පුරාවිද්‍යාත්මක වටිනාකම් රැසක් කැටි වුණු සියනෑවේ පෞරාණික උරුමය | දිනමිණ

පුරාවිද්‍යාත්මක වටිනාකම් රැසක් කැටි වුණු සියනෑවේ පෞරාණික උරුමය

ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයට අයත් අභිමානවත් සියනෑ කෝරලයේ මහර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඌරුවල් පේරුවේ පිහිටා ඇති ප්‍රාග් ඓතිහාසික පුදබිමක් ලෙස පිළිකුත්තුව රාජ මහා විහාරය හඳුන්වා දිය හැකිය. මේ විහාරය මෙරට ලෙන් විහාර සාම්ප්‍රදාය තුළ අනභිභවනීය වැදගත්කමක් උසුලන ඓතිහාසික බෞද්ධ පුදබිමකි. පුරාවිද්‍යාත්මක වටිනාකම් රැසක් උර දරා සිටින සුවිශේෂ ස්ථානයකි.

කොළඹ - නුවර මහා මාර්ගයේ මිරිස්වත්ත හන්දියෙන් වතුරුගම මාර්ගයේ කිලෝමීටර හතරක් පමණ දුරින් වූ පිළිකුත්තුව හන්දියෙන් වමට හැරී කිලෝමීටරයක් පමණ ගමන් කළ විට මෙන්ම, ගම්පහ කිරිඳිවැල බස් මාර්ගයේ යක්කළ හන්දියෙන් කිලෝමීටර තුනක් පමණ ගිය විටද මේ ඓතිහාසික පිළිකුත්තුව රාජ මහා විහාරයට ළඟා විය හැකිය. මේ පෞරාණික පින්බිමට උතුරින් යොන්ගම්මුල්ල ග්‍රාමය හා වාරණ විහාරය සහිත කඳුවැටියත්, දකුණින් වළගම්බා රාජ මහා විහාරයත්, නැඟෙනහිරින් මාළිගාතැන්න ඓතිහාසික පුදබිමත් පිහිටා ඇත.

අඩි 400-450ක් පමණ උස් කඳු ගැටයක් පුරා අක්කර 250කට වඩා වැඩි භූමි ප්‍රමාණයක පැතිරී තිබෙන මේ පුදබිම, පහතරට නිවර්තන තෙත් කලාපයට අයත්ය. එයින් අක්කර 52ක ප්‍රමාණයක් රාජ මහා විහාරයට හා ස්මාරක සඳහා අයත්ව පවතී. පුදබිමට පැමිණෙන විටම තුරුලතාවලින් සුසැදි සිසිල් පරිසරයක ආශ්වාදය විඳ ගැනීමට හැකියාව ලැබේ. මෙහි මධ්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 2000-2500 ත් අතර ද මධ්‍ය වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් අංශක 20 - 27ත් අතර පවතී. පාංශු වර්ගීකරණය ගත් විට මේ ප්‍රදේශයේ කබොක් මිශ්‍ර ලැටරයිට් පස පවතී. උද්ගත ලොකු, කුඩා පාෂාණ ප්‍රදේශය පුරාම බහුලව දැක ගත හැකිය. නොයෙක් හැඩතලවලින් යුත් පර්වත හා ගල්කුළුවලින් ද මේ ප්‍රදේශය සමන්විතය. එමෙන්ම, ස්වාභාවික ජල මූලාශ්‍රය හා වර්ෂා ජලයෙන් පෝෂණය වන මේ ප්‍රදේශයේ විවිධ භෝග වගා සිදු කරයි. පර්වතය සහිත උස් බිම් කැලෑවේ ගහණ විවිධ ශාක වර්ගවලින් ද, ඖෂධ පැළෑටිවලින් ද මෙහි පරිසරය සමන්විතය. එපමණක් ද නොව, විවිධ පක්ෂීන්, සිවුපාවන් මෙන්ම උරගයන්ද මේ පුරාවිද්‍යාත්මක භූමිය උරුම කරගෙන සිටිනු දැකිය හැකිය.

ගල් ලෙන් එකසිය තුනක්

පිළිකුත්තුව යන නාමය පටබැඳි ආකාරය පිළිබඳ විවිධ ජනප්‍රවාද පවතී. සත්ද්‍රවිඩ හා තීය බමුණාගේ ආක්‍රමණය හමුවේ අනුරාධපුරයෙන් පලා ආ වට්ඨගාමිණී අභය හෙවත් වළගම්බා රජු මලය දේශයට පලා ගිය බව මහාවංශය සඳහන් කරයි. පුරාණ බෙදීම්වලට අනුව මේ පුදබිම ද මලය රටට අයත් විය. රජු එහිදී වසර 14යි මාස 7ක් සැඟව සිට සේනා සංවිධානය කළ එක් ස්ථානයක් වශයෙන් මේ පුරාණ භූමිය හැඳින්විය හැකිය. මේ ප්‍රදේශය අවට ඝන වනාන්තරයේ සැඟවී සිටි වළගම්බා රජුගේ හා බිසවගේ පිළි සැඟවූ ස්ථානය වශයෙන් ද ( පිළි+ගුප්තුව = පිළි+ගුත්තුව= පිළි+කුත්තුව =පිළිකුත්තුව), වළගම්බා රජුට ඇඳුම් පිළි සැපයූ පිළි කොටුව, ආරච්චි කොටුව, මල් කොටුව, හාල්පන් කොටුව හා බිලිගහ කොටුව යන කොටු පහ එකතුවී, පිළිකොටුව යන නම ද, පසුව පිළිකොත්තුව අවසානයේ පිළිකුත්තුව වූ බවද මේ ගමට නම් පටබැඳීම සම්බන්ධයෙන් ප්‍රවාදගත කතාන්දර ජන සමාජයේ සාක්ෂ්‍ය දරයි.

කෙසේ වුවද අක්කර 200ක පමණ භූමි භාගයක කටාරම් කෙටූ හා කටාරම් නොකෙටූ ගල් ලෙන් 103කින් පමණ සමන්විත පිළිකුත්තු රාජ මහා විහාරය මූලික කර සංවර්ධනය වූ පුරාවිද්‍යාත්මක උරුම රාශියකින් සමන්විත ඓතිහාසික වනගත සෙනසුනකි. සව් කෙලෙසුන් නසා අරහත්වයට පත් මහරහතන් වහන්සේගේ පුණ්‍ය පාදස්පර්ශයෙන් පවිත්‍ර වූ ක්ෂේම භූමියක් වශයෙන් ද පිළිකුත්තු ඓතිහාසික පින්බිම හැඳින්විය හැකිය. ක්‍රි.පූ 3 වැනි සියවසේ දී දේවානම්පියතිස්ස රජ දවස ලක්දිව බුදු සසුන මුල් බැස ගන්නා ලදුව, එතෙක් කලක් වනගතව තිබූ ගල් ගුහාවලට ජලය කාන්දු නොවන අයුරින් කටාරම් කොටා රජවරු විසින් පැවිදි රහත් උතුමන්ට ගල් ලෙන් පූජා කරන ලදි. ලංකාවේ එලෙස පූජා කෙරූ විශේෂිත ගල් ලෙන් සංකීර්ණයක් වන්නේ පිළිකුත්තු ඓතිහාසික රාජ මහා විහාරයයි. බස්නාහිර පළාතේ පිහිටි විශාලතම ගල් ලෙන් සංකීර්ණය වශයෙන් ද මෙය ඉතිහාසගත වන්නේ ඒ නිසාය.

ශ්‍රී ලංකාව තුළ සෙල්ලිපි, ලෙන් ලිපි, ටැම් ලිපි, පුවරු ලිපි වශයෙන් ඒවා ලියා තැබූ ස්ථාන අනුව වර්ගීකරණය කෙරෙයි. ඒ අනුව පිළිකුත්තු පෞරාණික භූමියේ පවතින්නේ ගල් ලෙන්වල කටාරමට යටින් කොටා ඇති පූර්ව බ්‍රාහ්මීය අක්ෂර සහිත ලෙන් ලිපි හතරකි. එම පූර්ව බ්‍රාහ්මීය අක්ෂර ක්‍රි.පූ 2-1 අවධියේදී භාවිත වූ අක්ෂර වර්ගයක් බව නූතන පුරාවිද්‍යාවේ පිළිගැනීමය.

1 වැනි ලෙන් ලිපිය

පිළිකුත්තුව පූජා භූමියට පැමිණ වම් පසට ඇති ගල් මුල්වලින් හෙබි කැලෑ මාර්ගයේ මීටර 400ක් පමණ ගිය පසු පළමු ලෙන් ලිපිය අයත් 39 වැනි ලෙන හමු වෙයි. මේ ලෙන් ලිපියෙන් පිළිකුත්තුව ඓතිහාසික පුදබිමේ ආරම්භය පිළිබිඹු කරයි. ක්‍රි.පූ 3-1 අවධියේ දී මෙය ලියා ඇති බව ප්‍රකටය. සෙල් ලිපියේ වාක්‍ය ලියා ඇති ආකාරය අනුව, මෙවැනි ලිපි විරල බව පුරාවිද්‍යාඥයන්ගේ මතය වේ. එනම්, මුල් පෙළ දකුණේ සිට වමටත්, දෙවැනි පෙළ වමේ සිට දකුණටත් ලියා තිබේ. ලිපිය කර්මකාරක රීතියෙන් බ්‍රාහ්මීය අක්ෂරවලින් ලියා තිබේ. ශ්‍රී ලංකා පුරාවිද්‍යාවේ කැඩපත වූ මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීන්ගේ Inscription fOr Ceylon ග්‍රන්ථයේ අංක 1099 යටතේ පිළිකුත්තුවේ ප්‍රධාන ලෙන් ලිපිය කියවා ඇත්තේ, “අනිකටස බතුනො අගිබුතිනො දනෙ අගත අනගත චතුදිස සගස..” යනුවෙනි. එහි අර්ථය වශයෙන් “අශ්වාරෝහක ප්‍රධානියාගේ සොහොයුරු අග්ගිභූතිගේ දීමනාවයි. එය පැමිණි නොපැමිණි සිව් දිසාවෙන් වඩින මහා සංඝයා වහන්සේ සඳහාය” යන්න දක්වා තිබේ.

2 වැනි ලෙන් ලිපිය

මෙය පූජා භූමියට පැමිණ වම් පස ඉදිරියෙන් ඇති පුරාවිද්‍යා කාර්යාලය තිබෙන ගල් ලෙනේ කටාරමට යටින් කොටා තිබේ. මෙය කුඩා ලිපියකි. ක්‍රි.පූ. 3-1 අවධියේදී බ්‍රාහ්මී අක්ෂරවලින් ලියූ මෙහි දක්වා ඇත්තේ “මනොරමෙ” යනුවෙනි. එහි අර්ථය මනරම් යන්නයි.

3 වැනි ලිපිය

මේ ලිපිය චෙත්‍ය අසලින් ඇති ගල් කටාරම මැදින් උඩට මීටර 200ක් පමණ දුරක් ගිය පසු හමුවන 28 වැනි ලෙනේ කටාරමට යටින් කොටා තිබෙනු දැකිය හැකිය. මේ ලිපිය ද ක්‍රි.පූ. 3-1 අවධියේදී බ්‍රාහ්මී අක්ෂරවලින් ලියූවකි. මෙහි දක්වා ඇත්තේ “දඛිණි ලෙනෙ” යන්නයි. එනම් “දකුණු පැත්තේ ලෙන” යන අදහසය. මේ ලිපිය සහිත ලෙන පුරාවිද්‍යා කැණීම්වලට ලක් කළ ස්ථානයකි.

4 වැනි ලිපිය

පිළිකුත්තු ග්‍රාමයේ මැද චන්ද්‍රසේන මහත්මයාට අයත් ඉඩමක පූජා භූමියෙන් පිටත ගම මැද වෙනම ස්ථානයක පිහිටා ඇති හතර වැනි ලෙන් ලිපිය ද ක්‍රි.පූ. 3 -1 කාලයට අයත් පූර්ව බ්‍රාහ්මීය අක්ෂරවලින් ලියූවකි. “පරුමක පුරණ පුත දතශච බත මිතශච ලෙණෙ” යන්න එහි දක්වා තිබේ.” “ප්‍රධාන පූර්ණගේ පුත් වූද දත්තගේ සහෝදරයා වූද මිත්තගේ ලෙනයි” යන්න එහි අර්ථයයි. මෙය මෑතකදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් සිදු කළ කැණීම් මඟින් සොයාගෙන තිබේ.

පිළිකුත්තුවේ ඇති අභිලේඛන හතරෙන් ලෙන් ලිපි දෙකම පුද්ගල නාම සඳහන් වෙයි. ඒ අනුව රාජ්‍ය පාලනයට සම්බන්ධ වූවන් එදා පිළිකුත්තු ග්‍රාමවරයේ හෝ අවට ගම්දනව්වල සිටින්න ඇතැයි යන්න විද්වතුන්ගේ අප්‍රකට මතය වේ. ලෙන් ලිපිවල සඳහන් පරිදි අශ්වාරෝහක ප්‍රධානියා සහ ප්‍රධාන පූර්ණ යන මොවුන් ක්‍රි.පූ. 3-1 අවධිවල රාජ තාන්ත්‍රික පුද්ගලයන් ලෙස ක්‍රියා කර, ඓතිහාසික පිළිකුත්තු රාජමහා විහාරයේ උන්නතියට ඇප කැපවී ඇති බවටද නිගමනයකට එළඹිය හැකිය.

මේ භූමියේ කළ කැණීම් මඟින් හමු වූ ප්‍රධාන සාධක වන්නේ, ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් ආදි මානවයාගේ පොසිල හා ගල් ආයුධ මෙවලම් ආදියයි. එමෙන්ම ඔවුන් ආහාරයට ගත් ගොළුබෙලි කටු, සත්ත්ව ඇට කැබැලි මෙන්ම පොළොන්නරු හා දඹදෙණි යුගවලට අයත් කාසි හා කාල රක්ත මැටි වළං කැබැලි පවා හමු වී තිබේ.

මේ ආකාරයට ගල් ලෙන් 103ක් පමණ හමු වී තිබුණ ද ඒවායේ සුවිශේෂත්වය එකකින් එකකට වෙනස් වන අයුරු දැකිය හැකිය. මේ සුවිශාල ගල් ලෙන් ප්‍රමාණයක් හමුවීමෙන් අර්ථවත් වන්නේ, දහස් සංඛ්‍යාත වශයෙන් ස්වාමීන් වහන්සේ බවුන් වැඩ ඇති බවය. මීට වසර 100-200 පමණ පෙරාතුව මුල් කාලයේ දී පිළිකුත්තු රාජ මහා විහාරය අවට ඇති මාලිගාතැන්න, වළගම්බා, කොස්කඳවල ආදි රාජ මහා විහාර පහක් එකම විහාරස්ථානාධිපති කෙනෙක් යටතේ පාලනය වී තිබේ. පසුව ඒ ඒ විහාරස්ථානවලට වෙන් වෙන් වූ විහාරස්ථානාධිපතිවරු පත්ව ඇත.

ක්‍රිස්තු පූර්ව යුගයේ සිට මහනුවර යුගය දක්වා ඉතිහාසයකින් හා උරුමයන්ගෙන් සපිරි පිළිකුත්තු පුදබිමට අයත් තවත් පුරාවිද්‍යා ස්ථාන රාශියකි.

ඉන් අක්කර 2-3 පුරා විහිදී ඇති දකුණු ආසියාවේ විශාලතම මෙන්ම පැරැණිතම පුස්වැල තිබෙන්නේ ද පිළිකුත්තු පුරාභූමි පරිශ්‍රයේය. මෙය වසර 600ක් පමණ පැරැණි යැයි සැලකේ.

ක්‍රි. පූ. යුගයට අයත් කටාරම් කෙටූ ලෙන්

එමෙන්ම ඉපැරැණි ගල් ලෙනක් ආධාර කර ගෙන මැටියෙන් නිමවා ඇති චෛත්‍ය රාජයාණන්, පශ්චාත් නුවර යුගයට අයත් යැයි සැලකේ. එහි උස අඩි 17 අඟල් 3කි. ස්වාභාවික ගල් ලෙන වටදාගෙය සේ සලකා, සෑරදුන් එහි තනවා තිබීමද එහි ඇති විස්මිත නිමැවුමකි. ලෙන් විහාරය ඉදිරිපිට මහානුභාව සම්පන්න බෝධීන් වහන්සේ දෙනමකි. මේ බෝධීන් වහන්සේ කුමර හා කුමරි වශයෙන් හඳුන්වයි. මෙහි කුමර බෝධිය පහළ අතු දක්නට නොමැති වීමත්, කුමරි බෝධියේ පහළ සිට ඉහළට බෝ අතු විසිරී තිබෙනු දැකිය හැකි වීමත් විශේෂත්වයකි.

පිළිකුත්තු රාජ මහා විහාරයට අයත් ප්‍රධාන ලෙන් විහාරය ක්‍රිස්තු පූර්ව යුගයට අයත් කටාරම් කෙටූ ගල් ලෙනක් මූලික කරගෙන තැනූවකි. මෙහි, පශ්චාත් නුවර යුගයට අයත් මූර්ති කලාව තුළ මැටියෙන් තැනූ අඩි 7 අඟල් 5ක් උස හිටි පිළිමයකින් සහ අඩි 26ක් දිග සැතපෙන බුදු පිළිමයකින් සමන්විතය. මතු බුදු වන්නට පෙරුම් පුරන නාථ දේව ප්‍රතිමාවකින් හා භයංකර ලීලාවෙන් නිමවා ඇති විෂ්ණු දේව ප්‍රතිමාව ද මේ ලෙන් විහාරය තුළ දක්නට ලැබේ. ශත වර්ෂයකට වඩා වැඩි කාලයකට එපිටදී කරවූ ලෙන් විහාරයක් හා විෂ්ණු දේවාලය ද මේ ප්‍රධාන ලෙන් විහාරයට දකුණු පසින් ඉහළින් දක්නට ලැබෙයි. එය උඩ විහාරය නමින් හඳුන්වයි.

මෙලෙස මූර්ති කලාව පමණක් නොව, චිත්‍ර කලා ලොවට ද පිළිකුත්තු පුදබිමෙන් දායාද කළ උරුම ද රැසකි. මහනුවර යුගයට අයත් ඕලන්ද ආභාෂයෙන් ලෙන් විහාරයේ සිත්තම් කර ඇති චිත්‍ර කලා ගණනාවක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් හඳුන්වා දී තිබේ. ඒ අනුව ඒවා ඇතුළු මාලයේ චිත්‍ර හා පිටත මාලයේ චිත්‍ර වශයෙන් වර්ග කළ හැකිය. ඇතුළු මාලයේ බිත්ති මත සිතුවම් කර ඇති 49ක් රහතන් වහන්සේගේ සිතුවම් අපූර්වත්වයකින් නුවර යුගයේ චිත්‍ර කලාව විචිත්‍ර කරවයි. ලෙන් විහාරයේ වහලය මත තිබෙන කළු ගල තුළ වියනක් සේ දහසක් සියපත් ද ඒ වටා අලංකාර ලියවැල් මෝස්තර ද සහිතව දීප්තිමත් වර්ණ සුසංයෝජනයකින් සිත්තම් නිම කරවා ඇත. හිටි බුදුරුවට වම් පසින් හා නාථ දේව ප්‍රතිමාවලට ඉහළින් මකර තොරණ ද ඊට ඉහළින් හිරු, සඳුද සිතුවම් කර තිබෙනු දක්නට ලැබේ. එමඟින් ගම්‍ය වනුයේ, හිරු - සඳු පවතින තුරු නාථ දෙවි පිහිට, ආරක්ෂාව පවතින බවයි. මාලගිරා, සැළලිහිණි යන පක්ෂීන් ද මනාව අලංකාර කර චිත්‍රණය කරවා තිබීමෙන් අර්ථවත් වන්නේ, කෝට්ටේ යුගයේ රචිත ගිරා සහ සැළලිහිනි සංදේශයේ දැක්වෙන පරිසර වර්ණනා හෙළි කිරීමට කලා ශිල්පියා ගත් උත්සහයයි. විහාරයේ ඔත් පිළිමය හා හිටි පිළිමය අතර භික්ෂුණීන් වහන්සේ සිව්දෙනකු සිතුවමට නඟා තිබේ. මෙලෙස බුදුමැදුරක් තුළ භික්ෂුණී සිත්තම් චිත්‍රණය කර ඇති ලංකාවේ එකම බුදු මැදුර ඇත්තේ පිළිකුත්තු පුදබිමේය.

චිත්‍ර සාම්ප්‍රදාය

පිටත මාලයේ ඇති චිත්‍ර සාම්ප්‍රදායන් පිළිකුත්තුවටම ආවේණික ඒවා බව පුරාවිද්‍යාඥයින්ගේ මතයයි. මෙහි ද්වාර පාලක රූප ලෙසට පෘතුගීසි සෙබළු දෙදෙනෙක් දක්වා තිබේ. මෙය බෞද්ධ පුදබිමක දක්නට ලැබෙන අතිශය දුර්ලභ සිතුවමකි. ද්වාරමණ්ඩපයේ ධර්මපාල ජාතකය, මහාකණ්හ ජාතකය මෙන්ම වෙස්සන්තර ජාතකය ද නිර්මාණශීලීව සිත්තම් කර ඇති අයුරු විචිත්‍රය. ලන්දේසි ආභාෂයෙන් මේවා සිතුවම් කර තිබේ. සරල රේඛීයව මනා වර්ණ සුසංයෝජනයෙන් යුක්තව නිමවා ඇති මේ සිතුවම්වලට ආරෝපණය කරවා ඇත්තේ ඕලන්ද ආභාෂයයි. පිටත මාලයේ මෙහි සිවිලිම ලෑලිවලින් නිර්මාණය කර ඇත. එහි ජ්‍යෝතිෂ්‍ය විද්‍යාවේ රාශි 12 සිත්තම් කර තිබීම විශේෂත්වයකි. අපාය සතර ද චිත්‍රයට නඟා, වරදට දෙන දඬුවම් ද සිත්තම් කර තිබේ. එමෙන්ම පිටත ඇඳ ඇති කාන්තා රූපවල උඩු කය නිරුවත්ව පියයුරු නොපෙන්වා ඉතා සංයමයෙන් යුතුව ඇඳ ඇති අයුරු දැකිය හැකිය. මේ බිතුසිතුවම් බිම්මට්ටමේ සිට අඩියක පමණ පරතරයක් තබා සිතුවම් කර තිබේ. ඒත්, ඈත අතීතයේදී බිම් මට්ටමේ සිටම චිත්‍ර ඇඳ තිබෙන්න ඇතැයි ද, මැටි බිත්තියේ සිතුවම් කර ඇති නිසා ජල අවශෝෂණය හේතුවෙන් එම සිතුවම් මැකී ගොස් ඇති බව ද පුරාවිද්‍යා නිලධාරීන් සඳහන් කරයි. මෙහි බදාම හා වර්ණ සකසා ගැනීමේදී සියල්ලක්ම ස්වාභාවික ද්‍රව්‍ය යොදාගෙන සකස් කර ඇති බව සඳහන් වෙයි. ක්‍රි.ව 1834දී මංගල හෙරියේ සිරියා නමැති චිත්‍ර ශිල්පියා විසින් මේ සිතුවම් ප්‍රතිසංස්කරණය කළ බව ජනප්‍රවාදයේ පවතී. පසුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පවරා ගැනීමෙන් පසුව ද වරින් වර සිතුවම් ප්‍රතිසංස්කරණය කර තිබේ.

මෙහි ධර්ම ශාලාව පියැසි තුනකින් සමන්විතය. ධර්මශාලාව මධ්‍යයේ පිරිත් මණ්ඩපය මනාව ඉදිකර තිබෙනු දැකිය හැකිය. ධර්මශාලාවට පිවිසීමට දොරටු අටක් පවතී. එමඟින් ආර්ය අෂ්ඨාංගික මාර්ගය අර්ථ නිරූපණය කරයි. මෙහි කැටයම් රහිත අර්ධ වෘත්තාකාර සඳකඩපහන් අටකි. එයින් තුනක් තනි ගලින් නිර්මාණය කර ඇත. අනෙක් පහ කොටස් දෙකකින් නිර්මාණය කර තිබේ.

එමෙන්ම 16 වැනි ගල් ලෙන අනුසාරයෙන් නිමවා ඇති ඉපැරැණි ආවාස ගෙය මීටර 14ක දිගකින් හා පළලින් යුක්ත වෙයි. එය ඕලන්ද ගෘහ නිර්මාණ ශිල්පයට අනුව පාදම උස්ව නිර්මාණය කර තිබේ. එබැවින් ආවාස ගෙට පිවිසිය යුත්තේ පඩි පෙළක ආධාරයෙනි. ලෙන්වල වැඩ වසන ස්වාමීන් වහන්සේ හමු වීම දුෂ්කර කටයුත්තක් වූ බැවින්, සමකාලීන ප්‍රභූන් විසින් මෙලෙස ආවාස ගෘහයක් සාදා, පූජා කරන්න ඇතැයි සිතිය හැකිය. එහි නිමවා ඇති ජනේල හා ඒ මත ඉදිකර ඇති ආරුක්කු, ඕලන්ද යුගයට අයත් යැයි සැලකෙයි.

සංරක්ෂිත දැව පාලම

උමං ජල මාර්ගය විවෘතව පවතින ස්ථානයක් හරහා ඉදි කර ඇති දැව පාලම ද පිළිකුත්තු පෞරාණික භූමියට එක් කරන්නේ නොමඳ විශේෂත්වයකි. දිග මීටර 4.20කින් ද, පළල මීටර 1. 28කින් ද යුක්ත වෙයි. ඊට අඩි දෙකකින් හා අගල් හතරකින් යුත් අත්වැටකි. මෙය ක්‍රි.ව. 1873දී පමණ නිර්මාණය කර ඇත. එය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් මෑතක දී සංරක්ෂණය කර තිබේ.

එපමණක්ද නොව, හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් පිළිකුත්තු රාජ මහා විහාරයට ධර්මදේශනයක් සඳහා දෝලාවෙන් වැඩම කර, පසුව දෝලාව එම ස්ථානයේ තබා තිරික්කලයෙන් ආපසු වැඩම කර තිබේ. මේ දෝලාවේ දිග අඩි 11කි. පෙට්ටියේ පළල දිග අඩි පහයි අඟල් හතරකි.මෙයින් ගම්‍ය වන්නේ ප්‍රභූන්ට අමතරව පූජනීය උත්තමයන් වහන්සේ ද ගමනාගමනය සඳහා දෝලාව භාවිත කළ බවය. මෙය 2011 වර්ෂයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් සංරක්ෂණය කර තිබේ.

පූජා භූමියට පැමිණෙන විටම දකුණු මීටර 21ක් පමණ දිග, මීටර 6.35ක් පළල, මීටර 18ක් පමණ ගැඹුරු පොකුණක් ද, දැව පාලමට මීටර 50ක් පමණ දුරින් උතුරේ සිට එන පැරැණි උමං ජල මාර්ගයකට සම්බන්ධ ප්‍රමාණයෙන් කුඩා වැවක් ද මෙහි දක්නට ලැබේ. මේ වැව සංඝයා වහන්සේගේ විවිධ අවශ්‍යතා සඳහා භාවිත වූවක් ලෙසද, කුඩා ප්‍රමාණයේ ගොවිතැන් කටයුතුවලට භාවිත කළ ගම් වැවක් ද විය. වළගම්බා හෙවත් වට්ඨගාමිණී අභය රජුට ගෞරවයක් වශයෙන් මේ වැවට ‘අභය වැව’ යැයි කියනු ලැබේ. මෙය පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් ආරක්ෂිත ස්ථානයක් ලෙස ප්‍රකාශ කර තිබේ.මේ ආකාරයට පිළිකුත්තු පුදබිමේ දැනට සොයාගෙන තිබෙන පෞරාණික ස්ථාන රාශියක් ඇත. සැඟවී ගිය උරුමයන් ද තවත් බොහෝමයක් ඇති බව ප්‍රකාශ කළ හැකිය. ඒවා සොයා ගැනීමේ කර්තව්‍යයට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව උර දී ඇති බව ද කිවමනාය. මෙහි ඇති පුරාවිද්‍යාත්මක සාධක අනුව නිදර්ශනය කළ හැක්කේ, ක්‍රිස්තු පූර්ව යුගයේ පටන් 21වන සියවස දක්වාම අඛණ්ඩව පිළිකුත්තුව පෞරාණික පුරාවිද්‍යා සිද්ධස්ථානය, පූජනීය ස්ථානයක් වශයෙන් ලංකා ධරණිතලයේ වැජඹෙන බවය.

(විශේෂ ස්තූතිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට)

ඉෂාරා සඳරේණු
කැලණිය විශ්වවිද්‍යාලය

නව අදහස දක්වන්න