ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් තවමත් පෙරමුණේ | දිනමිණ

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් තවමත් පෙරමුණේ

ඉන්දියාවේ පැවැත්වෙන ‘රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස්’ ලෙජන්ඩ්ස් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ තරග 14ක් නිමා වන විටත් පෙරමුණ රැක ගැනීමට තිලකරත්න ඩිල්ෂාන්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත්ව සිටී.

මෙතෙක් ක්‍රීඩා කළ තරග 3ම ජයගෙන ඇති ශ්‍රී ලංකා පිල අද (24) ඉන්දොර්හිදී පස්වරු 3.30ට නවසීලන්තයට එරෙහිව තරගාවලියේ සිවුවැනි තරගයට එක්වීමට නියමිතය.

කණ්ඩායම් 8ක් එක්වන මේ තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් 4 අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන අතර, මේ වන විටත් ශ්‍රී ලංකාව සමඟ දෙවැනි සහ තෙවැනි ස්ථානවල පසු වන සත්කාරක ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් ද අවසන් පූර්ව වටය අබියසට පැමිණ තිබේ. ඉන්දියාව සහ කොදෙව් කණ්ඩායම් තරග 4කින් දෙකක් බැගින් ජයගෙන ඇති අතර, තරග දෙකක් වර්ෂාව හේතුවෙන් අත්හැර දමා තිබේ. මේ අනුව එම කණ්ඩායම් දෙකට ද ප්‍රසාද ලකුණු 12 බැගින් හිමිව ඇත.

කෙසේ වෙතත් සිවුවැනි ස්ථානය වෙනුවෙන් උණුසුම් සටනක් නිර්මාණය වී තිබේ. නවසීලන්තය තරග 4කදී ජයග්‍රහණයක්, පරාජයක් සහ අත්හැර දැමූ තරග දෙකක් සමඟ ලකුණු 8ක් ලබා සිවුවැනි තැන පසු වන අතර, දකුණු අප්‍රිකාවට (6) තරග 4කදී එක් ජයක් පරාජ 2ක් හිමිව ඇත. ඔස්ට්‍රේලියාව තරග 2කින් එකක් ජයගෙන ප්‍රසාද ලකුණු 4ක් සමඟ 6 වැනි තැන සිටී.

කෙසේ වෙතත් නවසීලන්ත කණ්ඩායම මේ තරගාවලියේ මූලික වටයේ එක් වන අවසන් තරගය අද පැවැත්වෙන අතර, අවසන් පූර්ව වටයට එක්වීමට ඔස්ට්‍රේලියාවට වැඩි අවස්ථාවක් ඇත්තේ මූලික වටයේ තවත් තරග 3ක් (ඊයේ රාත්‍රි දකුණු අප්‍රිකාවට එරෙහි තරගය සමඟ) ඉතිරිව ඇති බැවිනි.

 

නිරෝෂාන් ප්‍රියංකර

 

නව අදහස දක්වන්න