දෙහිවල ‘බන්දුල’ මියයයි | දිනමිණ

දෙහිවල ‘බන්දුල’ මියයයි

දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කී ‘බන්දුල‘ හස්තියා ඊයේ (23) අලුයම මියගොස් තිබේ.

හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් දෙපා අප්‍රාණිකව බිම ඇදවැටීමත් සමඟ පශු වෛද්‍යවරුන් විසින් හස්තියාට ප්‍රතිකාර කර ඇතත් එම සත්ත්වයා මියගොස් ඇත.

ජාතික සත්ත්වෝද්‍යානයේ වාසනාව ලෙස සලකනු ලැබූ ‘බන්දුල‘ 1949 වසරේ සිට දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ දීර්ඝ කාලයක් සිටි අතර, මියයන විට 79 වැනි වියේ පසු විය.

බන්දුල හස්තියා වර්ෂ 1943දී අනුරාධපුරයේදී උපත ලද අතර, වසර 03කට පමණ පසුව මවු සෙනෙහස නොලබා අලි රංචුවෙන් වෙන්ව වනයේ අතරමංව සිටින විට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් තම භාරයට ගෙන වර්ෂ 1949දී දෙහිවල සත්ත්වෝද්‍යානයට ගෙනවිත් භාර දී තිබේ. සත්ත්වෝද්‍යානයේ එවකට අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළ මේජර් ඕබිරි එන්. වයිමන් මහතා විසින් මේ පැටවා සත්ත්වෝද්‍යානය වෙත නිල වශයෙන් භාරගෙන ඇත. මනස්කාන්ත රූ සපුවකින් සහ ශාන්ත බවින් යුත් තේජස් ගමන් විලාසයකින් හෙබි බන්දුල හස්තියා වර්තමානයේදී දෙහිවල සත්ත්වෝද්‍යානයේ සිටින සියලු සතුන් අතුරින් වඩාත්ම ජනතා ආකර්ෂණයට ලක් වූ සතා වශයෙන් හැඳින්විය හැකි බව ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය තිලක් ප්‍රේමකාන්ත මහතා පැවසීය.

අඩි 09ක් පමණ උසින් යුතු වන බන්දුල හස්තියා දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයෙහි අලි ඇතුන් කණ්ඩායමෙහි උසම සාමාජිකයා වන අතර, ශ්‍රී ලංකාවෙහි වර්තමාන හීලෑ අලි ඇතුන් අතර සිටින උසින් වැඩිම අලි ඇතුන් කිහිපදෙනා අතරට එක්වේ.

දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයෙහි සේවය කළා වූ සියලු සේවක සේවිකාවන්ගේ ආදරයට හා පැසසුමට ලක්වූ බන්දුල හස්තියාගේ අවසන් කටයුතු සඳහා මහා සංඝරත්නය වැඩමවා පාංශකූලය දීම ඊයේ (23) පෙරවරුවේ සිදු කර සිරුර දෙහිවල ජාතික සත්ත්වෝද්‍යාන භූමියේදී මිහිදන් කළ බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා දිනමිණට කීය.

බුද්ධිකා ඉඹුලාන සහ දෙහිවල ඩී.පී. හේරත්

 

නව අදහස දක්වන්න