අපේ රටේ බදු ගෙවන සංස්කෘතියක් ඇති කළ යුතුයි | දිනමිණ

අපේ රටේ බදු ගෙවන සංස්කෘතියක් ඇති කළ යුතුයි

විදේශ කටයුතු රාජ්‍ය ඇමැති තාරක බාලසූරිය

  • විපක්ෂයක් හැම අවස්ථාවකම ආණ්ඩුවේ වැඩපිළිවෙළ හොඳයි කියන්නේ නැහැ
  • විදුලියට වියදම් වැඩි නම් සුනිත්‍ය බලශක්තියට යෑම වැදගත්
  • අප අනිවාර්යයෙන්ම මූල්‍ය කළමනාකරණයකට යා යුතුයි

වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණදී සිටින අභියෝග ජයගෙන ඉදිරියට ගමන් කිරීමේදී රටක් ලෙස මුහුණ දෙන අභියෝග සහ වගකිව යුතු රජයක් ලෙස ඒ වෙනුවෙන් ක්‍රියාත්මක කර තිබෙන වැඩසටහන්, ඉදිරි සැලසුම් මෙන්ම ජගත් මානව හිමිකම් කවුන්සලය හමුවේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබෙන යෝජනාවට මුහුණ දෙන ආකාරය සහ සාමාජික රටවලින් ඒ සඳහා සහාය ලබා ගන්නා ආකාරය සම්බන්ධයෙන්, විදේශ කටයුතු රාජ්‍ය ඇමැති තාරක බාලසූරිය මහතා සමඟ කළ සංවාදයකි මේ.

l අද වන විට රටේ ආර්ථිකය දරුණු ලෙස කඩා වැටීමට ලක්ව තිබෙනවා. මේ තත්ත්වය ජය ගනිමින් රටේ ආර්ථිකය සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒම වෙනුවෙන් ක්‍රියාත්මක වැඩසටහන් මොනවා ද?

රටක් වශයෙන් පවතින තත්ත්වයෙන් ඉදිරියට ගමන් කිරීම සඳහා කෙටි කාලීන මෙන්ම දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් රජයට තිබෙනවා. කෙටි කාලීන වැඩපිළිවෙළ දෙස බලන විට මූලික වශයෙන් ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවලයි තිබෙන්නේ. ණය ප්‍රතිව්‍යුහගත කරන්න වී තිබෙනවා. ණය ප්‍රතිව්‍යුහගත නොකළොත් අපට ගැටලු ඇති වෙන්න පුළුවන්. එහිදී අපට අනෙකුත් රාජ්‍යයන් අපට ණය නොදෙන තත්ත්වයක් ඇති විය හැකියි. ඒ වගේම, ණය නොගෙවන රටවලට ණය දෙන්න ඉදිරිපත් වෙන්නෙත් නැහැ. ණය ප්‍රතිව්‍යුහගත කරන විට ක්‍රමවේද කිහිපයක් තිබෙනවා. අප මුලින්ම යම්කිසි මට්ටමකට සියලුම රටවල එකඟතාවකට පැමිණෙන්න අවශ්‍යයි. විදේශ අමාත්‍යාංශය, මුදල් ඇමැතිවරයා විවිධ තානාපතිවරු සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කළා. දෙසැම්බර්, ජනවාරි වන විට යම්කිසි මට්ටමකින් ණය ප්‍රතිව්‍යුහගත කරන්න හැකි වෙයි කියා අප විශ්වාස කරනවා. ඉන් පසුව අපට ණය ගෙවන්න සිදු වෙනවා. මේ කාලය තුළ වුවත් ඇතැම් ණය අපට ගෙවන්නේ නැතිව සිටිය නොහැකියි.

අපේ මූලික සැලැස්ම, මෙවැනි කෙටි කාලීන එකක්. ඉන් පසුව අපට දිගු කාලීන හා මධ්‍ය කාලීන ආර්ථික ප්‍රතිසංස්කරණ කරන්න වෙනවා. තාමත් ඉන්ධන මිල දෙස බලන විට අපේ රටේ තිබෙන්නේ දකුණු ආසියාවේ අඩුම ඉන්ධන මිල. ඒ වගේම විදුලිය ඒකකයක් රුපියල් 42කට නිෂ්පාදනය කරනවා. රුපියල් 17ට විකුණනවා නම් දිඟු කාලීනව ඕනෑම ආයතනයකට පැවැත්මක් නැහැ.

ඉන්ධනවලටත් ඒ තත්ත්වය බලපානවා. ප්‍රතිපත්තිමය විදුලිය නිෂ්පාදනය කරන්න විශාල වියදමක් යනවා නම්, සුනිත්‍ය බලශක්තිය වෙනුවෙන් අප යොමු විය යුතුයි. මේවා රටට අවශ්‍යයි. අපට පවත්නා තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා ආර්ථික ප්‍රතිසංස්කරණ කිරීම අත්‍යවශ්‍යයි. රාජ්‍ය ව්‍යාපාර ගත්විට ප්‍රතිව්‍යුහගත කරන්න වෙනවා. ඒ හැරෙන්න අපට තිබෙන විශාලතම ගැටලුව තමයි බදු. දැනට දළ ජාතික නිෂ්පාදිතයට දායක වෙන්නේ සියයට අටක වගේ ප්‍රමාණයක්. 1979/80 වගේ කාලවල එය සියයට 30ක්ව තිබුණා. අපේ බදුවලින් විශාල මුදලක් දළ ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක්. මේ ප්‍රතිශතය එන්න එන්න පහළ වැටී තිබෙනවා. මේ මඟින් එක් පැත්තකින් ලොකු සමාජ අසාධාරණයක් වෙනවා. බදු ගන්නේ වක්‍ර බදුවලින්. දුප්පත් අයෙක් බදු ගෙව්වත්, පොහොසත් අයෙක් බදු ගෙව්වත් එකම මට්ටමකින් ගෙවන්නේ. එකම ප්‍රමාණයක් සෘජු බදු ගෙවන්නේ 80,000ක් වැනි පිරිසක්. එය ඉතාම සුළු ප්‍රමාණයක්. ඒ නිසා අප බදු ගෙවන සංස්කෘතියක් ඇති කළ යුතුයි. බදු ගෙවීම යම්කිසි මට්ටමකට ගෙන ඒම අවශ්‍යයි. එය යුතුකමක් ලෙසත් දකින්න පුළුවන්. ඇතැම් රටවල සාර්ථකව එය කර තිබෙනවා. ලෝකයේ හැම රටක්ම රට සංවර්ධනය කරන්න නම් බදු ගෙවිය යුතුයි. මූලිකව සෘජු බදු සම්බන්ධයෙන් අප කතා කරනවා. සියලු දෙනාම වක්‍ර බදු ගෙවනවා. විශේෂයෙන්ම මෙහිදී කම්කරු නීති පිළිබඳ අවධානය යොමු කරන්න වෙනවා. ව්‍යාපාරයක් පටන් ගන්න යනවා නම් නීති රීති යම්කිසි මට්ටමකට ලිහිල් කළ යුතුයි. මේ තත්ත්වය සමඟ දේශපාලන ප්‍රතිසංස්කරණත් කරන්න වෙනවා.

l සෘජුවම හැම රජයකටම දූෂණ හා වංචා පිළිබඳ චෝදනා තිබුණා. ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී ජනතාවට අපේක්ෂාවක් දල්වා ගත හැකිද?

මේ සම්බන්ධයෙන් පනත් තුනක් ගේන්න අප බලාපොරොත්තු වෙනවා. වත්කම්, බැරකම් සම්බන්ධ පනත එයින් එකක්. දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලෙස වත්කම්, බැරකම් දෙන්න අප පියවර ගෙන තිබෙනවා. අදාළ පුද්ගලයාගේ වත්කම් වැඩිවී තිබෙන ආකාරය, එය සාධාරණද? යන්න සම්බන්ධයෙන් ක්‍රමවේදයක් ගේන්න බලාපොරොත්තු වෙනවා. අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිසම තවදුරටත් ස්වාධීන හා ශක්තිමත් කරන්න පනතක් ඉදිරිපත් කළ යුතුයි. අනෙකුත් දේශපාලන ප්‍රතිසංස්කරණ ලෙස 22 වැනි සංශෝධනය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයාට තිබෙන බලතල යම් ප්‍රමාණයක් පාර්ලිමේන්තුවට ලබා දිය යුතුයි. ස්වාධීන කොමිෂන් සභා තව දුරටත් ශක්තිමත් කරන්න අප කටයුතු කරනවා. මේ සියලුම දීර්ඝ කාලීන හා කෙටි කාලීන ප්‍රතිසංස්කරණ කරන්න රජයේ අපේක්ෂාවයි.

l ශ්‍රී ලංකාව සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒම සඳහා කොපමණ කාලයක් ගත වෙයිද?

අද වන විට අපේ රට යම්කිසි බරපතළ තැනක තිබෙනවා. ඒත් කෙටි කාලීන හා දිගු කාලීන වැඩසටහන් ඔස්සේ අපේ රට ඉදිරියට ගෙන යෑම රජයේ අපේක්ෂාවයි. ඒ වෙනුවෙන් අප යම් යම් වැඩසටහන් දැනටමත් ආරම්භ කර තිබෙනවා. එම වැඩසටහන් සාර්ථක ලෙස ඉදිරියට ගමන් කරන්නේ නම්, පවතින අර්බුදකාරී තත්ත්වය යම්කිසි මට්ටමකින් හෝ සමනය කරන්න හැකියාව ලැබෙනවා.

l දරුණු ලෙස රටේ ආර්ථිකය කඩා වැටීමකට ලක්ව තිබුණත්, එයින් ගොඩඒම සඳහා නිසි වැඩපිළිවෙළක් ආණ්ඩුවට නොමැති බවට විවිධ පාර්ශ්ව චෝදනා එල්ල කරනවා. මේ සම්බන්ධයෙන් කුමක් කිව හැකි ද?

මෙය දේශපාලන කාරණාවක්. විපක්ෂයක් හැම අවස්ථාවකම ආණ්ඩුවේ වැඩපිළිවෙළ හොඳයි කියන්නේ නැහැ. කුමන රටක වුවද විපක්ෂයක් කටයුතු කරන්නේ එහෙමයි. විපක්ෂවල තිබෙන ගැටලු තමයි හැමදේටම හොඳ නැහැ කියන එක. ආර්ථික වශයෙන් යම් යම් වෙනස්කම් සිදු කිරීම ප්‍රතිපත්තිමය වශයෙන් හොඳයි කියා ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා වැනි අය පිළිගෙන තිබෙනවා.

l ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලැබුණු පමණින් රටේ ආර්ථිකය යහපත් තත්ත්වයකට ගෙන ඒමට හැකි වෙයි ද?

ආර්ථික ප්‍රතිසංස්කරණ කළ යුතුයි. එහි පැති කිහිපයක් තිබෙනවා. ඩොලර් බිලියන 2.9ක මුදල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් පමණයි ලැබෙන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි ආයතන සමඟ ඒ විශ්වාසය ගොඩනඟා ගත යුතුයි. ආර්ථික ප්‍රතිසංස්කරණ කරන්න ඕන, බිලියන 2.9 ලැබීම නිසාම නොවෙයි. දැනට පවත්වාගෙන යන ක්‍රමවේදය තවදුරටත් කරගෙන යෑමට නොහැකි නිසා, ආර්ථික ප්‍රතිසංස්කරණ අවශ්‍යයි. අප තව දුරටත් එම ක්‍රමවේදයම පවත්වා ගෙන ගියොත්, අපේ සංචිත බිංදුවටම වැටෙනවා. නව මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසුවේ, ඩොලර් මිලියන 20 දක්වා සංචිත ප්‍රමාණය පහත වැටී තිබුණු බවයි. තවදුරටත් මෙවැනිම ක්‍රමවේද අනුගමනය කරන්නේ නම්, අපේ ආර්ථිකය කඩා වැටෙනවා. අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අවස්ථා 15කට වැඩි ප්‍රමාණයක් සාකච්ඡා කර තිබෙනවා. මේ නිසා මූල්‍ය කළමනාකරණයකට අපට යන්න වෙනවා.

l වත්මන් ශ්‍රී ලංකාවේ තත්ත්වය සැලකිල්ලට ගත්විට, කලාපීය රටවල සහයෝගය වැදගත් වන්නේ කෙසේ ද?

කලාපීය සබඳතා ඉතාම වැදගත්. ඒ වගේම කලාපයේ හොඳ සබඳතා අපට තිබෙනවා. ඉන්දියාව අපට අමාරු කාලයේ දී උදවු කළා. අනෙක් රටවලුත් එසේමයි. බංග්ලාදේශය, මාලදිවයින, පාකිස්ථානය අපට සුහදව සහයෝඟය ලබා දෙනවා. ශ්‍රී ලංකාව විතරක් නොවෙයි මේ අමාරු කාලයට පැමිණෙන්නේ. ලෝක ආර්ථිකය ගත්විට ලබන වසර වන විට තවත් රටවල් 20ක් පමණ මූල්‍ය අර්බුදවලට මුහුණ පාන්න වෙනවා. ඒ රටවල ආර්ථිකය කඩා වැටීමකට ලක්වනු ඇතැයි විවිධ පාර්ශ්ව පවසනවා. බංග්ලාදේශයේ, පාකිස්ථානයේ උද්ඝෝෂණ තිබුණා. රටවල් රැසක ගැටලුකාරී තත්ත්ව ඇති වෙන්න පුළුවන්.

l ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කවුන්සලයට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. රටක් වශයෙන් ඊට මුහුණ දෙන්නේ කෙසේ ද?

ශ්‍රී ලංකාව පමණක් නොවෙයි, අනෙක් රටවල මානව හිමිකම් සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කවුන්සලයේදී කතා කරනවා. අප ඉදිරිපත් කර තිබෙන යෝජනාවට අපේ විරෝධතාව ඉදිරිපත් කර තිබෙනවා. කාරණා කිහිපයක් මත එම විරෝධතාව ඉදිරිපත් කර තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් මානව හිමිකම් කවුන්සලයට දීලා තිබෙන වරමට ඔබ්බෙන් යෑමක් අප දකිනවා. රටක් ඉලක්ක කර ඉදිරිපත් කරන යෝජනාවලට අප ප්‍රතිපත්තිමය වශයෙන් ප්‍රතික්ෂේප කරනවා. අවුරුදු 13කට පෙර සිදුවූ සිද්ධි සම්බන්ධයෙන් තවමත් කතා කරනවා. රාජ්‍යයන් බොහෝ ප්‍රමාණයක් අපට සහයෝගය ප්‍රකාශ කරමින් සිටිනවා. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටිනවා. යෝජනාවක් ඉදිරිපත් කර එය ඉදිරිපත් කළ රටේ සහයෝගයක් නොමැති නම් මෙහෙම කරන එකේ තේරුමක් නැහැ කියා අනෙකුත් රාජ්‍යයන් පවසනවා. රටේ අභ්‍යන්තර තත්ත්වවලට ඇඟිලි ගැසීම සම්බන්ධයෙන් අප පිළිතුරු දීලයි තිබෙන්නේ.

මානව හිමිකම් කවුන්සිලයේ ඡන්දය ප්‍රකාශ කරන්නේ, භූ දේශපාලනය මත ඡන්දය පාවිච්චි කිරීමක් විදියටයි. ඒ ඡන්දය ඇතැම් විට කොටස් වශයෙන් තමයි සිදු වෙන්නේ. බටහිර රටවල් ගත්විට ඒ අය කොටස් වශයෙන් ඡන්දය ලබා දෙනවා. මානව හිමිකම් කවුන්සලය කුමක් පැවසුවත්, අප මානව හිමිකම් දියුණු කරන්න රජයක් ලෙස කටයුතු කරනවා. ලබන වසර වන විට මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර තිබෙන යෝජනා බොහෝ ප්‍රමාණයක් වෙනස් වනු ඇතැයි විශ්වාසයි. හමුදාවේ පිරිස් යෙදවීම සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් වුණා.

ඒ අනුව මේ කාරණාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. මෙය මානව හිමිකම් කවුන්සිලයට හිමි වරම ඉක්මවා යෑමක්. මානව හිමිකම් කවුන්සිලයේ ආර්ථික දර්ශක සම්බන්ධයෙන් කතා කළත්, අපේ සංචිත මිලියන 20කට අඩු වන තෙක් අප දැනගෙන හිටියේ නැත්තේ ඇයි? කියන එක ගැන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස මට වගකීමක් තිබෙනවා.

රටේ මිනිසුන් එය දැන ගත යුතුයි. මේවා මානව හිමිකම් කවුන්සිලය නිසා කරනවා කියන්න බැහැ. ශිෂ්ට සම්පන්න සමාජයක මානව හිමිකම් වැඩි දියුණු කරන්න කටයුතු කළ යුතුයි. ඉදිරියේදීත් අප ඒ සම්බන්ධයෙන් කටයුතු කරනවා. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කළ රටවල් සමඟත් ඉදිරියේදී අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ විවෘතභාවයක් තිබෙනවා. 22 වැනි සංශෝධනය ගෙන ආ පසු, යම්කිසි විදියකට ජනාධිපතිවරයාගේ බලතල අවම වෙලා, ස්වාධීන කොමිෂන් සභා මීට වඩා ස්වාධීන වෙයි. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ යම් යම් පත්කිරීම් ඉතාම හොඳයි. මානව හිමිකම් කොමිසමේ සභාපතිවරිය පත් කළේ එතුමායි. සභාපතිනිය ඉතාම ස්වාධීනව කටයුතු කරනවා. කොමිෂන් සභා ස්වාධීනව කටයුතු කරනවා. ඒත් නීතිමය රාමුව දෙස බලන විට, ඒවා ස්වාධීන කරන්න වෙනවා. ඒ නිසා අප අවශ්‍ය දේශපාලන ප්‍රතිසංස්කරණ කරන්න බලනවා.

l යුක්රේනයේදී රුසියා හමුදා ග්‍රහණයට නතුවූ ශ්‍රී ලාංකිකයන් පිරිස වෛද්‍ය සිසුන් බවට වාර්තා වෙනවා. ඔවුන් සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ගන්නා ක්‍රියාමාර්ග මොනවා ද?

ඒ සිසුන් නීත්‍යනුකූල නොවන ලෙස ඩුබායි ඔස්සේ යුරෝපය දක්වා සංක්‍රමණය වීමට උත්සාහ කළ පිරිසක්. මේ පිරිස ත්‍රස්තවාදීන් කියලා අපේ අමාත්‍යාංශයෙන් කියා නැහැ. අප ඔවුන් සම්බන්ධයෙන් සොයා බලනවා. ජාත්‍යන්තර මාධ්‍ය මොවුන් පිළිබඳ කතා කරනවා. මෙතැනදී අප කිසිවකු සමඟ ප්‍රශ්න ඇතිකර ගන්න සූදානම් නැහැ. අප ජාත්‍යන්තර මාධ්‍ය සමඟ ගැටලු ඇති කර ගන්න යන්නේ නැහැ. ඒත් මේ ශ්‍රී ලාංකිකයන් පිරිස හොඳ ශරීර සෞඛ්‍යය තත්ත්වයකින් ඉන්නවාද? යන්න සම්බන්ධයෙන් සොයා බලන්න අපට අයිතියක් තිබෙනවා. යළිත් ශ්‍රී ලංකාවට පැමිණීමට ඔවුන් තුළ කැමැත්තක් නැහැ. ඒත් ඔවුන්ට ශ්‍රී ලංකාවට පැමිණීමට අවශ්‍ය නම්, තානාපති කාර්යාල මඟින් සහාය ලබා දීමට සූදානම්.

මහින්ද අලුත්ගෙදර

ඡායාරූප - මාලන් කරුණාරත්න

නව අදහස දක්වන්න