ජපනුන්ගෙන් ජර්මනියට ප්‍රහාරයක් | දිනමිණ

ජපනුන්ගෙන් ජර්මනියට ප්‍රහාරයක්

ලෝක කුසලාන පාපන්දු ඉතිහාසයේ පෙරළියක් සිදු කරමින් සහභාගි වූ පළමු තරගයෙන්ම ප්‍රබල ජර්මනි කණ්ඩායම ගෝල් 2-1ක් ලෙස පරාජය කිරීමට කටාරයේ කලීෆා ක්‍රීඩාංගණයේදී ජපානය ඊයේ සමත් විය.

‘ඊ’ කාණ්ඩය යටතේ පැවති තරගයේ 33 වැනි මිනිත්තුවේදී ඉල්කයි ගුන්ඩොගාන් ජර්මනිය ඉදිරියට ගෙන යමින් දඬුවම් පහරකින් ගෝලයක් වාර්තා කළ අතර, පළමු භාගය නිමා වන තෙක්ම ජපානයට ගෝල් වාර්තා කිරීමට නොහැකි විය.

මිනිත්තු 74ක් පුරා පැවති ජර්මන් අධිපත්‍ය බිඳ දැමූ ජපානයේ රිට්සු ඩෝන් 75 වැනි මිනිත්තුවේදී ගෝලයක් වාර්තා කරමින් කණ්ඩායම සම තත්ත්වයට පත් කළේය. තවත් මිනිත්තු 8ක් ගත වෙද්දී ටකුමා අසනෝ ගෝලයක් වාර්තා කරමින් ජපානයට ඓතිහාසික ජය අත්කර දුන්නේය. ජපානය විසින් පාපන්දු තරගයකදී සිවු වරක් ලෝක ශූරයන් වූ ජර්මනිය පරාජය කළ පළමු අවස්ථාව ලෙස මෙය සටහන් විය. ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව ජර්මනිය 11 වැනි ස්ථානයේ පසුවන අතර, ජපානයට හිමිව ඇත්තේ 24 වැනි ස්ථානයයි.

 

නව අදහස දක්වන්න