RMV මගඩි හෙළි කළ විගණන නිලධාරියාට මරණ තර්ජන කළ තිදෙනෙක් දැලේ | දිනමිණ

RMV මගඩි හෙළි කළ විගණන නිලධාරියාට මරණ තර්ජන කළ තිදෙනෙක් දැලේ

  • වාහන 82ක අක්‍රමිකතා විගණනයෙන් හෙළි වෙලා
  • තර්ජනය කරන්න වේයන්ගොඩ නිවෙසටත් ගිහින්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සිදුවී ඇති බව කියන අක්‍රමිකතා රැසක් හෙළි කළ විගණන නිලධාරියෙකුට මරණීය තර්ජනය කළ කණ්ඩායමක තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති වාහන අසූ දෙකක අක්‍රමිකතාවයන් විගණනයකින් අනාවරණය කිරීම සම්බන්ධයෙන් රජයේ විගණන උප කාර්යාලයේ විගණන නිලධාරීවරයෙකුට දුරකතනයෙන් සහ ඔහු පදිංචි වේයන්ගොඩ මාබෝදල ප්‍රදේශයේ නිවසට ගොස් ජීවිත තර්ජන එල්ල කර ඇතැයි ජාතික විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විගණකාධිපති පොලිස්පතිවරයා වෙත කරන ලද ලිඛිත පැමිණිල්ලේ සඳහන් වේ.

එම තර්ජන හේතුවෙන් අදාළ විගණන උප කාර්යාල‍ෙය් සේවයේ නියුතු අනෙකුත් නිලධාරීන්ගේ රාජකාරි කටයුතුවලට දැඩි බලපෑමක් එල්ල වී ඇති බවත් විගණන කටයුතුවලදී සිදු වන එවැනි අනිසි බලපෑම හේතුවෙන් ස්වාධීනව විගණන කටයුතු කිරීමේ නිරත නිලධාරීන් අධෛර්යමත්වීමෙන් රාජ්‍ය සම්පත් සුරක්ෂිත කිරීම සඳහා ඔවුන් දරන වෑයම අපතේ යාමක් විය හැකි බැවින් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර ආරක්ෂාව තහවුරු කරන ලෙසට විගණකාධිපති පොලිස්පතිවරයා වෙත ඉදිරිපත් කළ ලිඛිත පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වන බව පොලිසිය කියයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ කොළඹ අපරාධ කොට්ඨාසයේ ඒකක 5 භාර ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් රණසිංහ මහතා තර්ජනය කිරීමේ සිද්ධියේ සැකකරුවන් පැමිණිලි සමඟ දුරකතන ඇමතුම් සම්බන්ධතා පවත්වා ඇති බවට හඳුනා ගැනීමෙන් පසු අදාළ දුරකතන අංකවලට අදාළව අධිකරණ නියෝග පරිදි දුරකතන සමාගම් මඟින් ගන්නා ලද විස්තර වාර්තාවන් ඔස්සේ සිදුකරන ලද දීර්ඝ විමර්ශනයකින් පසු සැකකාරිය කොළොන්නාවේදීත් සැකකරුවන් දෙදෙනා වාරියපොළ ප්‍රදේශයේදීත් අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.

මෙම තර්ජනාත්මක කණ්ඩායමේ තවත් සැකකාරියක් අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇතැයි පොලිසිය කියයි.

සැකකාරිය වයස අවුරුදු 26ක් වන අතර, සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 33 හා 38 අතර පසුවන්නන්ය.

පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මෙහෙයවීමෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා මහතාගේ ඍජු අධීක්ෂණය යටතේ ස්ථානාධිපති ඇන්සලම් ද සිල්වා මහතාගේ මඟපෙන්වීමෙන් ඒකක 5 භාර ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. පී. කේ. ලලිත් රණසිංහ, උප පොලිස් පරීක්ෂකවරුන් වන අසංක, අබේරත්න, කොස්තාපල්වරුන් වන 91136 ජයශාන්ත, 97044 ශාමික මහත්වරු පරීක්ෂණ පවත්වයි.

 

බණ්ඩාරගම බිමල් ජයසිංහ

නව අදහස දක්වන්න