චාමික කණ්ඩායමට ඇතුළත් නොවීමට වාර්තාවක් කැඳවන්න | දිනමිණ

චාමික කණ්ඩායමට ඇතුළත් නොවීමට වාර්තාවක් කැඳවන්න

උපදේශක කාරක සභාවේදී ඇමැතිගෙන් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්ට උපදෙස්

තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න ජාතික කණ්ඩායමට තෝරා නොගැනීම පිළිබඳ ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ලිඛිතව විමසීමක් සිදු කරන ලෙස ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් වෙත උපදෙස් දී තිබේ. ක්‍රීඩා ඇමැතිවරයා මෙසේ උපදෙස් දී ඇත්තේ සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය සඳහා චාමික කරුණාරත්න නම් නොකිරීමට ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර ඇති බවට පළ වන වාර්තා හේතුවෙනි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් තෝරා ගැනීමේදී යම් ආගමික කල්ලියකට අයත් ක්‍රීඩකයන් පමණක් තෝරා ගන්නා බවට මතයක් පවතින බවත්, පසුගිය කාලය තුළ දස්කම් දැක්වූ ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න ජාතික කණ්ඩායමට තෝරා නොගන්නේ උක්ත ආගමික මතවාදයට එකඟ නොවූ නිසා බවට රාවයක් පවතින බවද පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරු පැවසූහ.

මේ අදහස් පළ වූයේ ක්‍රීඩා හා යෞවන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (22) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය. පසුගිය ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය සහිතව විදෙස්ගත වූ නිලධාරින් පිළිබඳ සොයා බැලිය යුතු බවට ද මෙහිදී අදහස් පළ විය. සියලු පහසුකම් සහිතව දිනකට ඩොලර් 800ක වියදම් මුදලක් එක් අයකු වෙත ගෙවා ඇති අතර, නිලධාරීන් නොවන පිරිස්ද ඉහත පහසුකම් යටතේ සංචාරයට සහභාගි වී ඇති බවද මන්ත්‍රීවරු සඳහන් කළහ. එමෙන්ම විස්සයි20, දහයයි10 සහ එල්.පී.එල්. තරගාවලි පැවැත්වීමේදී මුදල් භාවිතය සම්බන්ධව විධිමත් නියාමනයක් ක්‍රීඩා අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් අවශ්‍ය බව මන්ත්‍රීවරු මෙහිදී පෙන්වා දුන්හ.

 

ස්වර්ණා විජේකෝන්, නුවන් කොඩිකාර සහ සන්ධ්‍යා කරුණාරත්න

නව අදහස දක්වන්න