බාබර්-රිස්වාන් වාර්තාගත හඹායෑමක | දිනමිණ

බාබර්-රිස්වාන් වාර්තාගත හඹායෑමක

බාබර්-රිස්වාන් වාර්තාගත හඹායෑමක

ජාත්‍යන්තර විස්සයි20 ක්‍රිකට් තරග බිමේ ජයග්‍රාහී ඉලක්කයක් හඹායෑමේදී පිතිකරුවන් දෙදෙ‍ෙනකු ගොඩනැඟූ ඉහළම නොබිඳුණු සබඳතාව පිහිටුවමින් ක්‍රිකට් වාර්තා පොත අලුත් කිරීමට පාකිස්තාන ආරම්භක පිතිකරුවන් වන නායක බාබර් අසාම් සහ මොහොඩම් රිස්වාන් සමත් වූහ.

එංගලන්තයට එරෙහිව කරච්චිහිදී පැවති දෙවැනි විස්සයි20 තරගයේදී පළමු කඩුල්ලට ලකුණු 203ක නොබිඳුණු සබඳතාවක් පිහිටුවමින් තරගය ජයග්‍රහණය කරා ගෙන ගිය බාබර්-රිස්වාන් යුගලය බිඳ දැම්මේ ඔවුන් දෙදෙනා විසින්ම පසුගිය වසරේ දකුණු අප්‍රිකාවට එරෙහිව ගොඩනැඟූ ලකුණු 197ක සබඳතාවයි.

පිරිමි විස්සයි20 පිටියේ එංගලන්තයට එරෙහිව ලකුණු 200ක් හෝ ඊට වැඩි ඉලක්කයක් සාර්ථකව හඹාගිය පළමු කණ්ඩායම බවට ද පාකිස්තානය පත් වූ අතර, මින් පෙර ඉන්දියාව එංගලන්තයට එරෙහිව ලකුණු 199ක් හඹාගොස් ජයගෙන තිබිණි. එමෙන්ම එංගලන්තය කඩුලු 10කින් පරාජයට පත් වූ පළමු තරගය ලෙස ද මෙය වාර්තා අතරට එක් විය. මේ තරගයේදී බාබර් නොදැවී ලකුණු 110ක් රැස් කළේ සිය දෙවැනි විස්සයි20 ශතකය වාර්තා කරමිනි. පන්දු 66කදී හතරේ පහර 11කින් සහ හයේ පහර 5කින් ඔහුගේ ඉනිම වර්ණවත් වූ අතර, බාබර්ට අනගි සහායක් දුන් රිස්වාන් පන්දු 51කදී හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් සමඟ නොදැවී ලකුණු 88ක් රැස් කළේය.

මේ ජය සමඟ පාකිස්තානය තරග 5කින් සමන්විත තරගාවලිය 1-1ක් ලෙස සම කර ගත් අතර, දෙපිල අතර තෙවැනි තරගය ඊයේ රාත්‍රියේ පැවැත්වීමට නියමිතව තිබිණි.

නව අදහස දක්වන්න