කෝටි පහක කේ.ජී. අදිද්දී තුන්දෙනෙක් අත්අඩංගුවට | දිනමිණ

කෝටි පහක කේ.ජී. අදිද්දී තුන්දෙනෙක් අත්අඩංගුවට

ඉන්දියාවේ සිට මුහුදු මාර්ග ඔස්සේ රැගෙන පැමිණි රුපියල් කෝටි 5කට අධික වටිනාකමක් ඇති කේරළ ගංජා කිලෝ 217ක් සමඟ තිදෙනකු වැල්වැටිතුරේ පොලිසිය පෙරේදා (03) අත්අඩංගුවට ගෙන තිබේ.

මාළු බෝට්ටුවකින් රැගෙන පැමිණි මෙම කේරළ ගංජා තොගය වැල්වැටිතුරේ සින්නවේලි පොලිකන්ඩි වෙරළ ආසන්නයේ අලුයම් කාලයේදී ගොඩබාමින් සිටියදී යුද හමුදා බුද්ධි අංශයට එය නිරීක්ෂණය වී ඇත. ඔවුන් ඒ වන විට ගෝනි 06ක පිරවූ කේරළ ගංජා බෝට්ටුවෙන් ගොඩ බා ‍ වෙරළට රැගෙනවිත් තිබී ඇත. හමුදා බුද්ධි අංශ නිලධාරීන් දුටු විට බියට පත්වූ ඔවුන් බෝට්ටුවේ තිබුණු සෙසු ගංජා තොගය ගොඩබෑම පසෙකලා බෝට්ටුවේ නැඟී පලා ගොස් තිබේ. යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් එම ගංජා තොගය වැල්වැටිතුරෙයි පොලිසියට බාරදීමට පියවර ගෙන ඇත. ඒ පලාගිය පුද්ගලයන් ගැන තොරතුරු ද සමඟිනි. ඒ අනුව වැඩිදුර විමර්ශනයක් පැවැත්වූ වැල්වැටිතුරේ පොලිසියේ නිලධාරීන් බෝට්ටුවේ සිට වෙරළට ගංජා උර කර මත තබාගෙන රැගෙන පැමිණි තිදෙනෙක් පලාලිහිදී අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරුවන් වයස 20, 31, 37 යන වයස්වල පසුවන්නෝය. ඉන්දියාවේ සිට රැගෙන පැමිණි එම කේරළ ගංජා තොග තමන් බෝට්ටුවේ සිට වෙරළට ගොඩබෑමට සම්බන්ධවූවා මිස ඉන්දියාවේ සිට රැගෙන පැමිණීමට සම්බන්ධකමක් නැතැයි ඔවුන් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබේ. පොලිසිය පවසන්නේ ඔවුන්ගේ තොරතුරු මත බෝට්ටුකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇති බවය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පේදුරුතුඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රඳවා ගැනීමේ නියෝගයක් ගැනීමට නියමිත බව පොලිසිය සඳහන් කළේය.

ගයාන් කුමාර වීරසිංහ

නව අදහස දක්වන්න