විසඳුම් සෙවිය යුතු ජාතික ගැටලුවක් | දිනමිණ

විසඳුම් සෙවිය යුතු ජාතික ගැටලුවක්

ආදායමට සරිලන වියදම පාලනය කර ගැනීමට නොහැකි රාජ්‍ය ආයතන රැසක් පවතී. මේවා සැබැවින්ම අපේ භාණ්ඩාගාරයට විශාල බරක් වී ඇත. තෙල් සංස්ථාව, විදුලිබල මණ්ඩලය, එයාර් ලංකා ආයතනය ඇතුළු ආයතන රැසක් මේ අයුරින් අපට ලැයිස්තුගත කළ හැකිය. නමුදු ආදායමට වඩා වියදම ඉහළ ගොස් ඇති මෙම ආයතන එකවර වසා දැමීමට හැකි ආයතන නොවේ. මේ ආයතන ඔස්සේ මේ රටේ මහජනතාවට විශාල සේවාවන් ඉටු වෙමින් ඇත. එනිසා මෙම ආයතන රැකගනිමින් දැනට කරගෙන යනු ලබන සේවාව දිගටම කරගෙන යාමට ඉඩකඩ සකසා ගත යුතුය. එය එසේ කළ හැක්කේ ආයතනය මෙහෙයවන පරිපාලනය සහ ආයතනය තුළ සේවය කරන සේවකයන්ගේ සාමූහිකත්වය හා කැපවීම මතය. දැනට පාඩු ලබන සෑම රාජ්‍ය ආයතනයකම මේ ප්‍රතිව්‍යුහගතකරණය ඉතා ඉක්මනින් කළ යුතුය. එසේ කිරීමෙන් ආදායමට සරිලන වියදම පාලනය කර ගතහොත් මේ සෑම ආයතනයක්ම ඉතා ඉක්මනින් යථා තත්ත්වයට පත් කරගෙන එය මහා භාණ්ඩාගාරයට බරක් නොවුණ රටට බරක් නොවුණ තැනක් කර ගත හැකිය. එසේ වුවහොත් ඉතා ඉක්මනින් අපේ රට අප බලාපොරොත්තු වන තැනට රැගෙන යා හැකිය. එනිසා ආදායමට සරිලන වියදම පාලනය කර ගැනීම ඉතා ඉක්මන් කළ යුතු කාර්යභාරයක් සේම එය ජාතික වගකීමක් ලෙස සටහන් කළ යුතුය.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා දුම්රිය සේවයේ පාඩුව පිළිබඳ අලුත් හෙළිදරව්වක් කර තිබේ. ඒ අනුව ගිය වසරේ දුම්රිය දෙපාර්තමේන්තුවේ ආදායම රුපියල් කෝටි දෙසිය හැටකි. එයින් රුපියල් කෝටි දෙසිය තිහක් සේවක අතිකාල සඳහා ගෙවා ඇත. දුම්රිය දෙපාර්තමේන්තුව සේවක අතිකාල සඳහා ප්‍රසිද්ධ රාජ්‍ය ආයතනයකි. මේ හැරෙන්නට දෙපාර්තමේන්තුවේ සමස්ත වැටුප් පිරිවැය රුපියල් කෝටි හත්සියයක් බව ද සඳහන් වෙයි. දුම්රිය දෙපාර්තමේන්තුව මුහුණ දී ඇති බරපතළ මූල්‍ය අර්බුදය පැහැදිලි කර ගැනීමට එම කතාව හොඳටම ප්‍රමාණවත්ය.

රාජ්‍ය ආයතන එක්කෝ තමන්ගේ ආදායමට සරිලන වියදමක් වෙත යා යුතුය. නැතහොත් සුළු හෝ ලාභයක් ලැබිය යුතුය. දුම්රිය දෙපාර්තමේන්තුවේ යථාර්ථය ගත් කල එහි ආදායම මෙන් තුන්හතර ගුණයක වියදමක් දරයි. සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, අධ්‍යාපන දෙපාර්තමේන්තුව වැනි ආයතන ගත් කල ඒවා ආදායම් නොලබන එහෙත් අත්‍යවශ්‍ය සේවාවක නිරත ආයතන ලෙස සැලකිය හැකිය. අධ්‍යාපනය හා සෞඛ්‍ය අනාගත ආයෝජනයක් ලෙස ද හඳුන්වනු ලැබේ. එහෙත් දුම්රිය දෙපාර්තමේන්තුව යනු ආදායම් උපදවන හා ලාභයක් ලැබිය යුතු ආයතන හැටියට සැලකිය යුතුය. අවම වශයෙන් මෙබඳු ආයතන ආදායමට සමාන වියදමක් දරන දෙපාර්තමේන්තු බවට හෝ පත්කළ යුතුය. එසේ නොවුණහොත් රජයේ මූල්‍ය ස්ථායීතාව කඩා වැටෙනු ඇත. හැබෑවටම දැන් එය සිදු වී ඇත. දුම්රිය සේවයත්, අපේ රටේ මහාමාර්ග පද්ධතියත්, ඉංග්‍රීසි පාලනය නිසා අපට ලැබුණු දායාද ලෙස හැඳින්වීමේ වරදක් නැත. ඉංග්‍රීසි ආණ්ඩුව මහාමාර්ග ඉදිකළේ ද, දුම්රිය සේවය ආරම්භ කළේ ද වැවිලි කෘෂිකර්මය වැඩිදියුණු කොට එයින් අධික ලාභයක් ලැබීමටය. රටේ සෑම ප්‍රදේශයක්ම කොළඹ වරාය සමඟ සම්බන්ධ විය යුතුය. යන වැදගත් ආර්ථික අදහස ඉංග්‍රීසි පාලකයන් තුළ තිබිණි. ඒ හැරෙන්නට 1815න් පසු රටේ ආරක්ෂාව තරකිරීමේ අදහසක් ද ඔවුනට තිබිණි. 1818 ඌවේ කැරැල්ලෙන් පසු එම අදහස් තීව්‍ර ලෙස ක්‍රියාවට නැංවීමට ඉංග්‍රීසි පාලකයෝ වගබලා ගත්හ. අද අපගේ ආර්ථික ක්‍රියාවලියේ ප්‍රධාන සාධක දෙකක් හැටියට ද දුම්රිය සේවය හා මහාමාර්ග පද්ධතිය පවතී.

අමාත්‍යවරයා ප්‍රශ්න කර සිටින්නේ ආදායමට වැඩි වියදමක් දරන ආයතන පවත්වාගෙන යන්නේ කෙසේ ද යන්නය. එය විමසා බැලිය යුතු හා වහා විසඳුම් සෙවිය යුතු ජාතික ගැටලුවක් බව පෙන්වා දිය යුතුය. ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පෙන්වා දෙන අන්දමට රජයේ බදු ආදායමෙන් 86%ක් සේවක වැටුප් ගෙවීම සඳහා වෙන් කරන එකම රාජ්‍යය ශ්‍රී ලංකාවයි. මේ වන විට රාජ්‍ය ආදායම බොහෝ සෙයින් අඩු වී ඇති අතර, රාජ්‍ය වියදම ශීඝ්‍ර‍ෙයන් ඉහළ යමින් පවතී. මේ තත්ත්වය කෙතරම් උත්සන්න තැනෙක පවතී ද යත් රාජ්‍ය සේවක වැටුප් ගෙවීම සඳහා මුදල් අච්චු ගැසීමට සිදු වී ඇත. මුදල් අච්චු ගැසීම යනු උද්ධමනයට ප්‍රධාන හේතුවකි.

අපගේ පිළිගැනීමට අනුව දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවක පිරිස වැඩිය. අතිකාල දීමනා වැඩිය. අධීක්ෂණය දුර්වලය. වෘත්තීය සමිති විසින් ඉහළ කළමනාකාරීත්වය හසුරවනු ලබන බවක් ද පෙනෙන්නට තිබේ. අවශ්‍ය අවස්ථාවලදී සුදුසු තීරණ නොගැනීම ද ආයතනයේ පිරිහීමට බලපා ඇත. භාණ්ඩ ප්‍රවාහනය සඳහා ඇති නියමයන් ද යල් පීනූ ඒවා වෙයි. තව අතෙකින් දුම්රිය දෙපාර්තමේන්තුව නවීකරණයට ලක්වී නැත. සුද්දාගේ නීතිය තවදුරටත් වලංගු අවස්ථා තිබේ. මේවා වෙනස් කළ හැකි නම්, ආයතනය ගොඩදැමිය හැකිය.

ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා යටතට පත් වූ දුම්රිය දෙපාර්තමේන්තුව වෙනස්කම් ගණනාවක් පෙන්නුම් කර තිබේ. එක අතකින් ආදායම වැඩිකර ගැනීම කෙරෙහි අවධානය යොමු වී ඇත. තව අතෙකින් ශක්තිමත් දුම්රිය සේවයක් සඳහා අවශ්‍ය පදනම ඇති වන්නට පටන්ගෙන තිබේ. සංචාරකයන් සඳහා සුඛෝපභෝගී දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට ද අමාත්‍යවරයා සමත් විය. මේ වන විට දුම්රිය සේවා බෙහෙවින් ජනප්‍රිය වෙමින් පවතී.

නව අදහස දක්වන්න