රන් බඩු උකසට ගන්නා ව්‍යාපාරිකයාගේ යතුරු පැදියේ තිබූ පවුම් 41කට විදලා | දිනමිණ

රන් බඩු උකසට ගන්නා ව්‍යාපාරිකයාගේ යතුරු පැදියේ තිබූ පවුම් 41කට විදලා

රන් භාණ්ඩ උකසට ගෙන පොලියට මුදල් දෙන ව්‍යාපාරිකයකු පොලී මුදල් එකතු කරමින් ගෙයින් ගෙට යමින් සිටියදී ඔහුගේ යතුරු පැදියේ කැබි හෝල් එකේ තිබූ රුපියල් ලක්ෂ 45ක් පමණ වටිනා රන් භාණ්ඩ තොගයක් සොරා ගෙන ගොස් ඇති බවට පෙරේදා (22) වාරියපොළ පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ.

එම ව්‍යාපාරිකයා පවසනුයේ පවුම් 41ක රන් භාණ්ඩ එහි තිබුණු බවය. වාරියපොළ සුමංගල අතුරු මාවතේ පදිංචිකරුවකු වන මේ ව්‍යාපාරිකයා වයස අවුරුදු 38ක් වන අයෙකි. එම යතුරු පැදියේ කැබි හෝල් එකේ තිබී ඇත්තේ එදින ඔහු උකසට ගත් රන් භාණ්ඩ බව පොලිසිය සඳහන් කරයි.

පොලී මුදල් රැස් කරමින් ගමන් කරමින් සිටි ඔහු කූරිකොටුව ප්‍රදේශයේ වෙළෙඳසලක් අසල යතුරු පැදිය නතර කර අසල නිවෙසකට පොලී මුදල් ගැනීමට ගොස් පැමිණෙන අතර මේ සොරකම සිදුව ඇති බව පොලිසිය සඳහන් කරයි.

යතුරුපැදිය නතර කර තිබුණු ස්ථානයේ වෙළෙඳසලේ හිමිකාරිනියගෙන්ද පොලිසිය මේ ගැන ප්‍රශ්න කර තිබේ. ඇය පොලිසියට පවසා ඇත්තේ එම යතුරුපැදිය අසලට කිසිවකුත් නොපැමිණි බවය. මේ වෙළෙඳසල අසල මෙයට පෙරත් යතුරු පැදිය නතර කර ගොස් ඇති බවත් ඒ යන අවස්ථාවලදීත් මුදල් හා රන් භාණ්ඩ යතුරු පැදියේ කැබි හෝල් එකේ තිබී ඇති බවත් ව්‍යාපාරිකයා පොලිසියට පවසා ඇත.

මේ සොරකම වූයේ මේ වෙළෙඳසල අසලදී බව ව්‍යාපාරිකයා පවසන බව පොලිසිය කියයි. ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ගයාන් කුමාර වීරසිංහ

නව අදහස දක්වන්න