කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ සුඛෝපභෝගි කාර්යාලයක් පවත්වාගෙන යමින් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන්ගෙන් ව්‍යාපාර සඳහා යෙදවීමට බව කියමින් රුපියල් මිලියන 226කට අධික මුදලක්, අමෙරිකන් ඩොලර් 60,000ක්, ඔස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂයක් සහ රන් භාණ්ඩ වංචා කර සාපරාධි සාවද්‍ය පරිහරණය කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිනිය වන තිළිණි ප්‍රියමාලි යන සැකකාරිය ලබන 19 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ 06 නියෝග කළේය.
සැකකාරියගේ ව්‍යාපාරික ස්ථානය අසල ව්‍යාපාරයක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයකුගෙන් මේ මුදල් ගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කරමින් දන්වා සිටියේය.
සැකකාරියට මෙවැනිම නඩු අටක් පවතින බව කී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම නඩු මහාධිකරණයේ ඇතුළු අධිකරණ ගණනාවක පවතින බවත් අධිකරණයට දන්වා සිටියේය.
ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ විශාල මුදලක් ගෙවමින් ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන යන සැකකාරිය ව්‍යාපාරිකයන්ට හිතවත් වෙමින් මේ මුදල් වංචා කර ඇති බවත් ඇය මුදල් ලබා ගෙන ව්‍යාපාර සඳහා යොදවන බවට පවසා තිබුණත් එම ව්‍යාපාරවලට යෙදවූ බවට කරුණු තහවුරු නොවීම හේතුවෙන් පැමිණිලිකරුවන් එම මුදල් නැවත ආපසු කිහිපවාරයක් ඉල්ලීමෙන් අනතුරුව අගරු චෙක් පත් දී ඇති බවත් අධිකරණයට කීවේය.
ආයෝජනයට බව කියමින් මේ මුදල් ලබා ගෙන වංචා කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටි අතර, ඇය දී ඇති ගිණුම්වල තිබී ඇත්තේ රුපියල් 65,000ක් 35,000ක් වැනි අගයන් බවත් වැඩි දුරටත් කීවේය.
අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න, නීතිඥ රියාස් නූර්ඩීන් ඇතුළු නීතිඥ මඬුල්ල අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයා ඔහුට හිමි නිවෙසක් විකුණා මේ මුදල් විත්තිකාරියට දී ඇත්තේ ව්‍යාපාර අයෝජනයකට බවය.
එලෙස මුදල් ලබා ගත්තද ලාභාංශ හෝ නොදීම හේතුවෙන් විමසා බැලීමේදී ඇය අගරු චෙක්පත් දී ඇති බවද කියා සිටියේය.
සැකකාරිය හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාද ඇයගේ ව්‍යාපාරවල අයෝජනයට මුදල් දී ඇති බව වාර්තා වන බවත් පළමු පැමිණිලිකරු ඔහුගේ හැඳුනුම්කම මත මේ මුදල් දී ඇති බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයට කියා සිටියේය.
සැකකාරිය කෝටිපති ව්‍යාපාරිකයන්ගෙන් මෙලෙස මුදල් ලබා ගෙන ඇත්තේ ඇයට ඇති ව්‍යාපාර පෙන්වමින් බවත් ඇය ව්‍යාපාර ගණනාවක් ආරම්භ කරමින් ඇය ප්‍රසිද්ධ ව්‍යාපාර හිමිකාරිනියක් බවත් ඔවුන්ට වැටහෙන සේ කටයුතු කර ඇති බවද ජනාධිපති නීතිඥවරයා කියා සිටියේය.
එමෙන්ම මේ මුදල් කුමන අරමුණක් සඳහා යෙදවූයේද යන්න සොයා බලන ලෙසත් ඒ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
විත්තිකාරිය වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥවරයා අධිකරණයට කියා සිටියේ ඇය ප්‍රසිද්ධ ව්‍යාපාරික ආයතනයක හිමිකාරිනියක් බවය. ඇයට ඩුබායි රාජ්‍යයේද ව්‍යාපාර ඇති බව කියා සිටි ඒ මහතා රටේ ඇති තත්ත්වය හමුවේ ව්‍යාපාර සියල්ල බිඳ වැටී ඇති බවත් කියා සිටි අතර, මේ මුදල් කොටස් තුනකින් ගෙවීමට එකඟතාව පළ කරන බවත් කුමන හෝ කොන්දේසියක් යටතේ අය මුදා හරින ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඇයට එරෙහිව නඩු දෙකක් ඉදිරිපත් වූ අතර, එම නඩු දෙකට අදාළව ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා ලබන 19 තෙක් ඇය රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේය.
නව අදහස දක්වන්න