එ.ජා.ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වයට ඉන්දියාවට බ්‍රිතාන්‍යය සහාය | දිනමිණ

එ.ජා.ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වයට ඉන්දියාවට බ්‍රිතාන්‍යය සහාය

ඉන්දියාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය පිරි නැමීම සඳහා බ්‍රිතාන්‍ය රජයේ සහාය ලැබී ඇතැයි වාර්තා වේ. ඉන්දියාවට පමණක් නොව ජර්මනිය, ජපානය සහ බ්‍රසීලයට ද ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය හිමි විය යුතු බව බ්‍රිතාන්‍යයේ අදහස වී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

පසුගියදා පැවැති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී බ්‍රිතාන්‍යය නැවත නැවතත් අවධාරණය කර ඇත්තේ ඉහත කී රටවලට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය පිරිනැමිය යුතු බවය.

එම රටවල් නිත්‍ය හා නිත්‍ය නොවන ආකාරයෙන් කාණ්ඩ දෙකක් යටතේ සාමාජිකත්වය පිරිනැමීමට බ්‍රිතාන්‍යය යෝජනා කර ඇති අතර, වාර්ෂික විවාදයේදී බ්‍රිතාන්‍යය මේ බව සඳහන් කර තිබේ.

බ්‍රිතාන්‍යය දිගු කාලයක සිට එම ඉල්ලීම සිදු කරමින් සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බ්‍රිතාන්‍ය නිත්‍ය තානාපතිනිය බාබරා වුඩ්වර්ඩ් අවධාරණය කර තිබේ. ඇය කියා ඇත්තේ අපගේ ස්ථාවරය පිළිබඳ වැඩිදුර පැහැදිලි කිරීමක් අවශ්‍ය නොවන බවය. එමෙන්ම ආරක්ෂක කවුන්සිලයේ ස්ථීර අප්‍රිකානු නියෝජනයක් සඳහා සහාය දීමට ද බ්‍රිතාන්‍යය ඉදිරිපත් වන බව ඇය ප්‍රකාශ කර තිබේ.

 

නව අදහස දක්වන්න