කොමිසමක් පත් කිරීමට අධිකරණ බලයක් ශ්‍රේෂ්ඨාධිකරණයට නෑ | දිනමිණ

කොමිසමක් පත් කිරීමට අධිකරණ බලයක් ශ්‍රේෂ්ඨාධිකරණයට නෑ

නෙල්කා මැදගෙදර

- ජනාධිපති නීතීඥ ගාමිණී මාරපන

වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින් හදුනාගැනීම සදහා කොමිසමක් පත් කිරීමට අධිකරණ බලයක් ශ්‍රේෂ්ඨාධිකරණයට නොමැති බව ජනාධිපති නීතීඥ ගාමිණී මාරපන මහතා ඊයේ (27) ශ්‍රේෂ්ඨාධිකරණයේදී ප්‍රකාශ කළේ ය .

මෙරට මහජනතාව බංකොලොත්භාවයට පත් කිරීමට එරෙහිව ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකාර හිටපු මුදල් ඇමැති වරුන් වන මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරු වෙනුවෙන් කරුණු ඉදිරිපත් කරමින් ජනාධිපති නීතීඥ වරයා මේ බව සඳහන් කළේය.

කොමිෂන් සභා පත් කිරීමේ බලය

ජනාධිපතිවරයාට පමණක් ලබා ඇති බවද එලෙස කොමිසමක් පත් කරන ලෙස පෙත්සම් මගින් ඉල්ලා ඇති නියෝගය නිකුත් කිරීමට අධිකරණයට නොහැකි බව ද ඒ මහතා කීය.

අග විනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ එල්.ටී.බී.දෙහිදෙනිය යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් කැඳවනු ලැබිණි. එහිදි පෙත්සම්වල වගඋත්තරකාර

මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා සඳහන් කළේ ආර්ථික අර්බුදය යනු රටේ සියලු ජනතාවට පොදුවේ බලපාන කරුණක් වන අතර එය පෙත්සම්කරුවන්ට පමණක් බලපෑ කරුණක් නොවන බව ය. එමගින් තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වූ බවට පෙත්සම්කරුවන් නගන තර්කය පදනම් විරහිත බව ඒ මහතා කීය.

රජය විසින් ගනු ලැබූ ප්‍රතිපත්තිමය තීරණ අනුව බදු සහන ලබාදීම් සිදු කර ඇති අතර ඒ සඳහා වන ප්‍රතිපත්තිමය තීරණ වලට මැතිවරණ වලදී ජනතා අනුමැතිය ලැබී තිබෙන බව ජනාධිපති නීතීඥවරයා සදහන් කළේය.

වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින් හදුනාගැනීම සදහා කොමිසමක් කරන ලෙස පෙත්සම් වලින් ඉ ල්ලා ඇති නමුත් එවැනි කොමිසමක් පත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති බවට ජනාධිපති නීතිඥවරයා කරුණු ඉදිරිපත් කළේය.

විමර්ශන කොමිෂන් සභා පත් කිරීමේ අභිමතානුසාරී බලය ජනාධිපති වරයා වෙත පාර්ලිමේන්තුව විසින් පවරා ඇති අතර ශ්‍රේෂ්ඨාධිකරණයට එවැනි කොමිසන් සභා පත් කිරීමේ බලයක් නැති බව ද ඒ මහතා සඳහන් කළේය.

එහිදී නීතිපති වරයා, පාර්ලිමේන්තු මහලේකම් වරයා සහ අල්ලස් හෝ දූෂණ විමර්ශනය කොමිසමේ සාමාජිකයන්, භාණ්ඩාගාර ලේකම් වරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා සඳහන් කළේ අධිකරණයට සහාය වීම සඳහා තමන් කරුණු ඉදිරිපත් කරන බවය.

සිය සේවා දායකයින් ට එරෙහිව කිසිදු නියෝගයක් මෙම පෙත්සම් මගින් ඉල්ලා නැති බව ඒ මහතා කීය.

පෙත්සම් කරුවන්ගේ පිළිතුරු දේශන සම්බන්ධයෙන් වැඩිදුර කරුණු සලකා බැලීම කල් තැබිණි.

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මහිම් මෙන්ඩිස්

වාණිජ මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකු වන චන්ද්‍රා ජයරත්න, පිහිනුම් ශූරයකු වන ජුලියන් බෝලිං ජෙහාන් කනගරත්න සහ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය ඇතුළු පිරිසක් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර ඇත. පෙත්සමෙහි වගඋත්තකරුවන් ලෙස හිටපු මුදල් ඇමැති හා හිටපු අගමැති මහින්ද රාජපක්ෂ, හිටපු මහ බැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, ආචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන්, හිටපු මුදල් ඇමැතිවරුන් වන බැසිල් රාජපක්ෂ, අලි ෂබ්රි, මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස් ආර් ආටිගල, ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ඇතුළු 39දෙනෙකු දෙනෙකු නම් කර සිටිති.

නව අදහස දක්වන්න