චීනයේ කොවිඩ් ඔඩු දුවයි | දිනමිණ

චීනයේ කොවිඩ් ඔඩු දුවයි

කොවිඩ් වසංගතය තුරන් කිරීමේ අරමුණින් ‘කොවිඩ් ශූන්‍ය‘ ජාතික ප්‍රතිපත්තිය හඳුන්වා දෙමින් චීනයේ ජනතාවට දැඩි නීති කොන්දේසිමාලාවක් පැනවීමට එරට රජය කටයුතු කළ ද, අනපේක්ෂිත අයුරින් කොවිඩ් වයිසරය නැවත වරක් ඉතා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ.

වයිරසය තුරන් කිරීම සඳහා සැලසුම් කර ඇති දැඩි ක්‍රියාමාර්ග අපතේ හරිමින් මීට වසර දෙකකට පෙර කොවිඩ් වසංගතය පළමුවරට අනාවරණයවීමෙන් පසු එක් දිනක් තුළ එරට ඉහළම කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව පසුගිය බදාදා වාර්තා වී ඇත. බීජිං අගනුවර සහ දකුණු චීනයේ ප්‍රධානතම වෙළෙඳ මධ්‍යස්ථානය වන ගුවැංෂූ නුවර ඇතුළු තවත් නගර ගණනාවකින් එදින එකවර වාර්තා වූ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 31,527ක් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

කොවිඩ් ශූන්‍ය කිරීමේ ප්‍රතිපත්තියට අනුව පසුගිය අප්‍රේල් මාසයේදී එරට ප්‍රධානතම වෙළෙඳ නගරය වන ෂැංහායි නුවර සම්පූර්ණයෙන්ම අගුළු දමා සිදු කළ දැවැන්ත මෙහෙයුමට හේතු වූයේ එවකට එම නගරයෙන් එකවර කොවිඩ් රෝගීන් 28,000ක් වාර්තා වීම හේතුවෙනි. එහෙත් පසුගිය බදාදා චීන රජය බලාපොරොත්තු නොවූ ආකාරයෙන් එතෙක් මෙතෙක් වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වීමෙන් එරට සාමාන්‍ය ජන ජීවිතය නැවත වතාවක් දැඩි ව්‍යාකූලත්වයට පත්ව ඇතැයි ද වාර්තා වේ.

එක දිගට අඛණ්ඩව ෂැංහායි නුවර ඇතුළු තවත් විශාල නගර ගණනාවක් අගුළුලෑමෙන් චීන රජය කෙරෙහි එරට ජනතාව අතර පැතිරී ගිය දැඩි අප්‍රසාදය හමුවේ වුවද කොවිඩ් මර්දනයට දැඩි පියවර ගත් ජනාධිපති ෂී ජින්පින්ට දෛනික රෝගීන් එතරම් විශාල සංඛ්‍යාවක් වාර්තා වීම දරුණු හිසරදයක් බවට පත් වී ඇතැයි ද වාර්තා වේ.

මේ ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා වූයේ කොවිඩ් වසංගතය මුළුමනින්ම තුරන් කරමින් එරට බිඳ වැටුණු ආර්ථිකය නැවත ගොඩ ගැනීමට චීන රජය ගත හැකි සෑම පියවරක්ම ගෙන තිබෙන පසුබිමකදීය.

කෙසේ වෙතත්, ඉහළ යන රෝගීන්ගේ රැල්ල ද පැමිණ ඇත්තේ කොවිඩ් සීමාවන් තරමක් ලිහිල් කිරීමෙන් සති කිහිපයකට පසුවය.

එය සිය තුන්වැනි ධුර කාලය ආරම්භ කිරීමෙන් පසු ෂී ජින්පින් විසින් ගනු ලැබූ ප්‍රතිපත්තිමය පියවරකි. එසේ වූයේ කොවිඩ් හේතුවෙන් අගුළු දැමූ නගරවල ජනතාව චීන කොමියුනිස්ට් පක්ෂය කෙරෙහි දැඩි වයිරසයක් ඇති කර ගැනීම පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් චීනයට එල්ල වෙමින් ඇති විවිධ චෝදනා සහ පීඩනයට මුහුණ දීමට අවශ්‍ය පසුබිම සකස් කර ගැනීමේ අරමුණය. එහෙත් චීන ජනාධිපතිවරයා ඇතුළු රජය කොවිඩ් වසංගතයේ නවතම තත්ත්වය හේතුවෙන් මේ වන විට දැඩි අපහසුතාවට පත්ව සිටින බවත්, තවදුරටත් නගර අගුළු ලෑමට සහ පෙර නොවූ විරූ ආකාරයෙන් කොවිඩ් වසංගතය මර්දනය කිරීමට කටයුතු කිරීමට දැනටමත් තීරණය කර ඇතැයි ද වාර්තා වේ.

කැලුම් රොෂාන්ත

නව අදහස දක්වන්න