ප්‍රංශයට 4-1ක ජයක් | දිනමිණ

ප්‍රංශයට 4-1ක ජයක්

වාර්තාගත ගෝල ද්විත්වයක් එල්ල කළ ඔලිවර් ගිරෝඩ් ඔස්ට්‍රේලියාව සමඟ පැවති තරගයෙන් වත්මන් ලෝක ශූර ප්‍රංශයට ගෝල 4-1ක විශිෂ්ට ජයක් අත්කර දීමට සමත් විය. ‘ඩී’ කාණ්ඩයේ තරගයක් ලෙස පෙරේදා රාත්‍රී පැවති මේ තරගයේදී ගිරෝඩ් වාර්තා කළ ගෝල ද්විත්වයත් සමඟ ඔහු ප්‍රංශය වෙනුවෙන් වැඩිම ජාත්‍යන්තර ගෝල සංඛ්‍යාවක් රැස් කළ හිටපු ක්‍රීඩක තියරි හෙන්රිගේ වාර්තාව ද සම කළේය.

ක්‍රෙග් ගුඩ්වින් ඔස්ට්‍රේලියාවේ බලාපොරොත්තු දල්වමින් තරගයේ 9 වැනි මිනිත්තුවේදී ගෝලයක් වාර්තා කිරීමට සමත් වූවත්, 27 වැනි මිනිත්තුවේ ප්‍රංශයේ ඒඩ්‍රියන් රබියට් එල්ල කළ ගෝලයෙන් 1-1ක් ලෙස තරගය සම විය. අනතුරුව 32 වැනි මිනිත්තුවේදී ගිරෝඩ් සිය පළමු ගෝලය වාර්තා කරමින් ප්‍රංශය 2-1කින් ඉදිරියට ගෙන ගියේ පළමු භාගයේ වාසිය ප්‍රංශය හමුවේ තබමිනි. දෙවැනි භාගයේ 68 වැනි මිනිත්තුවේදී ප්‍රංශයේ ප්‍රබලතම තුරුම්පුව වන කයිලන් එම්බාපේ ගෝලයක් වාර්තා කළ අතර, ගිරෝඩ්ගේ දෙවැනි ගෝලය වාර්තා වූයේ තරගයේ 71 වැනි මිනිත්තුවේදීය.

 

මෙක්සිකෝ - පෝලන්තය

තරගය ජය පැරදුමක් නෑ

ගෝල රහිතව පළමු භාගය නිමාවට පත්වූවද දෙවැනි භාගයේ 58 වැනි මිනිත්තුවේදී ලැබුණු අනගි දඬුවම් පහර අවස්ථාවක් පෝලන්ත පිලේ නායක රොබර්ට් ලෙවන්ඩොව්ස්කිට මඟ හැරීම හේතුවෙන් මෙක්සිකෝව පරාජය කිරීමට තිබූ අවස්ථාව පෝලන්තයට අහිමි විය.

මෙක්සිකෝවේ ප්‍රවීණ දැල් රකින්නා වන ගිලර්මෝ ඔචෝවා සාර්ථකව පන්දුව ඉවතට තල්ලු කරමින් සිය කණ්ඩායම පරාජයෙන් බේරා ගත්තේය. අවසානයේ තරගය නිමාවට පත් වූයේ කිසිදු ගෝලයක් රහිතවය. ඒ අනුව දෙපිලටම ප්‍රසාද ලකුණ බැගින් හිමි විය.

 

මොරොක්කෝ - ක්‍රොඒෂියා

තරගයේ ගෝල් නෑ

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ පසුගිය වසරේ අනුශූරයන් වූ ක්‍රොඒෂියාව සහ මොරොක්කෝව අතර ඊයේ පැවති ‘එෆ්’ කාණ්ඩයේ තරගයේ සම්පූර්ණ කාලය තුළ ගෝල් වාර්තා නොවීමෙන් එම තරගය ජය පරාජයෙන් තොරව නිමා විය.

මේ නිසා දෙපිලටම ලකුණ බැගින් පිරිනැමීමට කටයුතු කෙරිණි.

නව අදහස දක්වන්න