සණස මූලිකව ගම්මාන 5,000ක් සංවර්ධනයට | දිනමිණ

සණස මූලිකව ගම්මාන 5,000ක් සංවර්ධනයට

සණස ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය පී.ඒ. කිරිවන්දෙණිය මහතාගේ සංකල්පයකට අනුව ගම්මාන 5,000ක් සංවර්ධනය කිරීමේ අරමුණින් ජාතික වැඩසටහනක් අරඹා තිබේ. ‘වැය අඩු කරමු - අය වැඩි කරමු’ යන තේමාව යටතේ ඇරඹුණු මේ වැඩසටහනේ දිස්ත්‍රික් මට්ටමේ සමාරම්භක උත්සවය කුරුණෑගල, ඉබ්බාගමුව මහා විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැත්වුණු අතර, ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ තවත් දිස්ත්‍රික්ක 16ක සණස සමිති සාමාජිකයෝ මේ සඳහා සජීවීව සම්බන්ධ වූහ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ සණස සමිති 100කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් සාමාජික සාමාජිකාවෝ 700කට අධික පිරිසක් මේ සඳහා එක්ව සිටියහ. සණස සමූහයේ ආයතන සියල්ලේම සහයෝගය ඇතිව ගම් මට්ටමේ සිට ජාතික තලය දක්වා වූ පුළුල් සංවර්ධන වැඩසටහනක අවශ්‍යතාව පිළිබඳ මෙහිදී මූලික වශයෙන් සාකච්ඡා වූ අතර, සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම, සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම, සණස කැම්පස් සමාගම, සණස ඉන්ටනැෂනල් සමාගම සහ සණස මහා සංගමය මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමෙහිලා මූලිකව කටයුතු කරයි.

“රට මේ මොහොතේ පත් වී තිබෙන අර්බුදයෙන් ගොඩඒමට නම් රජයෙන් සහන දෙන තෙක් බලා සිටිය නොහැකියි. ගම් මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා සියල්ලන්ම මේ සඳහා එක් විය යුතුයි. වැය අඩු කරමු - අය වැඩි කරමු වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ මේ සඳහා වන මතවාදය ප්‍රචලිත කිරීමටයි. මෙහිදී අපි සියල්ලන්ටම පෞද්ගලිකව සහ කණ්ඩායමක් ලෙස එක් වී කළ හැකි දේ බොහෝයි.” ආචාර්ය පී.ඒ. කිරිවන්දෙණිය මහතා පැවසීය.

 

නව අදහස දක්වන්න