මානව හිමිකම් අධ්‍යක්ෂිකාගෙන් ආසියාවට අනතුරු ඇඟවීමක් | දිනමිණ

මානව හිමිකම් අධ්‍යක්ෂිකාගෙන් ආසියාවට අනතුරු ඇඟවීමක්

ආසියාතික රටවල් රැසක් චීනයේ ආධිපත්‍යයට නතු වෙමින් තිබෙන බව හියුමන් රයිට් වොච් ආසියාතික කලාපයේ අධ්‍යක්ෂිකා එලේන් පියර්සන් අනතුරු අඟවා ඇතැයි ලන්ඩන් නුවර ටෙලිග්‍රාෆ් පුවත්පත වාර්තා කළේය. බොහෝ ආසියාතික රටවල දේශපාලන ව්‍යාකූලත්වය ඉහළ යමින් තිබූ මොහොතක එම තනතුරට පත් වූ පියර්සන්, චීනයේ ඒකාධිපතිවාදය කලාපය පුරා පැතිරෙමින් පවතින බව ප්‍රකාශ කර ඇත.

ලබන ඔක්තෝබර් මාසයේ පැවැත්වෙන චීන කොමියුනිස්ට් පක්ෂ සම්මේලනයේදී වත්මන් ජනාධිපති ෂි ජින්පින් සිය තුන්වැනි ධුර කාලය අපේක්ෂාවෙන් සිටින අතර, පියර්සන් කියන්නේ එය ආසියාවටම තීරණාත්මක සාධකයක් බවට පත්විය හැකි බවය.

පසුගිය දශකය පුරා ආසියාවේ බොහෝ රටවල මානව හිමිකම් බරපතළ ලෙස උල්ලංඝනය වූ බවත්, බොහෝ රටවල බරපතළ ආකාරයේ දේශපාලන ව්‍යාකූලත්වයක් ද හටගත් බවත් ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

ටෙලිග්‍රාෆ් පුවත්පතේ සම්මුඛ සාකච්ඡාවේදී ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ තායිලන්තය, කාම්බෝජය සහ මියන්මාරය වැනි රටවල පසුගිය කාලයේ සිදුවූ දැවැන්ත මහජන උද්ඝෝෂණ සහ දේශපාලන පෙරළි සියල්ලටම චීනයෙන් දැඩි බලපෑමක් එල්ලවී තිබෙන්නට හැකි බවට ඇය අනුමාන කරන බවයි.

‘චීනයෙන් නැඟී එන ඒකාධිකාරය තුළින් ආසියානු කලාපය පුරා ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල වීම ගැන අප සැලකිලිමත් වූවා. මැතිවරණ පවත්වන ප්‍රජාතන්ත්‍රවාදී රටවල් ගණනාවක එම රාමුව දුර්වල කරමින් ඔවුන් කැමැති නැති දේශපාලන පක්ෂ නීති විරෝධී බවට පත් කිරීම් වැනි සිදුවීම් ගැනත් අපේ අවධානය යොමුවී තිබෙනවා.‘ ඇය එසේ සඳහන් කර ඇත.

එලේන් පියර්සන් වසර ගණනාවක් පුරා ආසියාතික කලාපයේ මානව හිමිකම් පිළිබඳ විශේෂ අධ්‍යයනයක නිරතවූ කාන්තාවක් වන අතර, විවිධ ජනකොටස්වල මානව හිමිකම් උල්ලංඝනය වීමේදී ඒ වෙනුවෙන් පෙනී සිටියාය.

පසුගිය වසරේ පෙබරවාරි මාසයේ මියන්මාරයේ සිදු වූ හමුදා කුමන්ත්‍රණයත්, ඉන් අනතුරුව අවුන් සාන් සුකී නිවාස අඩස්සියේ තැබීමටත් කටයුතු යෙදී තිබූ බව ඇය සිහිපත් කළාය. පසුගියදා සුකීට එරෙහිව විවිධ දූෂණ චෝදනා එල්ල කරමින් ඇයට දශක ගණනාවක සිර දඬුවම් අත්කර දීමට මියන්මාර හමුදා ජුන්ටාව කටයුතු කළ බව කී ඇය සිය ධුරයේ අවසන් කාලයේදී සුකී චීනය සමඟ විරසකව සිටීමේ ප්‍රතිඵලය දැන් භුක්ති විඳින්නට සිදුව ඇතැයි කියා සිටියාය.

එමෙන්ම වසර 2016දී පිලිපීනයේ රොඩ්‍රිගෝ ඩුටේර්ටි එරට මත්ද්‍රව්‍ය තහනම් කරමින් මත්කුඩු භාවිත කරන්නන් ප්‍රසිද්ධියේ ඝාතනය කිරීමට නියෝග දුන් බව සිහිපත් කළ ඇය පිලිපීන සමාජයෙන් මත්ද්‍රව්‍ය තුරන් කිරීමට අවශ්‍ය දැඩි නීති සම්පාදනය කරමින් එරට ජනතාව අතර ප්‍රසාදයට පත් වූවත්, පසුගිය ජනාධිපතිවරණයේදී ෆර්ඩිනැන්ඩ් මාකෝස්ගේ පුත්‍රයා ජයග්‍රහණය අත්කර ගැනීමේ හේතුව කුමක්දැයි අනුමාන කළ හැකි දැයි ප්‍රශ්න කර සිටියාය.

මෙවැනි විස්මයජනක සිදුවීම් හේතුවෙන් ආසියාතික රටවල දේශපාලන පෙරළි හා සමාජ සංසිද්ධීන් රැසකටම යම්කිසි බලපෑමක් චීනයෙන් එල්ලවී ඇති බවට තමා විශ්වාස කරන්නේ යැයි ඇය අවධාරණය කර තිබේ.

සදෙව් රත්නායක

නව අදහස දක්වන්න