කිරුළ සොයා යන රාහුල්ගේ පා ගමන | දිනමිණ

කිරුළ සොයා යන රාහුල්ගේ පා ගමන

ලෝක දේශපාලන කරළිය තුළ තම ජයග්‍රහණය ලබාගැනීම වෙනුවෙන් දේශපාලන පක්ෂ විවිධ අයුරින් සටන් පාඨ මෙන්ම නොයෙකුත් උද්ඝෝෂණද ගොඩනඟාගත් බව නොරහසකි. විටෙක මැතිවරණයන්ගෙන් ජයග්‍රහණ ලබා ගැනීමත් වඩා යම් යම් කාලයන් තුළදී තම පක්ෂවල බලය තහවුරු කරගැනීමට මෙන්ම ඔවුනගේ ඉදිරි ගමන වෙනුවෙන් ඉන් එහාටද ගිය කටයුතු ගෙන යන බැව් දක්නට ලැබේ. කෙසේ වෙතත් මීට දින දහයකට පමණ පෙර අසල්වැසි ඉන්දියාවෙන් දැවැන්ත පා ගමනක ආරම්භයක් සිදු විය. මෙය කවර ආකාරයෙන් කතා කළ යුතු මාතෘකාවක්දැයි කිවහොත් පා ගමන අවසන් වන්නේ දින කිහිපයක් තුළ නොව මාස පහක කාලයක් දක්වා දිවෙන පාගමනකි. මෙම පා ගමනෙහි අරමුණ වන්නේ භාරතයේ පැරණිතම පක්ෂය වන ඉන්දියානු කොංග්‍රසයෙහි බලය ඉදිරියට ගෙනයාමයි. මේ වෙනුවෙන් මූලිකත්වය ගනු ලබන්නේ ඉන්දීය ප්‍රධාන විපක්ෂයේ නායක රාහුල් ගාන්ධිය.

ඉන්දියාව එක්සත් කිරීම

මෙම පාද යාත්‍රාව ආරම්භ කරනු ලැබුවේ රාහුල් ගාන්ධි සමඟ කොංග්‍රස් පක්ෂයේ ප්‍රධාන සාමාජිකයන් 100 දෙනකුට අධික ප්‍රමාණයක්ද සමඟිනි. පාද යාත්‍රාව දියත් කිරීම ඔවුන්ගේ මවු පක්ෂය වන ඉන්දීය කොංග්‍රස­‍ෙයහි වර්ධනය වෙනුවෙන් ආරම්භ කළද ඔවුන් එය නම්කර ඇත්තේ “ඉන්දියාව එක්සත් කිරීම” වෙනුවෙන් රටපුරා ගමන් කරනු ලබන දැවැන්ත පා ගමනක් ලෙසිනි. ඔවුන් එය සංවිධානය කර ඇති ආකාරයට ඉන්දියාවේ ප්‍රාන්ත 12ක් හරහා ගමන් කිරීමට නියමිතය. මෙම පාද යාත්‍රාව ආරම්භ කරනු ලැබුවේ සැප්තැම්බර් 7 වැනිදා වන අතර ප්‍රාන්ත 12 හරහා ගමන් කිරීමේදී මේ සඳහා විශාල පිරිසක් එක්වන ආකාරයටද එය සැලසුම් කර තිබිණි. මෙය කවර ආකාරයේ දීර්ඝ පාද යාත්‍රාවක් ද කිවහොත් මාස පහක් පුරා ඇදී යන ආකාරයෙන් එය සංවිධානය කර තිබිණි. පාද යාත්‍රාව ප්‍රාන්ත 12ක් පුරා ගමන් කිරීම තුළ කිලෝමීටර් 3750ක් පමණ ආවරණය වන ලෙස එය සංවිධානය කර තිබුණි. බැලූ බැල්මටම එය රට හරහා වැටී ඇති දීර්ඝ පාද යාත්‍රාවකි. මෙම පාද යාත්‍රාව පුරා දිනපතා රාහුල් ගාන්ධි විසින් තම පක්ෂයේ ප්‍රධාන සංවිධායකයන් හා එක්ව පක්ෂයේ ආධාරකරුවන් හමුවීමටද කටයුතු යොදා ගෙන තිබිණි. මේ වන විට පසුගිය දින කිහිපය පුරාම ඔවුන් තම සැලසුම් යොදාගෙන තිබූ අයුරින් ආධාරකරුවන් හමුවීමටද කටයුතු කෙරිණි. පා ගමන සිදුවන අතරවාරයේ එය නොයෙක් ස්ථානයන්හි සිට සජීවී ආකාරයෙන් වෙබ් අඩවියක් ඔස්සේ විකාශනයද සිදු කළ අතර පාද යාත්‍රාව යන අතරතුර විවිධ ආකාරයෙන් ජනතාවගේ දේශමාමකත්වය ඔද වැඩෙන අයුරින් නිර්මාණය වූ ගීතද වාදනය කෙරිණි.

මේ පාද යාත්‍රාව අතරතුර පක්ෂයේ ප්‍රධානීන් පවසන්නේ කිසිදු විටක ඔවුන් වටා රැස්වන අනුගාමිකයන්ට රැස්වීම් පැවැත්වීමට ඔවුන් උත්සාහ නොකරන බවත් ඔවුනගේ මූලිකම අරමුණ වන්නේ සාමාජිකයන්ගේ හඬට ඇහුම්කන්දීම බවයි. මූලික වශයෙන් සඳහන් කළ යුතු වන්නේ ඉන්දියාවේ ප්‍රාන්ත 12ක් පුරා ඇදී යන මෙම පාද යාත්‍රාව දේශපාලනික අගයක් ගන්නා බවයි. ඉන්දියාව එක්සත් කිරීම වෙනුවෙන් වූ පාද යාත්‍රාව ලෙසින් නම් කළ ද ඔවුන්ගේ මූලික අරමුණ වන්නේ කොංග්‍රස් පක්ෂය වඩාත් ජනතාව තුළට ගෙනයමින් එහි බලය වර්ධනය කිරීමයි. එමෙන්ම ඔවුන්ගේ පක්ෂ නායකයා වූ රාහුල් ගාන්ධි ජනප්‍රිය නායකයකු බවට පත් කිරීමය.

රාහුල් ගාන්ධි

රාහුල් ගාන්ධි මේ වනවිට ජාතික කොංග්‍රසයේ සභාපතිවරයා වන අතර තුන් වතාවක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසින්ද ඉන්දීය දේශපාලනය තුළ භූමිකාවක් විය. ඔහුට මෙම දේශපාලන පසුබිම ඇති වූයේ ඉන්දියාව තුළ ගාන්ධි පවුල ප්‍රබල ලෙසින් දේශපාලනය සමඟින් මුහුවීමත් සමඟය. තම මිත්තණිය වූ ඉන්දිරා ගාන්ධිගෙන් පසු කොංග්‍රසයේ නායකත්වයට පත් වූ රජිව් ගාන්ධි රාහුල්ගේ පියා වූ අතර එල්.ටී.ටී.ඊ මරාගෙන මැරෙන කාන්තාවකගේ බෝම්බයෙන් ඔහු මිය යාමත් සමඟ කොංග්‍රසයේ ප්‍රධාන භූමිකාව බවට පත්වූයේ ඉතාලි ජාතික කාන්තාවක මෙන්ම රාහුල්ගේ මව වූ සෝනියා ගාන්ධිය. කෙසේ වෙතත් රාහුල් දේශපාලනයට පිවිසියේ 2004 වර්ෂයේ වන අතර ඒ ‘අමෙති’ ප්‍රදේශයට තරග වැදීමෙනි. ඔහු එම ප්‍රදේශයෙන්ම මැතිවරණයට ඉදිරිපත්වීම සඳහා හේතු වූයේ රජිව් ගාන්ධි මෙන්ම සෝනියා ගාන්ධි ද එම ප්‍රදේශයෙන් මැතිවරණයට ඉදිරිපත් වීම හේතුවෙනි.

ඔහු කොංග්‍රසයේ උප සභාපතිත්වයට පත්වූයේ 2013 ජනවාරි මාසයේදී වන අතර 2017 දෙසැම්බර් මාසයේ පක්ෂයේ සභාපතිත්වයට පත්වූයේ තම මවගේ ඇවෑමෙනි. ඔහු නවදිල්ලියේ ස්ටීවන් විද්‍යාලයෙන් මෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ හාවඩ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනයෙන් පසු කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබන්නට සමත්විය. ඉන්පසු කේම්බ්‍රිජ් ත්‍රිත්ව විද්‍යාලයෙන්ද උපාධියක් ලබන්නට සමත් වූ ඔහු තම මවුරටට පැමිණීමට පෙර කළමනාකරණ උපදේශකයකු ලෙස ලන්ඩනයේ වසර තුනක කාලයක්ද සේවය කර තිබිණි. කෙසේ වෙතත් වර්තමානයේ රාහුල් ගාන්ධි තම සම්පූර්ණ කාලයම යොදවා ඇත්තේ දේශපාලනය කටයුතු කෙරෙහිය.

මේ මොහොත වන විට ඉන්දියා දේශපාලනය තුළ වැඩි ප්‍රසාදයක් දිනා ගැනීමට සමත්ව සිටින්නේ මෝදිය. 2014 වසරේදී ඔහු විශාල ජයග්‍රහණයක් ලබා ගැනීමත් සමඟ කොංග්‍රසයේ ජනප්‍රියත්වය අඩුවන්නට විය. පිට පිට මැතිවරණ දෙකකදී අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ප්‍රාන්ත මැතිවරණයන්හිදී ජයග්‍රහණය ලබාගනු ලැබුවේ ප්‍රබල මට්ටමක සිටි කොංග්‍රස් පක්ෂය පරාජය කිරීමෙන් අනතුරුවය. එම ප්‍රාන්ත මැතිවරණවලදී ප්‍රාන්ත 45න් 40ක්ම දිනාගැනීමට හැකිවූ‍යේ මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂයටය.

කොංග්‍රසයට පෙර භාරතීය ජනතා පක්ෂයෙන් පා ගමනක්

මේ මොහොත වන කිලෝමීටර් 3570ක් පුරා දී‍ර්ඝ පා ගමනක් කොංග්‍රස් පක්ෂය සංවිධානය කළද බොහෝ දෙනෙක් කතාබහ කළ විශාලතම පා ගමන ආරම්භ කරනු ලැබුවේ භාරතීය ජනතා පක්ෂයයි. එහි අතීතය 90 දශකය දක්වා ඈතට දිවයන අතර 1990 දී භාරතීය ජනතා පක්ෂයේ නායකත්වයේ සිටි ආද්වානි විසින් මෙය ආරම්භ කරන ලදි. කුඩා ලොරියක නැඟ බටහිර දිග සෝම්නාත් හින්දු දේවස්ථානයෙන් ඇරඹි මෙම පා ගමන අවසන් කිරීමට තිබුණේ උතුර දෙස පිහිටි අයෝධ්‍යාවේදීය. එය පසුගියදා කොංග්‍රස කන්‍යා කුමාරි සිට කාශ්මීරය දක්වා කිලෝමීටර 3570ක පමණ දිගු පාද යාත්‍රාවට වඩා දෙගුණයටත් අධික විය. ආද්වානි විසින් සංවිධානය කළ පා ගමනහි සම්පූර්ණ දිග වශයෙන් දැක්වෙන්නේ කිලෝමීටර 10,000ක පමණ දුරකි. එහි අරමුණ කවරාකාර වුවත් ඔහුගේ පාගමන මසකින් පමණ සීමා කිරීමට සිදු වූයේ ඔහුව අත්අඩංගුවට පත් වූ නිසාවෙනි.

ඉන්දියාවේ පැරණිතම දේශපාලන පක්ෂය

වර්තමානයේ ඉන්දියාවේ විපක්ෂයට තල්ලු වී සිටින ඉන්දියානු කොංග්‍රසය ආරම්භ වූයේ ඉන්දියාව නිදහස ලබන්නටත් පෙර සිටය. 1885 දී ආරම්භ කරන ලද පක්ෂය පැරණිතම පක්ෂය හෙයින් එය හැඳින්වෙන්නේ GRAND OLD PARTY නමිනි. පක්ෂයේ අතීතය විමසීමේදී පෙනී යන කරුණ වන්නේ ඔවුන් සතුව පොහොසත් දේශපාලන ඉතිහාසයක් ඇති බවය. නිදහසින් පසු පළමු අගමැතිවරයා බිහිවූයේ ද කොංග්‍රසයෙනි. නේරු එහි පළමු අගමැතිවරයා වූ අතර පුරා වසර 17ක කාලයක් ඔහු එම තනතුරේ රැඳී සිටියේය. ඔහුගේ පාලන සමයේදී ඉන්දියාව, පාකිස්ථානය හා චීනය සමඟ යුද කටයුතුවල නිරත වූ අතර ඉන්දියාවේ පළමු අගමැතිවරයා බවට ද පත්වූයේ ඔහුගේ දියණිය වූ ඉන්දිරා ගාන්ධිය. ඇය පාලන කරන සමයේද ඉන්දියාව පාකිස්ථානය සමඟ යුද්ධයක නිරත වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙසින් බංග්ලාදේශය පිහිටුවීම මුල්විය.

පා ගමනින් පසු බලාපොරොත්තු

මාස පහක් දක්වා දිවෙන කොංග්‍රසයේ පාගමනට මේ මොහොත වනවිට ගතව ඇත්තේ දින දහයකට ආසන්න කාලයකි. කෙසේ වෙතත් මෙහි සාර්ථක මෙන්ම අසාර්ථකභාවය අපිට මිණිය හැක්කේ තවත් කලක් ගත වූවායින් පසුවය. ඉන්දියාව එක්සත් කිරීම යනුවෙන් පාද යාත්‍රාව ආරම්භ කළද ඔවුන්ගේ මූලිකම අදහස වී තිබුණේ කොංග්‍රසය තවදුරටත් ජනතාව අතරට ගෙන යාමයි. එහෙත් මේ පිළිබඳව විමසා බැලීමේදී පෙනී යන කරුණ වන්නේ ඉන් ඔබ්බට ගිය තවත් කාරණාවක්ද ඇති බවයි. එනම් ඔවුනට මේ මොහොත වන විට අවැසිව ඇත්තේ ජනප්‍රියතාවය හීන වෙමින් පවතින රාහුල් ගාන්ධිගේ ජනප්‍රියත්වය වඩ වඩාත් ඉහළ දැමීමයි. එයට වඩාත් ආසන්නතම හේතුව වන්නේ 120000ක පමණ පිරිසක් සම්බන්ධ කරගැනීමෙන් පසු සිදු කරන ලද මත විමසුමකට අනුව රාහුල් ගාන්ධි මීළඟ අගමැතිවරයා වීම වෙනුවෙන් කැමැත්ත පළ කර තිබුණේ 9%ක් පමණ වීමයි. එහෙත් මත විමසුමට යොදා ගත් පිරිසෙන් අඩක් පමණ නරේන්ද්‍ර මෝදි වෙත කැමැත්ත ප්‍රකාශ කර තිබිණි.

මේ සම්බන්ධයෙන් විචාරකයන්ගේ අදහස වන්නේ මෙම පා ගමන මඟින් ඔවුන් ගෙනහැර පෑමට උත්සාහ ගන්නේ ගාන්ධි ජනතාවාදි නායකයකු බවයි.

කෙසේ වෙතත් පා ගමන සාර්ථක ලෙස අවසන් කළ පමණින්ම ජනතාව අතරට යා නොහැකි අතර මැතිවරණයකින් හෝ ජයග්‍රහණයක් ලබන්නට ද නොහැකි බැව් ඔප්පු කළේ රාහුල් ගාන්ධිගේ මිත්තණිය වන ඉන්දිරා ගාන්ධි බව සඳහන් කළ යුතුය. ඒ 1983 වසරේදී චන්ද්‍ර ශේඛර් කිලෝමීටර 4000ක් පුරා පා ගමනක යෙදුණු නමුත් ඔහුට ඉන් දේශපාලන වාසියක් ලැබුණේ නැත. ඉන්පසු වසරේ පැවති මැතිවරණයෙන් ඉන්දීය කොංග්‍රසය විශාල ජයග්‍රහණයක් අත්කර ගැනීමට සමත්විය.

කෙසේ වුවද අනාගතය සම්බන්ධයෙන් වර්තමානයේ සිට අදහස් දැක්වීමට කල්වේලා වැඩිය. ඒ නිසා මාස පහක් පුරා දිවෙන මෙම පාද යාත්‍රාවෙන් අනතුරුව රාහුල් ගාන්ධිගේ අනාගතයේ දිශානතිය වෙනස් වන්නේ කවර ලෙසකින්ද අපි බලා සිටිමු.

රජිත බස්නායක

නව අදහස දක්වන්න