ආණ්ඩු පෙරළන්න තවත් අරගල බෑ අරගලයක් ආවොත් හමුදාව - හදිසි නීතිය දානවා -පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපති කියයි | දිනමිණ

ආණ්ඩු පෙරළන්න තවත් අරගල බෑ අරගලයක් ආවොත් හමුදාව - හදිසි නීතිය දානවා -පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපති කියයි

බලපත්‍ර නැතිව උද්ඝෝෂණ බැහැ

විපක්ෂයේ වුණත්, ආණ්ඩු පක්ෂයේ වුණත් මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනි තියන්න බැහැ

බැසිල් ගැන කතා කරන පෙරටුගාමි නායකයාත් ද්විත්ව පුරවැසියෙක්

 

 

ආණ්ඩු වෙනස් කිරීම සඳහා කිසිසේත් තවත් අරගලයකට ඉඩ නොතබන බවත් යළි අරගලයක් ආරම්භ වුවහොත් හමුදාව යොදවා, හදිසි නීතිය පනවා එය නතර කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23) අවධාරණය කර සිටියේය.

අය වැය තෙවැනි වර කියවීමේ විවාදය අතරතුර පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

තමන් ඒකාධිපතියකු බව පාරට බැස පැවසුවාට කම් නැති බව පැවසූ ජනාධිපතිවරයා, නිසි අවසර පත්‍රයක් ගෙන පාරට බැස සමාන්‍ය ජනතාවට පීඩා නොවන පරිදි විරෝධතා කළ යුතු බවත් කීවේය.

තවත් අරගලයක් සිදු කිරීමේ මුවාවෙන් බලපත්‍ර නොමැතිව නීතිය අතට ගෙන විරෝධතා ව්‍යාපාරවල නිරත වන්නේ නම් ඒවා නැවැත්විය යුතු බවද හෙතෙම කියා සිටියේය.

බලය බෙදීම ඇතුළුව ජනවාර්ගික අර්බුදයට ස්ථිරසාර විසඳුමක් ලබාගැනීම වෙනුවෙන් සියලු දේශපාලන පක්ෂ එකඟතාවයකට පැමිණීම සඳහා වන සාකච්ඡාවක් එළැඹෙන දෙසැම්බර් 11 වැනිදායින් පසුව කැඳවීමට කටයුතු කරන බවත්, ඒ සඳහා සහභාගීවන ලෙස ද ජනාධිපතිවරයා කීවේය.

ඩින් ඩියම් පන්නයේ පාලනයකට තමා කිසිවිටෙකත් ඉඩ නොතබන බවත්, එවැනි උත්සාහයක නිරත වුවහොත් හමුදාව සහ හදිසි නීතිය යොදවා එය වැළැක්වීමට පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේ ද සඳහන් කළේය.

පළමුවෙන්ම මම සුමන්තිරන් මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන් කතා කරන්න කැමතියි. මේ ඉඩම් ගැටලුව පිළිබඳ පසුගියදා වව්නියාවේදී මම වන ජීවී සහ වන සංරක්ෂණ නිලධාරින් සමඟ සාකච්ඡා කළා.මේ ප්‍රශ්නය උතුරට විතරක් සීමා වුවක් නොවෙයි, රටේ බොහෝ ප්‍රදේශවල මේ ප්‍රශ්නය තිබෙනවා. ඒ නිසා මේකට විසඳුමක් ලබාගත යුතුයි. එතුමා සඳහන් කළ ආකාරයට ජනවාර්ගික ප්‍රශ්නය ඇතුළු ප්‍රශ්න සම්බන්ධයෙන් 1984 සිට මේ දක්වා සියලුදෙනා හොඳින් දැනුම්වත් වෙලා සිටිනවා. ඒ පිළිබඳ අලුතෙන් කතා කරන්න දෙයක් නෑ. මේකට විසඳුම් ලබාගත යුතුයි.

මම හිතනවා 75 වැනි නිදහස් සංවත්සරයේදීවත් අපිට මේ ප්‍රශ්නයට විසඳුමක් ලබාගත හැකි වෙයි කියලා. එහෙම නොවුනොත් 2048 දීත් මේ රට මේ විදිහටම තිබේවි. අපි දෙමළ ජනතාව සමඟ විශ්වාසය ගොඩනඟා ගත යුතුයි. ඒවගේම මේ ප්‍රශ්නය ගැන උනන්දුවෙන් සිටින සිංහල ජනතාවගේද විශ්වාසය දිනාගත යුතුයි. අවසානයේදී මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්න දෙසත් අවධානය යොමුකළ යුතුව තිබෙනවා. මේ වෙනකොට සාක්ෂි නැතුව රඳවාගෙන සිටින තරුණයන් නිදහස් කිරීම ගැන අපි ආරක්ෂක මණ්ඩලයේ සාකච්ඡා කරමින් සිටිනවා.

මේ විවාදය ආරම්භ වීමට පෙර විපක්ෂ නායකවරයා වගේම ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයත් කිව්වා පාඩු ලබන ආයතන විකුණන්න, ලාභ ලබන ඒවා කුණුකොල්ලයට විකුණන්න එපා කියලා. මේ රටේ පුද්ගලීකරණය සහ ජනතාකරණය ආරම්භ වුයේ ප්‍රේමදාස ජනාධිපතිවරයා යටතේයි. එවකට කර්මාන්ත ඇමතිවරයා ලෙස මම එය ආරම්භ කළා.

අපි පළමුවෙන්ම පෞද්ගලීකරණය කළේ යුනයිටඩ් මෝටර්ස් ආයතනය. එය ලාභ ලබපු ආයතනයක්. ඒ වගේම පෞද්ගලීකරණය කළ සිලෝන් ඔක්සිජන්, ලෙදර් කෝපරේෂන්, ටයර් කෝපරේෂන්, ලංකා මිල්ක් පුඩ්, ලංකා ඩිස්ටිලරිස් මේ සියලු ආයතන ලාභ ලබන ආයතන. ඊළඟට වැවිලි සමාගම් පෞද්ගලීකරණය කළා, මේ ඇතැම් ආයතන ලාභ ලැබූ ඒවා, සමහර ආයතන අලාභ ලැබූ ආයතන. 1977 ජේ.ආර්. ජයවර්ධන මහතා ආර්ථිකය විවෘත කළා. ප්‍රේමදාස ජනාධිපතිවරයා 1989 ඊළඟ පියවර ගත්තා. සමහර ආයතන රජයේ පාලනයෙන් ඉවත් කරලා පෞද්ගලික අංශයට භාර දෙන්න. මෙහිදී උදාහරණ කර ගත්තේ චීනයේ ඩෙන්ග් ෂියෝපින්ග් මහතා ආරම්භ කළ වැඩසටහන. අපි එය ඉදිරියට ගෙන ගියා. නැවත උත්සාහ කරන්නේ එම වැඩසටහන ක්‍රියාත්මක කරන්න. පෙරේදා මහින්ද රාජපක්ෂ අපේ හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළා අලාභ ලබන ආයතන විතරයි පෞද්ගලීකරණය කළයුත්තේ කියලා. එතුමාගේ සහයෝගයට විපක්ෂනායකවරයට කිව්වා අලාභ ලබන ආයතන විතරයි විකුණන්නේ කියලා. ඔන්න ඔබතුමාට හොඳ අනුගාමිකයෙක් ඉන්නවා. ඉතින් අපි තීරණය කරමු මොකක්ද අපි කරන්නේ කියලා.

මම අගමැතිවරයගේ කතාවටත් ඇහුම්කන් දුන්නා. අද අපි වාසනාවන්ත වෙලා තිබෙනවා මේ සභාවේ සාමාන්‍ය විදියට වාද විවාද කරන්න. මේක හැම රටකම කරන දෙයක්. ඒත් මැයි 09 වැනිදා සහ ජූලි 13 වැනිදා අතර මෙවැනි සාමාන්‍ය තත්ත්වයක් තිබුණේ නැහැ. මැයි 09 වෙනිදා සිදුවීම පිළිබඳ දැන් අපි උසාවියට ගිහින් තිබෙනවා. එක මන්ත්‍රීවරයෙක් මහපාරේ අමු අමුවේ මරා දැමුවා. අනෙක් මන්ත්‍රිවරයා තමයි “ගෝඨා ගෝ හෝම් කියලා ඉස්සෙල්ලාම කිව්වේ. එතුමා අනූ නවයෙන් බේරුනේ. කොහොමද අපි මේක අනුමත කරන්නේ. මෙවැනි සිදුවීම්වලට අපි සම්පූර්ණයෙන් විරුද්ධ වුණා. ඊට කලින් සතියේ අපි කතාකරනකොට එතුමා කිව්වා ආණ්ඩුව වැට්ටවිය යුතුයි කියලා. එහෙම කියපු කෙනාව කාර් එකේ දාලා ගිනි තියන්න හදනවා. මේ ආණ්ඩුව වට්ටනවද, ගෝඨාභය රාජපක්ෂ එක්කද, මහින්ද රාජපක්ෂ එක්කද හිටියේ මේවා ඇතුළේ විසඳාගත යුතු ප්‍රශ්න. කවුරුත් මරා ගන්න අවශ්‍ය නැහැ.

ගෙවල් ගිනි ගත්තු සමහර අය එදා අරලිගය මන්දිරයේ රැස්වීමට ගියෙවත් නැහැ. මම කිහිප දෙනෙක්ට කතා කළා. ඔවුන් වෙන වෙන තැන්වල හිටියේ. මම අහන්නේ එක ප්‍රශ්නයයි. ආණ්ඩු පක්ෂයේ හෝ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනි තියලා මොකක්ද කරන්න පුළුවන්.

අපි දන්නවා ගැටුමක් ඇතිවෙලා නාලන්ද එල්ලාවල මහතා මරණයට පත් වුණා. අපේ මන්ත්‍රීවරු ඒකට සම්බන්ධවෙලා තිබුණා. ඒ අය අත්ඩඅංගුවට ගත්තා. ඒත් අපිට සහයෝගය දෙන අයගේ ගෙවල් රත්නපුරේ පැත්තේ ගිනි තිබ්බා. අපි එදා ඒකට විරුද්ධ වුණා. විපක්ෂයේ වුණත්, ආණ්ඩු පක්ෂයේ වුණත් මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනි තියන්න බැහැ. මේ මන්ත්‍රිවරු අහසින් වැටුණ අය නෙවේ, හොඳ අය වගේම නරක අයත් ඉන්නවා. මන්ත්‍රීවරු 196 දෙනෙක් මෙතනට ආවේ ඡන්දදායකයන් තෝරගත්ත නිසා. මනාප 03ක් ජනතාවට තිබුණා.

ඒ මනාප ලබා දීලා තමන්ගේ නියෝජිතයන් තෝරගත්තා. එහෙම නම් ඒ අයට වැඩ කටයුතු කරන්න අපි අවස්ථාව ලබාදිය යුතුයි.

අපි ඊළඟ ඡන්දයේ දී කියනවා මීට වඩා හොඳ අය අවශ්‍යයි කියලා. සමහර වෘත්තියවේදීන් කියනවා අපිට බිරිය එන්න දෙන්නේ නැහැ, ගිහින් ගෙදර ගිනි තියාගන්න එපා කියලා. එතකොට ආසනයේ චන්ඩියෝ ඉන්න අයට විතරයි පාර්ලිමේන්තු එන්න පුළුවන්. එහෙනම් අපි මේ අයට ආරක්ෂාව ලබා දිය යුතුයි, වන්දි ලබාදිය යුතුයි. අපි ඔවුන්ව බලාගන්න අවශ්‍යයි.

ජූලි 09 වෙනිදා ජනාධිපතිව පන්නලා දැම්මා. ගිහින් බලන්න ජනාධිපති මන්දිරයට කරලා තිබෙන විනාශය. ඊට පසුව ජනාධිපති කාර්යාලය අත්පත් කරගත්තා. එතන බිම වාඩිවෙලා හිටියා, කාටවත් එන්න දෙන්නේ නැහැ කියලා කිව්වා. මම ළඟ තියනවා ඒ කාලයේ ඔවුන් කියපු සියලු දේවල් පිළිබඳ වාර්තාවක්.

මම අගමැති ධුරයෙන් ඉවත් වෙන්නේ නැහැ කියලා මගේ නිවස ගිනි තැබුවා. මම කොහොමද ඉවත් වෙන්නේ, පාර්ලිමේන්තුවේ බහුතරයක් තිබ්බා. වෙනත් පිරිසකට ඊට වඩා බලයක් ගන්න සර්ව පාක්ෂික ආණ්ඩුවක් අවශ්‍යයි. එවිට මට ඉවත් විය හැකියි. ඊළඟ 13 වෙනිදා ආවා පාර්ලිමේන්තුව අල්ල ගන්න. අගමැති කාර්යාලය අල්ල ගත්තා. පාර්ලිමේන්තුව අල්ලගෙන අපි මෙහෙමයි කරන්නේ, මේකයි ආණ්ඩුව කියලා කියන්න තමයි ඔවුන් සූදානම් වුණේ. එතකොට ආණ්ඩුව රූකඩ ආණ්ඩුවක්නේ.

ඒකයි මම විපක්ෂයට කියන්නේ, වුණ දේ වුණා. එහෙත් මෙවැනි බලවේගවලට යටත් වෙන්න එපා. ජනතාව එතන හිටියේ නැහැ. අන්තිමට මට චෝදනා කළා මම මේක නතර කරන්න ගියා කියලා. විදේශ පුවත්පත්වලට දුන්නා මම වගේ ඒකාධිපතියෙක් කොහෙවත් නැහැ කියලා. 17 වැනි සංශෝධනය ගෙනාවෙත් මම. ඒකයි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අද උදව් කරන්නේ, 19 වැනි සංශෝධනය ගෙනාවෙත් මම. ඒ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ සහයෝගයෙන්, නැත්නම් අපට බලයක් තිබුණේ නැහැ. 21 වන සංශෝධනය ගෙනාවෙත් මම. දැන් මම හිට්ලර් වගේලු, මට මොනතරම් දේවල් කිව්වද, අල් ජසීරා එක කිව්වා රනිල් ඒකාධිපතියෙක්, කටාර් රාජ්‍යයේ වගේ හොඳ ප්‍රජාතන්ත්‍රවාදියෙක් වෙන්න කියලා. මට ඒ වගේ වෙන්න බැහැ.

මේ තුළින් සම්පූර්ණයෙන් රාජ්‍ය පාලන ක්‍රමවේදය නැතිවීමට ගියා. පාර්ලිමේන්තුව අල්ලගත්තා නම් ඊළඟට ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා. කවුද මේක පිටුපස සිටියේ, කුමාර් ගුණරත්නම් ඇතුළු පෙරටුගාමී පක්ෂය. දැන් අපි 21 වන සංශෝධනය සම්මත කරගත්තා. එහිදී බොහෝ අය ප්‍රකාශ කළා බැසිල් රාජපක්ෂ මහතා ඉවත් විය යුතුයි කියලා. මොකද, එයාට ද්විත්ව පුරවැසිකම තිබෙනවා කියලා. අපි ඒක පිළිගත යුතුයි. කොහොමද පෙරටුගාමි එකේ නායකයා එහෙම කියන්නේ, එයාටත් ඕස්ට්‍රේලියාවේ සහ ලංකාවේ ද්විත්ව පුවැසිකම තිබුණනේ. මෙයා නරක් වෙලා, එයා හොඳ වෙන්න බැහැ.

අපි බැසිල් රාජපක්ෂ මහත්තයට කියනව නම් ඔබතුමා එන්න එපා කියලා, අපි බලය දෙන්න යන්නේ ඡන්දෙන් ආපු කෙනෙක්ට නොවෙයි. ද්විත්ව පුරවැසිභාවය තිබෙන කෙනෙක්ට. බැසිල් රාජපක්ෂ මහත්තයට චෝදනා තියනවා. මම අගමැතිවෙලා ඉද්දි එතුමාව උසාවියටත් ගෙන ගිහින් තිබුණා.

රිමාන්ඩ් එකෙත් හිටියා. මොනවද කුමාර් ගුණරත්නම්ට විරුද්ධව තිබෙන චෝදනාව, උතුරේ යුද්ධය කාලයේ ඉන්දියන් සාම හමුදාවේ අය මැරුවා කියලා. මේකද අපේ විමුක්තිය.

මොකක්ද මැයි 09 වැනිදා සහ ජූලි 04 වැනිදා සිදු වුණේ, අපේ පන්සල් කිහිපයකට තර්ජනය කළා, ගිනි තියනවා කියලා. මල්වතු, අස්ගිරි විහාරවල මහා සංඝරත්නයට තර්ජනය කළා කතා කරන්න එපා කියලා. අපේ සංඝයා වහන්සේ බිය වෙලා කතා නොකර හිටියා. එතකොට කොහොමද ව්‍යවස්ථාවේ 09 වන වගන්තිය ආරක්ෂා වෙන්නේ, බුද්ධාගම ආරක්ෂා කරන්න අපි ව්‍යවස්ථාවෙන් බැඳි සිටිනවා. කවුද මේවා පිටුපස සිටියේ, අපේ තරුණ භික්ෂුන් වහන්සේලාව මේවට යොදව ගත්තා. උන්වහන්සේලා ගිහින් මහනායක හිමිවරුන්ට කිව්වා ඔබවහන්සේලා අයින් වෙලා අපිට නායකකම දෙන්න කියලා.

හින්දු පූජකවරුන්ට තර්ජනය කළා. මුස්ලිම් අයටත් එහෙමයි. කතෝලික රදගුරු සභාවත් කිව්වා අපි ප්‍රචණ්ඩත්වයට විරුද්ධයි කියලා. එතකොට කොයි ආගමික නායකයන් ද මේ අයත් එක්ක හිටියේ. අපි කොහොමත් කැමති නැහැ මේ රට ඩින් ඩියම් පාලනයකට ගෙනියන්න.

ඩින් ඩියම්ලටත්, ඒ වටේ ඉන්න අයටත් මම ඉඩ දෙන්නේ නැහැ. දැන් කියනවා ආපහු අරගලය කරනවා කියලා. ඕන කෙනෙක්ට පුළුවන් රැස්වීම් තියන්න, ඔබතුමන්ලා රැස්වීම් තිබ්බා, ජනතා විමුක්ති පෙරමුණ රැස්වීම් තිබ්බා. උතුරේ TNA එක රැස්වීම් තියනවා.

රැස්වීම්, විරෝධතා, පාගමන් නිත්‍යානුකූල විදියට කරන්න. මම ඒකාධිපතියෙක් කියලා ඕන තරම් කෑ ගහන්න. කමක් නැහැ. මම එකක් කියන්න ඕනැ, බලපත්‍රය අරගෙන පාරට එන්න. අනිත් වාහන අවහිර කරන්න එපා. එක පැත්තකින් යන්න. වෙන දෙයක් මම ඉල්ලන්නේ නැහැ.

ඒත් කවුරුහරි හිතනව නම් බලපත්‍රයක් නැතිව තව අරගලයක් කරන්න පුළුවන් කියලා ඒක නවත්වන්න. මම මේ පිළිබඳ පොලිසියට කියලා තිබෙනවා. ආණ්ඩුව වෙනස් කරන්න අරගලයක් කරනවා නම් මම ඒකට ඉඩ දෙන්නේ නැහැ. හමුදාව යොදවනවා, හදිසි නීතිය දානවා. මේ රටේ ඩින් ඩියම්ලාට තැනක් නැහැ.

කුමාර් ගුණරත්නම් එක්ක කවුද දැන් යන්නේ, එයා හොඳයි නම්, එතකොට බැසිල් රාජපක්ෂ‌ට විරුද්ධව කතා කරන්න බැහැ. හැමදාම කෑ ගැහුවා කියලා ජනතාව ඒ අය එක්ක ඉන්නේ නැහැ. මේ බලවේග හැදුවේ කොයි මාධ්‍යයද කියලා බලමු. ගිනි තබන්න කිව්වේ කොයි මාධ්‍යයද කියලා බලමු. ඒකට කොමිෂන් සභාවක් මම පත් කරන්න ඉන්නේ.

පාස්කු ඉරිදා බෝම්බයෙන් පස්සේ අපි කොමිසම් සභාවක් පත් කළා. මටත් ඒකට ගිහින් සාක්ෂි දෙන්න තිබුණා. ඒහෙම නම් මේ සඳහාත් අපි කොමිෂන් සභාවක් පත් කරන්න අවශ්‍යයි. අපි 22 වැනි සංශෝධනය ගෙනාවා. මේ කොමිෂන් සභා සියල්ල පත් කළා. දැන් පාර්ලිමේන්තුවේ අය වැය කාර්යාලය විවෘත කරන්න යනවා. මැතිවරණ වියදම් සීමා කරන කෙටුම්පත ගෙනාවා. තව හුඟක් කරුණු ක්‍රියාත්මක කරන්න තිබෙනවා. දැන් මේ කොමිෂන් සභා ක්‍රියාත්මක වන නිසා විපක්ෂයත්, ආණ්ඩු පක්ෂයත් අර තරුණ පස් දෙනා තෝරණ නිර්ණායක තීරණය කරන්න. මේ දෙසැම්බර් මාසය අවසන් වෙන්න කලින් ඒ අයගේ නම් ටිකවත් අරගෙන ජනවාරි මාසයේ ඒ අයව පත් කරන්න කටයුතු කරන්න.

අපිට තිබෙන්නේ වෙනසක් කරන්න. මම නම් පාර්ලිමේන්තුව විසුරුවන්න යන්නේ නැහැ. මේ රටේ ආර්ථිකයේ විශාල ප්‍රශ්නයක් තිබෙනවා. දැන් රටේ බොහෝ දෙනෙක්ට ඡන්ද එපා වෙලා, දේශපාලන පක්ෂත් එපා වෙලා. අද සජබෙ රැස්වීමට ගියත් තිබෙන්නේ මම දන්න කියන මුහුණු. අලුත් මුහුණු එකක්වත් නැහැ. තරුණයන් බලන්නේ මේකේ වෙනසක් කරනවද, නැද්ද කියලා. ඒ වෙනස කළාට පස්සේ අපි ඡන්දයකට යමු. එතකොට ඕන කෙනෙක්ට බලය ගන්න පුළුවන්. ඒකයි මම කියන්නේ මේ ඡන්ද ක්‍රමය වෙනස් කරන්න අවශ්‍යයි කියලා මනාප ක්‍රමය තියෙනකම් මේ රටේ දූෂණය තිබෙනවා.

එදා ආසනයක් දිනාගන්න මිලියන 25ක් 50ක් වියදම් කළා. අද ඡන්ද කරන්න හිතන්නවත් බැහැ. අපි මේවා සිතිය යුතුයි. මම කියන්නේ මේ ක්‍රමවේදය කඩිනමින් වෙනස් කළ යුතුයි. මම නැවත විපක්ෂයට කියනවා අපි සියලුදෙනා එකතු වෙලා ඒ වැඩකටයුතු කරමු. මට මේ සියලුදෙනා සමඟ වැඩකරන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. අපි මේ වැඩපිළිවෙළ කොහොමද කරන්නේ කියලා මේ වසර අවසන් වෙන්න කලින් කතා කර ගනිමු.

අය වැය තෙවැනි වර කියවීමෙන් පසුව අපි ඔක්කොම එකතුවෙලා මෙයට ස්ථීර විසඳුමක් ලබා ගැනීමට සාකච්ඡා කරමු. ඒ සඳහා 11 වැනිදායින් පසුව කැඳවන රැස්වීමට සහභාගීවන ලෙස මම සියලු දේශපාලන පක්ෂ වලට ආරාධනා කරනවා.

ස්වර්ණා විජේකෝන්, නුවන් කොඩිකාර සහ සන්ධ්‍යා කරුණාරත්න

නව අදහස දක්වන්න