2021දී මත්පැන් ලීටර ලක්ෂ 2150ක් බීලා | දිනමිණ

2021දී මත්පැන් ලීටර ලක්ෂ 2150ක් බීලා

අසේල කුරුළුවංශ

පසුගිය වසර තුළ මෙරට ජනතාව මත්පැන් ලීටර ලක්ෂ 2150ක් පානය කර තිබෙන බව ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් ඒකකයේ උප සභාපති නලීන් අමරසිංහ මහතා පවසයි. මේ වසරේ ජනවාරි සිට ජූලි මාසය දක්වා ලැබී ඇති දත්ත අනුව මත්පැන් ලීටර් ලක්ෂ 1200ක් පානය කර තිබෙන බව ද ඒ මහතා කීය.

ජාත්‍යන්තර අමද්‍යප දිනය නිමිත්තෙන් පෙරේදා (03) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී පැවති උත්සවයකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය. බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් ඒකකය මඟින් ජාත්‍යන්තර අමද්‍යප දිනයට සමගාමීව මේ උත්සවය සංවිධානය කර තිබිණි. ප්‍රජාවගේ දිරියෙන් මතින් නිදහස් රටක් යන්න තේමා කර ගනිමින් මේ උත්සවය ශ්‍රී දළදා මාලිගාවේ බහුකාර්ය ගොඩනැඟිල්ලේදී පැවැත්විණි.

ලබන වසරේ ජාත්‍යන්තර අමද්‍යප දිනය සමරන අවස්ථාවේ වාර්ෂිකව මෙරට ජනතාව භාවිත කරන මත්පැන් ලීටර ප්‍රමාණය යම් ප්‍රමාණයකින් හෝ අඩු කර ගත හැකි වුවහොත් එය ජයග්‍රහණයක් බව ද ඒ මහතා කීය.

මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ ශ්‍රී විජිතසිරි නාහිමියෝ මෙහිදී අනුශාසනයක් කළහ.

නව අදහස දක්වන්න