වෙළෙඳ නාවික ක්‍ෂේත්‍රයේ නව අවස්ථා ප්‍රවර්ධනයට බංග්ලාදේශය සමඟ සාකච්ඡාවක් | දිනමිණ

වෙළෙඳ නාවික ක්‍ෂේත්‍රයේ නව අවස්ථා ප්‍රවර්ධනයට බංග්ලාදේශය සමඟ සාකච්ඡාවක්

කොළඹ වරායේ, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, කොළඹ ජාත්‍යන්තර බහලු පර්යන්ත සමාගම, සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල් සමාගම යන සමාගම් හා ආයතනයන් හී ඉහළ මට්ටමේ නිලධාරීන් පිරිසක් බංග්ලාදේශයේ නාවික කර්මාන්තයේ යෙදෙන්නන් හා නාවික සේවා සපයන්නන්ගේ අවශ්‍යතා පිළිබඳ සොයා බැලීම හා ඒ පිළිබඳව සකච්ඡා කිරීම වෙනුවෙන් සංචාරයක නිරත විය.
 
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කීත් ඩී. බර්නාර්ඩ් මහතා මෙම දූත පිරිසෙහි ප්‍රධානත්වය දැරුවේය.
 
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමණාකාර අධ්‍යක්‍ෂ උපුල් ජයතිස්ස, අධ්‍යක්‍ෂ (මෙහෙයුම්) ලාල් වීරසිංහ, වැ.බ. අධ්‍යක්‍ෂ (ව්‍යාපාර ප්‍රවර්ධන හා මාධ්‍ය) සරත් දයානන්ද, සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රොමේෂ් ඩේවිඩ්, කොළඹ ජාත්‍යන්තර බහලු පර්යන්ත සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජැක් හුවැංග් සහ එහි ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී (වාණිජ හා ව්‍යාපාර ප්‍රවර්ධන) කැත්‍රියෝනා ජයසුන්දර යන මහත්ම මහත්මීන් සහභාගී විය.
 
මෙම සංචාරය සඳහා වූ පසුබිම සකස් වන ලද්දේ ඉතා මෑතක දී ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති හා ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් තාරික් මොහොමඩ් අරිෆුල් ඉස්ලාම් මහතා සමග කොළඹ වරාය පරිශ්‍රයේදී සිදු වූ විශේෂ හමුවීම ය.
 
මෙම සංචාරය තුළ දී දූත පිරිස විසින් බංග්ලාදේශයේ වෙළඳ නාවික ක්‍ෂේත්‍රයේ නිරත උසස් මට්ටමේ විවිධ පාර්ශවකරුවන් සමග සාකච්ඡා කළේය. එහි දී කොළඹ වරාය හා චිතගොං වරාය අතර වෙළඳ සම්බන්ධතාවයන් වැඩි දියුණු කර ගැනීමට හා ඒ තුළින් බංග්ලාදේශ වෙළඳ පාර්ශවකරුවන්ගේ වැඩි ආකර්ශනය තුළින් කොළඹ වරායේ බහලු මෙහෙයුම් ධාරිතාවය වර්ධනය කර ගැනීම පිළිබඳව සාකච්ඡා කෙරිණි.

නව අදහස දක්වන්න