ජාතික සභාවේ නම් ලැයිස්තුව කථානායකට | දිනමිණ

ජාතික සභාවේ නම් ලැයිස්තුව කථානායකට

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ යෝජනාවක් අනුව ස්ථාපිත කළ පිළිගත් දේශපාලන පක්ෂවල පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත ‘ජාතික සභාව’ සඳහා දැනට නම් දී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ලේඛනය කථානායකවරයා විසින් ඊයේ (23) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

ඒ අනුව ජාතික සභාවට නම් කිරීම සඳහා ඩග්ලස් දේවානන්දා, වජිර අබේවර්ධන, නසීර් අහමඩ්, ටිරාන් අලස්, සිසිර ජයකොඩි, සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, ජීවන් තොණ්ඩමන්, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රවුෆ් හකීම්, පවිත්‍රාදේවි වන්නිආරච්චි, ඒ.එල්.එම්. අතාවුල්ලා, මහාචාර්ය තිස්ස විතාරණ, රිෂාඩ් බදියුදීන්, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, පලනි දිගම්බරම්, මනෝ ගනේෂන්, උදය ගම්මන්පිල, රෝහිත අබේගුණවර්ධන, නාමල් රාජපක්ෂ, ජී.ජී. පොන්නම්බලම්, අතුරලියේ රතන හිමි, අසංක නවරත්න, අලි සබ්රි, සී.වී. විග්නේෂ්වරම්, වීරසුමන වීරසිංහ සහ සාගර කාරියවසම් යන මහත්වරුන්ගේ නම් දැනට ඉදිරිපත් වී තිබේ.

එමෙන්ම තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකගේ නම් ලැබිය යුතුව ඇති බැවින් එම නම් ඉදිරි කාලයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.

මේ වෙනුවෙන් සංශෝධනයක් ඉදිරිපත් කරමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේ කථානායකවරයා සභාපතිවූද අගමැතිවරයා, පාර්ලිමේන්තුවේ සභානායකවරයා, විරුද්ධ පක්ෂයේ නායකවරයා, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා, විරුද්ධ පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා සහ දේශපාලන පක්ෂ නායකයන් විසින් තීරණය කරන පරිදි මෙරට පිළිගත් දේශපාලන පක්ෂවලින් නව වැනි පාර්ලිමේන්තුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 35කට නොවැඩි සංඛ්‍යාවකින් ‘ජාතික සභාව’ සමන්විත විය යුතු බවයි.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පසුගිය 20 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ජාතික සභා යෝජනාව විරෝධතාවකින් තොරව පාර්ලිමේන්තුවේදී සම්මත විය.කෙටි, මධ්‍ය සහ දීර්ඝ කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සඳහා සියලු පක්ෂවල එකඟතාවෙන් මඟ පෙන්වීම ‘ජාතික සභාවේ‘ ප්‍රමුඛ කාර්යයක් බවද අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මීට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සඳහන් කළේය.

ආර්ථික ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන පොදු අවම වැඩසටහන් සම්බන්ධයෙන් එකඟතාව ඇති කර ගැනීම තවත් වගකීමක් වේ.

අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන්, ජාතික සභාව, විශේෂ කාරක සභාවල සභාපතිවරුන් සහ යොවුන් සංවිධානවල යොවුන් නිරීක්ෂකයන් සහභාගි වන විශේෂ රැස්වීම් වෙනුවෙන් කටයුතු සංවිධාන කිරීමද මීට පැවරෙන බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.ආංශික අධීක්ෂණ කාරක සභා, රජයේ මුදල් පිළිබඳ කාරක සභාව, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සහ රජයේ මුදල් පාලනය කරන කවර හෝ කාරක සභාවක් වෙතින් වාර්තා කැඳවීමේ බලයද ‘ජාතික සභාව‘ට හිමිවේ.

ස්වර්ණා විජේකෝන්, නුවන් කොඩිකාර සහ සන්ධ්‍යා කරුණාරත්න

නව අදහස දක්වන්න