උද්ධමනයටත් දේශපාලනයක් තිබේ | දිනමිණ

උද්ධමනයටත් දේශපාලනයක් තිබේ

ගිය අඟහරුවාදා අප දුටු සත්‍ය සිදුවීමක් සිහිපත් කරමින් අද වැකිය ආරම්භ කරන්නට කැමැත්තෙමු. මහත්තයෙක් ඉන්ධන පිරවුම් හලක් වෙත පැමිණ ‘ඛේත සටහන’ (QR කෝඩ්එක) පොම්පකරුට දික් කළේය. එය සෝදිසි කළ පොම්පකරු “විස්සක් තියෙනවා! ඔක්කොම ගහන්ඩදැයි” මහ හයියෙන් ඇසීය. මහත්තයා කිසි කතාවක් නැතුව රුපියල් නවදහසක් දික්කෙළේය. පැට්රල් ලීටර් විස්ස පුරවා අවසන් වූ සැණෙන් මහත්තයා කාරය පණගන්වා පිටත් විය. එහෙත් මීටර් කිහිපයක් ඉදිරියට යද්දී පොම්පකරු කෑගසා කාරය නැවැත්වීය. මහත්තයා තද “බ්‍රේරේක්” පාරක් ගැසුවේ කෝපය පිටකරන්නට මෙනි. පොම්පකරු රුපියල් අටසියයක මුදලක් ආපසු මහත්තයාට දුන්නේය.”

උද්ධමනය ජනතාවට දරාගත නොහැකි තැනක පවතින බව සත්‍යයකි. බඩු මිල දිනෙන් දින ඉහළ යන බවද සත්‍යයකි. එය බොරුවක් යැයි කාටවත් කිව නොහැකිය. බිත්තර මිල පමණක් සියයට එකසිය ගණනකින් ඉහළ ගොස් තිබේ. ආර්ථිකය යථාවත් වනතුරු මේ එකක්වත් හරියන්නේ නැත. එහෙත් වරින්වර ආර්ථික සහන ලැබෙන බවද පෙන්වා දිය යුතුය. ඉන්ධන මිල සූත්‍රයට අනුව පැට්රල් මිල පහත දමා ඇත. ඔක්ටේන් 92 පාවිච්චි කරන වාහන හිමියන්ට මේ ඔස්සේ සතියකට රුපියල් අටසියයක වාසියක් ලැබේ. එවිට මාසික ඉතිරිය රුපියල් තුන්දහස් දෙසීයක් ලෙස සටහන් කර තැබිය යුතුය.

ඉන්ධන මිල දෙවරක් පහත ගියේය. ගෑස් මිල ද දෙවරක් පහත ගියේය. අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ද පහළ දමා තිබේ. ඒ අතර කිරිපිටි මිල යළිත් ඉහළ ගියේය. වෙළෙඳපොළ තුළ පවතින යථාර්ථය ලෙස එය දැක්විය හැකිය. තිරිඟුපිටි කිලෝවක් රුපියල් දෙසිය පනහකට ලබාදිය හැකි බව වෙළෙඳ අමාත්‍යවරයා කියා ඇත. ඒ සඳහා ඉක්මනින්ම ක්‍රියාත්මක වන බවද අමාත්‍යවරයා කියා ඇත. දැනට පිටි කිලෝව අලෙවි වන්නේ රුපියල් හාරසිය දහයකටය. රටට අවශ්‍ය තිරිඟුපිටි තොගය සපයන්නේ සමාගම් දෙකකිනි. එම සමාගම් දෙක හිටිහැටියේ පිටි මිල ඉහළ දමයි. මීට දින දෙකකට පෙර ද පිටි කිලෝව රුපියල් දොළහකින් වැඩි කළේය.

ආහාර මිල ඉහළ යෑමට බලපාන ප්‍රධාන සාධක දෙකක් ගැන මේ දිනවල සාකච්ඡා වෙයි. එකක් තිරිඟු පිටි මිල අඛණ්ඩව ඉහළ යෑමය. අනෙක ඩීසල් මිල තවදුරටත් ඉහළ මට්ටමක පැවැතීමය. ඩීසල් මිල එළවළු හා පලතුරු වෙළෙඳාම කෙරෙහි ඍජු බලපෑමක් ඇති කරයි. තව අතකින් කෘෂිකර්මය සඳහා ද ඩීසල් මිල බලපායි. අස්වනු නෙළීමට මෙන්ම බිම සකස් කිරීමට ද ඩීසල් අවශ්‍ය වෙයි. එම යන්ත්‍රෝපකරණ ධාවනය වන්නේ ඩීසල්වලිනි. ඩීසල් මිල පහත දමන්නැයි ඉල්ලීම් පැවැතිය ද මේ මොහොතේ එය කළ නොහැකි බව බලශක්ති ඇමැතිවරයා පෙන්වා දෙයි. ඩීසල් ලීටරයකින් සංස්ථාවට ලැබෙන ලාභය රුපියලක් පමණ වන බව ද කියැවේ. අවම ලෙස පාඩු නොලබා ඩීසල් අලෙවි කළ යුතුය.

එමිනෙස්ට් ආයතනය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාර්තාවක් නිකුත් කර ඇති අතර, එහි එන ඇතැම් තොරතුරුවලට අනුව අප මුහුණදෙමින් සිටින්නේ භයානක තත්ත්වයකටය. ජාත්‍යන්තර ආයතනවලට සවන් දීම හොඳ දෙයක් ලෙස සැලකිය හැකිය. එහෙත් මේ ආයතන කියන සියල්ල ගෙඩිය පිටින් භාර ගත යුතු නැත. කොවිඩ් සමය තුළදී අමෙරිකානු විශ්වවිද්‍යාලයක පර්යේෂණ ආයතනයක් පෙන්වා දුන්නේ මෙරට දෛනික කොවිඩ් ආසාදිතයන්ගේ ගණන අසූදහස දක්වා ඉහළ යන බව හා දෛනික මරණ සංඛ්‍යාව ද දහස් ගණනින් ඉහළ යන බවය. අමෙරිකානු පුරෝකථන සියල්ල බොරු බවට පත්විය. කොවිඩ් වසංගතය ඉතා කෙටි කාලයක් තුළ මර්දනය කිරීමට ශ්‍රී ලංකාව සමත් විය.

උද්ධමනය, මන්දපෝෂණය, ආහාර හිඟය වැනි සංවේදී කාරණාවන් සම්බන්ධයෙන් නිකුත් වන සංඛ්‍යා දත්ත සේම ඇතැම් වාර්තා ද දේශපාලනික බව පෙනී යයි. තෙල් මිල සංශෝධනය බොහෝ විට විවේචනයට ලක් වන්නේ ලෝක වෙළෙඳ පොළෙහි අද පවතින මිල ගණන් අනුවය. එහෙත් මේ දැන් මිලදී ගත් ඉන්ධන වෙළෙඳ පොළ වෙත බෙදා හැරීමට හැකියාවක් නැත. හැමවිටම සිදුවන්නේ පරණ තෙල් සංචිතවලින් තෙල් ලබාගෙන බෙදා හැරීමය. තවත් අතකට තෙල් වෙළෙඳ පොළ කිහිපයක් පවතින අතර, ඒවායෙහි මිල ගණන් විවිධාකාරය. අප ඇතිකරගන්නා ගිවිසුම් ද තෙල් මිල කෙරෙහි බලපෑමක් කරයි. ගිවිසුම් ක්ෂණිකව වෙනස් කළ නොහැකිය. තෙල් මිල සම්බන්ධ බොහොමයක් විවේචන සාධාරණ නැත.

උපරිම දුෂ්කරතාවලින් සමන්විත කෙටි කාලපරිච්ඡේදයක් පසුකරන්නට සිදු වී ඇති බව අප කවුරුත් වටහා ගත යුතුය. එහිදී බදු බර වැඩි වන්නට පුළුවන. උද්ධමනය 100% කින් ඉහළ යන්නටත් පුළුවන. එහෙත් මේවා තාවකාලිකය.

නව අදහස දක්වන්න