මේ වසරේ මුදල් මුද්‍රණය අඩු කරයි | දිනමිණ

මේ වසරේ මුදල් මුද්‍රණය අඩු කරයි

පසුගිය වසරට සාපේක්ෂව මුදල් මුද්‍රණය කිරීම මේ වසරේදී විශාල වශයෙන් අඩු කර ඇතැයි මහ බැංකු අධිපති  ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. 
 
ඔහු මේ බව කියා සිටියේ මුදල් මණ්ඩලයේ ප‍්‍රතිපත්ති පිළිබඳ තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවකට අද(24) එක්වෙමිනි.
 
පසුගිය වසර තුළදී රුපියල් බිලියන 341 ක මුදල් මුද්‍රණය කර ඇති බව සඳහන් කළ මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ මෙම වසරේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ රුපියල් බිලියන 47 ක් මුද්‍රණය කරනු ලැබූ බවයි.
 
එසේම තමාගේ වැටුප මසකට ලක්ෂ 4 ක් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. අසත්‍ය ප්‍රචාරවලට රැවටී ඇතැම් දේශපාලනඥයන් සහ මන්ත්‍රීවරුන් තම මසික වැටුප ගැන විවිධ අසත්‍ය ප්‍රකාශ සිදුකරන බවද කියා සිටියේය. 
 
රටේ වගකිව යුතු දේශපාලනඥයන් සහ මන්ත්‍රීවරුන් අසත්‍ය ප්‍රචාරවලට රැවටී ඒවා සත්‍ය ලෙස ප්‍රචාරය කිරීම පිළිබඳ තමන් කණගාටුවට පත් වන බවත් තමන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විශ්‍රාම වැටුපක් ලබා නොගන්නා බවත් ඔහු පැවසුවේය.
 
තමන්ට පෙර සිටි මහ බැංකු අධිපතිවරයා ඔහු ධුරයට පත්වන විට ලක්ෂ 1.5 කට තිබූ මහ බැංකු අධිපතිවරයෙකුගේ මාසික වැටුප රුපියල් ලක්ෂ 4 දක්වා වැඩිකර ගත් බවත් කැබිනට් මණ්ඩලයේ තනතුරක තත්ත්වයට ධුරය උසස් කරගෙන බදු ගෙවන්නන්ගේ සහ භාණ්ඩාගාරයේ මුදල්වලින් වෙනමම කාර්ය මණ්ඩලයක් සහ ආරක්ෂකයන් පත් කරගත් බවත් නන්දලාල් මහතා පෙන්වා දුන්නේය.
 

නව අදහස දක්වන්න