ආසියාවේ රිදී සීනුව එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක | දිනමිණ

ආසියාවේ රිදී සීනුව එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක

(ආසියාවේ රිදී සීනුව නමින් විරුදාවලිය ලත් අගමැති එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ 63 වන ගුණ සමරුව ලබන 26 වැනි දිනට යෙදී තිබේ.මේ ලිපිය ඒ නිමිත්තෙනි).

“මගේ හෘදය සාක්ෂියට අනුව මගේ රටවැසියා වෙනුවෙන් මගෙන් කෙරෙන්නට ඇති යුතුකම් කරමි” යන උදාර පරමාර්ථයෙන් ජනතාව අතරට පැමිණි එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක අගමැති දිවංගතව වසර 63 සමරන්නේ හැඟීම් බරවය. හෘදය සාක්ෂිය මොන තරමට ඔබ විසින් ඇගයීමට යොමු කළා ද කිවහොත් තමන්ට පාරම්පරිකව මෙන්ම රාජ්‍ය මන්ත්‍රණ සභාව තුළදී සියලුම සම්පත් හා තනතුරු අත්හැර සැඳැල්ලෙන් පොදුජනතාව අතරට පැමිණි එවැනි නායකයන් උපන්නේ ඉතාම කලාතුරකින් බව සටහන් කළ යුතුමය.

“ජාතියේ ආත්මය කිලිටි වී ඇත. එය නව ජීවනයකින් පිරිසුදු කරගන්නා තෙක් යහපත් වූ කිසි කටයුත්තක් කළ නොහැකිය. කිලිටි වී ගිය ජාතියේ ආත්මය පිරිසුදු කර නව ජීවයක් ලබාදීමට එතුමා විසින් ආරම්භ කරන ලද උදාර කර්තව්‍යයන් බොහෝය. බෙදා පාලනය කිරීම තම ප්‍රතිපත්තිය කරගත් එවකට සිටි පාලක පන්තිය තම අවධානය හැමවිටම යොමුකර තිබුණේ ඉංග්‍රීසි උගත් ධනපති පන්තිය කෙරෙහිය.

සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු වශයෙන් ජනතාව පංච මහා බලවේගය නමින් ඒකරාශි කළ බණ්ඩාරනායක අගමැතිවරයා එතෙක් මෙතෙක් ගෙදරටත්, ගමටත් සීමාවූ ගොවි මහතාත්, වෙද මහතාත්, ගුරු මහතාත් සමාජයේ නියම තැනට ගෞරවනීය ලෙස පත් කරන ලදි. එපමණක් ද නොව මඩ සෝදාගත් කල රජකමට ද ගැළපෙන බව කියන ලද ගොවි මහතාත්, දෑතේ වීරියෙන් රට වෙනුවෙන් තම ශ්‍රම ශක්තිය වැය කරන කම්කරු මහතාත් ඒ හැම පෙරමුණෙහි තබන ලද මහා සංඝරත්නයත් සමඟ නව දේශපාලන ගමන් මඟකට අවතීර්ණ විය.

කුඹුරු පනත මැති සබයට ගෙනවිත් ගොවියා රජ කරවන්නට නීති පිළිසකර කළේ බණ්ඩාරනායක අගමැතිය. මේ කුඹුරු පනත මඟින් අඳගොවියා ලද වරප්‍රසාද හා අයිතිය එදා මෙදාතුර ගොවි ජනතාව ලැබූ ඉහළම ජයග්‍රහණය බව සටහන් කළ යුතුමය. මාපිය උරුමයෙන් තමන්ටත් තම දරුවන්ටත් තම පවුලේ අයටත් හිමිව තිබූ කුඹුරු ඉඩම් පිළිබඳව එකම නීතියක් කෙටුම්පත් කළ අගමැතිවරයා අඳගොවියා කුඹුරු ඉඩම් හිමියකු බවට පත් කර මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීම බව සනාථ කරවනු ලැබුවේය.

අල්පෙනෙත්තක් තරම් දෙයක්වත් නිෂ්පාදනය නොකළ රටක් කාර්මීකරණය සඳහා අත්පොත් තබන ලද්දේ බණ්ඩාරනායක අගමැතිගේ තුන් අවුරුදු පාලන සමයේදී බව අවිවාදයෙන් පිළිගත යුතු සත්‍යයකි. සමාජවාදී රාජ්‍යයන් සමඟ දශමයකුදු සබඳතාවක් නොපැවැත්වූ එවකට සිටි පාලක පන්තිය තම විදේශ සබඳතා පවත්වා ගත්තේ අධිරාජ්‍ය ගැත්තන් සඳහා පමණි. අඩුම වශයෙන් මෙරටට පැමිණීම අපේක්ෂා කළ සමාජවාදී රටක ක්‍රීඩා කණ්ඩායමකට හෝ ඒ අවසරය නොලැබිණි. පංචශීල ප්‍රතිපත්තියෙහි පිහිටා මැදුම් පිළිවෙත් විදේශ ප්‍රතිපත්තිය, මිත්‍රත්වය හා සහයෝගිතාව ඉදිරියේදී අහස උසට නැඟුණු ක ර් මාන්තශාලා මෙන්ම ජාත්‍යන්තර කා ර් මික දැනුම හා යන්ත්‍රසූත්‍ර ද අප වෙත ලබාගැනීමට අගමැතිවරයා සමත් විය. කඩදාසි සංස්ථාව, පිඟන් සංස්ථාව, තෙල් හා මේද රසායන ද්‍රව්‍ය සංස්ථාව ආදිය සුළු පරිමාවෙන් ආරම්භ වූයේ මේ අවධියේය. එවැන්නකු එදා මේ ක්‍රියාමාර්ගය නොගත්තා නම් සමාජවාදී රාජ්‍යයන් සමඟ සහයෝගය නොපැවැත්වූවා නම් අපගේ කාර්මීකරණයට තව බොහෝ කල් ගතවීමට ඉඩ තිබුණි.

පොදුජනතාවගේ හදගැස්මෙන් ජීවය ලැබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මාතෘභූමියේ නිදහස, ස්වෛරීභාවය, ස්වාධීනත්වය ජනතාවට දිය යුතුය යන අදහස කිසිවිටක අමතක කරනු නොහැකි විය. 1957දී ත්‍රිකුණාමලය නාවික කඳවුරත්, කටුනායක ගුවන් කඳවුරත් මෙරට රැජිනගේ පාලනයෙන් ඉවත් කර ගනිමින් අපගේ භූමියේ අයිතිය සර්ව සම්පූර්ණ කර ජනතාවගේ හෘද ස්පන්දනය යථාර්ථවාදීව තේරුම්ගත් බණ්ඩාරනායක අගමැතිවරයා වසර තුනක පමණ අඩු පාලන සමයක දී වසර 30 කින්වත් කළ නොහැකිවූ කාර්යභාරයක් ඉටු කරන ලදි.

පංචශීල ප්‍රතිපත්තියෙහි පිහිටා චාම් දිවිපෙවෙතක් ගත කළ ද අයුක්තිය ඉදිරියේ කිසිවකුට එතුමා නිහඬ කළ නොහැකි විය. යුක්තිය හා සාධාරණත්වය ඉදිරියේ ඒ වෙනුවෙන් හඬ නැඟීය. එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවේ නිර්භීතව අදහස් ප්‍රකාශ කළ ආසියාවේ රිදී සීනුව නම්ගත් බණ්ඩාරනායක අගමැතිවරයා ශ්‍රී ලංකා මාතාවට ගෙනදුන් ගෞරවය අදටත් නායකයන් සමරන්නේ හද පිරි සතුටෙනි. කෙසඟ සිරුරක් ඇති සිංහල මිනිසා තුළ සැඟවී තිබූ වාග් චාතු ර් යය එක්සත් ජාතීන්ගේ සංවිධානය ද සසල කළ පුවත අදටත් අප අමන්දානන්දයට පත් කරන්නේ නෙතට කඳුළක් ද එකතු කරමිනි. ලෝක සිතියමේ මුතුඇටය ලෙස විරුදාවලිලත් ශ්‍රී ලංකා මාතාව බණ්ඩාරනායකවරුන්ගේ රට ලෙස හැඳින්වීමට මුල් අත්තිවාරම තබන ලද්දේ එතුමාය.

න්‍යායට වඩා භාවිතය ගුරු කොටගත් ජනනායකතුමනි, ඔබතුමාගේම වචනයෙන් සටහන් තබනවා නම් “අප අතර පන්ති පරතරයක් නොතිබිය යුතුය. අප සියලු දෙනාම එකම දම්වැලක පුරුක්ය” පාලකයන් හා පාලිතයන් ළංකළ මෙවැනි උපමාවක් නැවත අසන්නට නම් ඔබ නැවතත් අප අතරම ඉපදිය යුතුය. බටහිරට ගැතිවූ මානසිකත්වය තුළ ගිලෙමින් පැවති පාලන තන්ත්‍රය එම මඩ ගොහොරුවෙන් ගොඩගැනීමට සුදුසු නායකත්වයක් අපේක්ෂා කළ පොදුජනතාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය දිස්වූයේ ගමන් මඟෙහි නියමුවා ලෙසටය.

ඔබ වැනි උදාර නායකයන් ලොව බිහි වන්නේ ඉතාම කලාතුරකිනි. ඉතිහාසයේ ඔවුන් ඉටු කළ කාර්යභාරය අකාමකා දැමීමට වෙඩි උණ්ඩයකට නොව කාලබෝම්බයකට ද නොකළ හැක්කකි. තම පෞද්ගලික ධනයත්, සුඛවිහරණයත් පමණක් නොව බුද්ධිය ද උපන් භූමියේ දුක් විඳින ජනතාව වෙනුවෙන් කැපකළ නායකයාණන් මහා මන්දිරයේ රජ සැප අත්හැර අභිනිෂ්ක්‍රමණය කරමින් සැඳැල්ලෙන් බිමට බැස මෙරට පොදුජනතාවගේ හිතසුව සැලසීම නිසාම තම ජීවිතයෙන් වන්දි ගෙවූ ඔබතුමා තමන්ට වෙඩිතබන ලද පුද්ගලයා වෙනුවෙන් ප්‍රකාශ කළ අනුවේදනීය වදන් අප තව තවත් ඔබතුමාට වෙන්කළ නොහැකි තරමට ළං කළ බව සටහන් කරන්නේ බැතිබර හදවතිනි. අන් කවරදාකටත් වඩා ඔබ වැනි අභීත දේශපාලනඥයකුගේ අවශ්‍යතාව අප රටට දැනෙන මොහොතක අපි සිටිමු.

 

ශාස්ත්‍රවේදී කීර්තිලතා කේ. ලොකුලියනගේ

භාණ්ඩාගාරික - ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා සංවිධානය

නව අදහස දක්වන්න