උතුරු කොරියාවේ බැලැස්ටික් මිසයිලයෙන් ජපානය හෙල්ලෙයි | දිනමිණ

උතුරු කොරියාවේ බැලැස්ටික් මිසයිලයෙන් ජපානය හෙල්ලෙයි

ජපානයට සහ අමෙරිකාවට අභියෝග කිරීමේ අවශ්‍යතාව මත උතුරු කොරියාව වුවමනාවෙන්ම ජපානයට ඉහළින් බැලැස්ටික් මිසයිලයක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම මිසයිලය පැසිෆික් සයුරට වැටීමට පෙර කිලෝමීටර් 4,500ක දුරක් ගමන් කර ඇති අතර, එහි දිශාව වෙනස් වුවහොත් අමෙරිකාවට අයත් ගුවාමි දූපතට වුවද ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් මතු වී තිබූ බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

වසර 2017ට පසු උතුරු කොරියාව ජපානයට ඉහළින් මිසයිලයක් එල්ල කළ පළමු අවස්ථාව මෙය වන අතර, එම බැලැස්ටික් මිසයිලය එල්ල වූයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය උතුරු කොරියාවට න්‍යෂ්ටික අවි අත්හදා බැලීම තහනම් කර ඇති පසුබිමකදීය. එමෙන්ම එය එල්ල වූයේ කිසිදු පූර්ව අනතුරු ඇඟවීමක් හෝ දැනුම් දීමකින් තොරව වෙනත් රාජ්‍යයන් දෙසට හෝ වෙනත් රටවලට ඉහළින් හෝ මිසයිල එල්ල කිරීම ජාත්‍යන්තර සම්මතයට පටහැණි බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය නීති පනවා තිබියදීය.

බැල්ස්ටික් මිසයිලය ජපානයට ඉහළ අහසින් ඇදී යද්දී එරට ආරක්ෂක අංශ සයිරන් නළා නාද කිරීමට පටන් ගෙන තිබූ අතර, එම මිසයිලයේ සුන්බුන් පිළිබඳ පරික්ෂාකාරීව සිටින ලෙසත් ජනතාවට අනතුරු අඟවා තිබිණි.

ජපාන ආරක්ෂ අංශ පසුව ප්‍රකාශ කළේ එම බැලැස්ටික් මිසයිලය ජපානයට ඈතින් පිහිටි පැසිෆික් සාගරයට වැටී ඇති බවය.

 

නව අදහස දක්වන්න