර පැමිණිලි දෙකක්ද කාන්තාව විසින් ඉදිරිපත් කර තිබී ඇත. ඒ සම්බන්ධයෙන් අධිකරණයේ නඩු කටයුත්තක්ද තිබෙන බව ගාල්ල පොලිසිය සඳහන් කළේය.

ගයාන් කුමාර වීරසිංහ

නව අදහස දක්වන්න