ලක්ෂ 78ක දුම්වැටි කටුනායකදී අත්අඩංගුවට | දිනමිණ

ලක්ෂ 78ක දුම්වැටි කටුනායකදී අත්අඩංගුවට

තිදෙනෙක් දැලේ

රුපියල් හැත්තෑ හත් ලක්ෂ අනූ දෙදහසක් වටිනා විදේශයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන් තිදෙනකු ඊයේ (23) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

හලාවත සහ මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මොවුන් වයස අවුරුදු 30, 36 සහ 42 පසුවන්නෝ වෙති. මොවුන් ඕමානයේ මස්කට් නුවර සිට ඕමාන් ගුවන් සේවයේ ඩබ්ලිව්.වයි. 371 දරන ගුවන් යානයෙන් ඊයේ (23) උදෑසන 07.40ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබිණි. මොවුන් සිය ගමන් මලු තුළ සඟවා ගෙන ‘මැන්චෙස්ටර්‘ වර්ගයේ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 77,400ක් අඩංගු දුම්වැටි කාටුන් 487ක් නීතිවිරෝධී ලෙස කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබිණි.

මේ පිළිබඳ පැවති විධිමත් රේගු පරීක්ෂණයේදී මෙසේ රැගෙන විත් තිබූ දුම්වැටි සියල්ලම රාජසන්තක කර මේ ව්‍යාපාරිකයන් තිදෙනාට දඩ මුදලක්ද ගෙවන ලෙස නියෝග කර තිබේ.

කටුනායක ටී.කේ.ජී. කපිල

නව අදහස දක්වන්න