මැතිවරණයක් පැවැත්වීමට සුදුසු වාතාවරණයක් රටේ තිබෙනවා ද -ඇමැති ප්‍රසන්න රණතුංග | දිනමිණ

මැතිවරණයක් පැවැත්වීමට සුදුසු වාතාවරණයක් රටේ තිබෙනවා ද -ඇමැති ප්‍රසන්න රණතුංග

පවතින ආර්ථික තත්ත්වය මත මැතිවරණයක් පැවැත්වීමට සුදුසු වාතාවරණයක් රටේ තිබෙනවාද යන්න සලකා බැලිය යුතු යැයි නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පැවැසීය.

ඇමැතිවරයා මේ බව කියා සිටියේ ගම්පහ, කටුනායක, දකුණු කුරණ වසමේ ඉදිකළ නව බහුකාර්ය ගොඩනැගිල්ල සහ කායවර්ධන මධ්‍යස්ථානය පෙරේදා (20) ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

කටුනායක සීදූව නගර සභාවට අයත් ඉඩමක ඉදිකර ඇති මේ ගොඩනැගිල්ල සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 35කි. කායවර්ධන මධ්‍යස්ථානයේ උපකරණ සඳහා රුපියල් මිලියන 10ක් වැය කර ඇත.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ සඳහන් කළේය.

"ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව රට ගොඩගැනීමට කටයුතු කරමින් සිටින විට අභියෝග භාර ගත නොහැකි විපක්ෂයේ පිරිස් රට තව තවත් අරාජික කිරීමට කටයුතු කරනවා. රට තුළ ආර්ථික අර්බුදයක් ඇති වන බවට අපේ කණ්ඩායම මෙන්ම විපක්ෂය ද දැන සිටියා. වත්මන් රජයට චෝදනා කරන බොහෝ දේශපාලනඥයන්ගේ මව්පියන්, සහෝදර, සහෝදරියන් වසර ගණන් පාර්ලිමේන්තුවේ කටයුතු කළා.

කොවිඩ් වසංගතය සමඟ රට වසා දැමීම නිසා සංචාරකයන් පැමිණීම නතර වීම, විදේශ ශ්‍රමිකයන්ගේ රැකියා අහිමි වීම ආදිය නිසා විදේශ මුදල් ගැටලුව පැමිණියා. එම නිසා භාණ්ඩ හා ඖෂධ ආනයන ගැටලු ඇති වූණා. මෙවැනි වාතාවරණයක් යටතේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස බලයට ඒමට නොහැකි පිරිස් අරගලයට මුවාවී ජනතාව සහ ශිෂ්‍ය ව්‍යාපාරය ඉදිරියට දමමින් රට තුළ කලබලකාරී තත්ත්වයක් ඇති කර බලයට ඒමට උත්සාහ කළා. ඔවුන් දැන් ඡන්දයක් ඉල්ලා සිටිනවා. මේ වාතාවරණය ඡන්දයක් ඉල්ලන වේලාවක්ද?"

උපාලි කරුණාරත්න

නව අදහස දක්වන්න