ගොවි පරපුර බලගන්වන කාගිල්ස් ‘සරුබිම’ | දිනමිණ

ගොවි පරපුර බලගන්වන කාගිල්ස් ‘සරුබිම’

වේගයෙන් වර්ධනය වන ගොවි සාමාජික ජාලය සහ තිරසර වෙ‍ෙළඳපොළක් ගොඩනැඟීමට සිදු කරන ආයෝජන සමඟ කාගිල්ස් මේ වන විට රට පුරා ගොවීන් දහස් ගණනකගේ ජීවිත ඉහළ නංවා ඇත. ගොවියන්ගෙන් ඍජුව මිල දී ගැනීම් සිදු කළ හැකි එකතු කිරීමේ මධ්‍යස්ථාන සහ ශීතකරණ සහිත ට්‍රක් රථ සහ අනෙක් කටයුතු සඳහා සිදු කරන ආයෝජන හරහා කාගිල්ස් කෘෂි මෙහෙයුම් ජාලය දේශයේ සාර්ථකම ඇගයුම් දාමයක් බවට පත්ව ඇත.

එය ලැබූ ජයග්‍රහණ අතරට එළවළු හා පලතුරු පසු අස්වනු නාස්තිය අවම කර ගැනීම, සැපයුම් දාමයෙන් මැදිහත්කරුවන් ඉවත් කර ගැනීම හරහා පාරිභෝගිකයින්ට හොඳම මිලක් සපයමින් ගොවියන්ට වැඩි මිලක් සහතික කිරීම වැනි දේ හැඳින්විය හැකියි.

කිරි සහ කෘෂි නිෂ්පාදන සාධාරණ මිලකට මිල දී ගැනීමට අමතරව කාගිල්ස් විසින් ගොවීන්ගේ කාර්යක්ෂමතාව, තත්ත්වය සහ තිරසාරකත්වය ඉහළ නැංවීම හරහා ගොවියන්ගේ ජන ජීවිත නඟා සිටුවමින් සාම්ප්‍රදායික ගොවියන් කෘෂි ව්‍යවසායකයින්ගේ තලයට ඔසවා තබා ඇත.

2008 වසරේදී කාගිල්ස් විසින් ‘සරුබිම’ ගොවි සුබසාධන පදනම තණමල්විලදී ස්ථාපිත කරන ලදි. මේ හරහා ගොවීන්ගේ අස්වැන්නෙන් සෑම කිලෝ එකකට ශත 50 බැගින් ගොවීන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා වන ශිෂ්‍යත්ව වැඩසටහනකට බැර කෙරිණි. මෙම ශිෂ්‍යත්වය 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගයන්හි ඉහළ ප්‍රතිඵල දැක්වූ ගොවි පවුල්වල දරුවන් හට හිමි වේ. මෙම දායකත්වය අද දක්වාම ක්‍රියාත්මක වේ. එසේම මෙම පදනමෙන් කොටසක් ආරක්ෂිත පානීය ජලය සැපයීම සහ ග්‍රාමීය පාසල්වල ක්‍රීඩාංගණ සෑදීම වැනි ව්‍යාපෘති සඳහාද වෙන් කෙරේ.

මෙම වසරේදී අධ්‍යාපන විශිෂ්ටතාව දැක්වූ ගොවි පවුල්වල දරුවන් සඳහා කාගිල්ස් සරුබිම පදනම හරහා රුපියල් මිලියන 25ක් වටිනා ශිෂ්‍යත්ව 774ක් පිරිනැමීමට නියමිතය. මෙම ශිෂ්‍යත්වලාභීන් අතරට 5 ශිෂ්‍යත්වය සමත් සිසුන් 194ක්ද, උසස් පෙළ සමත් සිසුන් 375ක්ද, විශ්ව විද්‍යාල සිසුන් 158ක්ද සහ වෘත්තීය පුහුණුව ලබන සිසුන් 47ක් ඇතුළත්ය. ඊට අමතරව ගොවීන් සඳහා සෞඛ්‍ය කඳවුරු, අක්ෂි සායන ආදිය ඇතුළත් ප්‍රජා සංවර්ධන ව්‍යාපෘතිද, ජල සැපයුම් සහ සනීපාරක්ෂන පහසුකම් ව්‍යාපෘති ආදී ග්‍රාමීය පාසල් සහ රෝහල් සඳහා ඉක්මනින් සැපයීමට අවශ්‍ය පහසුකම් සපයන ව්‍යාපෘතිද ක්‍රියාත්මක වීමට නියමිතය.

මෙම පදනමේ ආරම්භයේ සිට ගොවීන් සහ ළමුන්ට 2500කට වැඩි ශිෂ්‍යත්ව ප්‍රමාණයක් පිරිනමා ඇති අතර ජල පිරිසිදු කිරීමේ ව්‍යාපෘති, පාසල් පුස්තකාල සහ ග්‍රාමීය පාසල්වල සනීපාරක්ෂක පහසුකම් ඉහළ නැංවීම වැනි ප්‍රජා ව්‍යාපෘති 100 ක් පමණ සිදු කර ඇත. 2014 වසරේදී සරුබිම පදනම කාගිල්ස් එළවළු, පලතුරු සහ කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානවලටද ව්‍යාප්ත වූයේ රට වටා කෘෂි සහ කිරි ගොවියන් 20000 කට පමණ ප්‍රතිලාභ සලසමිනි.

2018 වසරේදී කාගිල්ස් සරුබිම, කෘෂි නව්‍යකරණ ව්‍යාපෘතියේ ඇරඹුමත් සමඟ ජාතික කෘෂි සංවර්ධනයට සිය දායකත්වය සැපයීම ආරම්භ කරන ලදි. මෙම ව්‍යාපෘතිය දේශගුණයට ගැළපෙන, ලාභදායී සහ පරිසර හිතකාමී නිෂ්පාදන ඇතුළත් නැවුම් නිෂ්පාදන මාලාවක ආදර්ශ ව්‍යාපෘතියක් වේ.

‘සරුබිම’ යනු ග්‍රාමීය කෘෂි සහ කිරි ගොවින් වෙනුවෙන් තිරසර වෙළඳපොළ ගොඩනැංවීමට, ධාරිතාවන් ඉහළ නැංවීමට සහ ඊළඟ ගොවි පරපුර නිර්මාණය කිරීමට කාගිල්ස්හි ඇති කැපවීමේ කැඩපතයි.

සාරවත් නොමැති පසකින් සාරවත් අස්වැන්නක් ලබා ගැනීමට නොහැකිය. එසේම තිරසර කෘෂිකර්මාන්තයක් වෙනුවෙන් ගොවියන් සිය භූමිය රැකගත යුතුය, පෝෂණය කළ යුතුය, එය මතු පරපුර වෙනුවෙන් පණ මෙන් රැක ගත යුතුය.

නව අදහස දක්වන්න