ශ්‍රී ලංකා ඇෆ්ගනිස්තාන එක්දින තරගාවලිය අද ඇරඹේ | දිනමිණ

ශ්‍රී ලංකා ඇෆ්ගනිස්තාන එක්දින තරගාවලිය අද ඇරඹේ

ප්‍රින්ස් ගුණසේකර

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සුපර් ලීග් එක්දින තරගාවලියට අයත් ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර එක්දින ක්‍රිකට් තරගාවලිය අද පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද පස්වරු 2.30ට ආරම්භ වන අතර, මෙම තරගාවලිය ලබන වසරේ ඉන්දියාවේදී පැවැත්වෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට කෙළින්ම සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව උදා කර ගැනීමට ශ්‍රී ලංකාවට හොඳ අවස්ථාවක් බවට පත්ව තිබේ.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සුපර් ලීග් ලකුණු සටහන අනුව ශ්‍රී ලංකාව 10 වැනි ස්ථානයේ සිටින හෙයින් මේ තරගාවලිය ශ්‍රී ලංකාවට තීරණාත්මක වී ඇත. දසුන් ශානක ඇතුළු පිරිවර මේ තරගාවලිය ජයගත හොත් ලකුණු සටහනේ පියවරක් ඉදිරියට යෑමේ අවස්ථාව උදා කර ගනී. එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සුපර් ලීග් ලකුණු සටහනේ මුල් කණ්ඩායම් අට ස්වයංක්‍රීයව සෘජු සුදුසුකම් ලබා ගනී. මේ වන විට ඇෆ්ගනිස්තානය එම ලකුණු සටහනේ 7 වැනි ස්ථානයේ හා බටහිර ඉන්දිය කොදෙව් පිල 8 වැනි ස්ථානයේ සිටී. ශ්‍රී ලංකාවට ඉහළින් 9 වැනි ස්ථානයේ අයර්ලන්ත පිල ඇත.

ඇෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකාව මෑතකදී කුතුහලය දනවමින් තියුණු අවසානයක් කරා ගිය තරග ගණනාවකට සහභාගී විය. පසුගිය ආසියානු කුසලාන පළමු තරගයේදී ඇෆ්ගනිස්තානය පහසුවෙන් ශ්‍රී ලංකාව පරාජය කිරීම තැතිගන්වන සුළු විය. එම තරගාවලියේදීම සුපිරි හතර වටයේදී ශ්‍රී ලංකාව විශිෂ්ට පිබිදීමකින් ඇෆ්ගනිස්තානය පරාජය කළේය. ඔස්ට්‍රේලියාවේ නිමා වූ විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව නැවත වරක් පෙරැළිකාර ආසියානු ප්‍රතිවාදියා වූ ඇෆ්ගනිස්තානය, බ්‍රිස්බේන් ගැබා ක්‍රීඩාංගණයේදී කඩුලු 6කින් පරාජය කළේය.

ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය මෙතෙක් අන්තර්ජාතික එක්දින ක්‍රිකට් තරග 4කට සහභාගී වී ඇති අතර, එයින් වැඩි වාසි ශ්‍රී ලංකාව හිමි කර ගෙන තිබේ. ශ්‍රී ලංකාව තරග 3කින් ජය ගනිද්දී ඇෆ්ගනිස්තානය තරගයක ජය වාර්තා කළේය. මේ සියලු තරග මධ්‍යස්ථ ක්‍රීඩාංගණවලදී පවත්වා තිබීම විශේෂත්වයකි. දෙරට අතර අවසන් වරට එක්දින තරගයක් පැවැතියේ 2019 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී එංගලන්තයේ කාඩිෆ්හීදී වන අතර, එම තරගයේදී ලකුණු 34ක ජයක් ශ්‍රී ලංකාවට හිමි විය.

මෙවර ශ්‍රී ලංකා එක්දින සංචිතයට තුන් ඉරියව් ක්‍රීඩකයන් දෙදෙනකු වන ධනංජය ලක්ෂාන් සහ දුනිත් වෙල්ලාලගේ යළි කැඳවා ඇත. කෝල්ට්ස් ක්‍රීඩා සමාජය නියෝජනය කරන 19 හැවිරිදි වෙල්ලාලගේ සහ 24 හැවිරිදි ධනංජය ලක්ෂාන් යන දෙදෙනාම පසුගියදා නිමා වූ ප්‍රධානතම අන්තර් ක්‍රීඩා සමාජ තුන්දින ක්‍රිකට් තරගාවලියේදී තුන් ඉරියව් දක්ෂතා දැක්වීමට සමත්වීමෙන් තේරීම් කමිටුවේ වැඩි අවධානයක් දිනා ගත්හ.

ඇෆ්ගනිස්තානය වෙනුවෙන් තවමත් එක්දින වරම් හිමිකරගෙන නැති වමත් දඟ පන්දු යවන ක්‍රීඩක නූර් අහමඩ් කැඳවා තිබීම විශේෂත්වයකි. 17 හැවිරිදි නූර් අහමඩ් ඇෆ්ගනිස්තානය නියෝජනය කළ එකම විස්සයි20 තරගයේදී කඩුලු 4ක් දවා ගනිමින් දස්කම් දැක්වීමට සමත් විය. පසුගිය පෙබරවාරි මාසයෙන් පසුව එක්දින කණ්ඩායමට ක්‍රීඩා නොකළ හිටපු නායක මොහොමඩ් නබී සහ එක්දින තරග 72කට ක්‍රීඩා කොට ඇති තුන් ඉරියව් ක්‍රීඩක ගුලබ්දීන් නයිබ් සංචිතයට කැඳවා ඇත.

“සති දෙකක් තිස්සේ අපි පුහුණු වෙනාවා. එක්දින පිටියේ අත්දැකීම අඩු වුනත් අපට අලුත් දඟ පන්දු යවන්නන් ඉන්නවා. හොඳ සංකලනයක් තිබෙනවා. දුනිත් වෙල්ලාලගේ කලින් අපට හිටියා. දුෂ්මන්ත නැති එක අපට පාඩුවක්. ටික කලකින් පිටියට පිටියට පිවිසෙයි. ඇෆ්ගනිස්තානය හොඳ පිලක්. රෂීඩ් ඛාන් පිළිබඳ විශේෂ අවධානයක් තියෙනවා. පල්ලේකැලේ පිටියේ කාසියේ වාසිය ඉතා වැදගත්. ඒ ගැන විශේෂ දැක්මක් තිබෙනවා. චන්දිමාල් දිගටම සංචිතයේ සිටියා. ඔහුට හොඳ අවස්ථාවක් තියෙනවා” ඊයේ පැවති මාධ්‍ය හමුවේදී ලංකා එක්දින ක්‍රිකට් නායක දසුන් ශානක පැවසීය.

ශ්‍රී ලංකාව: දසුන් ශානක (නායක), පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, භානුක රාජපක්ෂ, දිනේෂ් චන්දිමාල්, අශේන් බණ්ඩාර, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මහේෂ් තීක්ෂණ, ධනංජය ලක්ෂාන්, ප්‍රමෝද් කුමාර රාජිත, කසුන් රාජිත, ළහිරු කුමාර, ප්‍රමෝද් මධුෂාන් සහ අසිත ප්‍රනාන්දු.

ඇෆ්ගනිස්තානය: හෂ්මතුල්ලා ෂාහිඩි (නායක), රහමට් ෂා (උප නායක), රහ්මානුල්ලා ගුර්බාස් (කඩුලු රකින්නා), ඊබ්‍රහිම් සද්‍රාන්, රියාස් හසන්, නජිබුල්ලා සද්‍රාන්, ෂහිදුල්ලා කමල්, ඉක්‍රම් අලිඛිල්, මොහොමඩ් නබි, ගුල්බදින් නයිබ්, රෂීඩ් ඛාන්, මුජිබ් උ රහ්මාන්, සියා උ රහ්මාන්, රහ්මන් අක්බර්, නූර් අහමඩ්, ෆසාල් හක් ෆාරුකී, ෆරීඩ් අහමඩ්, යාමීන් අහමඩ්සායි, නජීට් මෂූඩ්, අසමතුල්ලා ඔමර්සායි, කායිස් අහමඩ්, ඉබ්‍රහිම් අබ්දුල්රාහිම්සායි, අබ්දූල් රහ්මාන්, සරෆුයුඩීන් අෂ්රාෆී සහ බාහීර් ෂා මහබූබ්.


භානුක ඉවත් වෙයි

මේ තරගාවලියට එක් වන ශ්‍රී ලංකා සංචිතය සඳහා නම් කර සිටි මැද පෙළ පිතිකරු භානුක රාජපක්ෂ සංචිතයෙන් ඉවත් වී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ භානුක සංචිතයෙන් ඉවත් වීම සඳහා ඉල්ලීමක් සිදු කළ බැවින් ඒ සඳහා අනුමැතිය දුන් බවයි. එක්දින තරග පිටියෙන් විවේකයක් ගැනීමේ අරමුණින් ඔහු මෙලෙස සංචිතයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව සඳහන් වේ.

කෙසේ වෙතත් භානුක අබුඩාබියේ පැවැත්වෙන දහයයි10 ක්‍රිකට් තරගාවලියට ද එක්වීමට නියමිත අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔහුට ඊට එක් වීමට අනුමැතිය දී නැති බවට වාර්තා විය.

නව අදහස දක්වන්න