හොඳ සැලැස්මක් ක්‍රියාත්මක කළ හොත් 50%ක් අලි මිනිස් ගැටුම විසඳා ගත හැකියි | දිනමිණ

හොඳ සැලැස්මක් ක්‍රියාත්මක කළ හොත් 50%ක් අලි මිනිස් ගැටුම විසඳා ගත හැකියි

ඇමැති මහින්ද අමරවීර

ඉදිරි වසර දෙක තුළදී අලි මිනිස් ගැටුම විසඳීම සඳහා වූ සැලැස්ම ක්‍රියාත්මක කළහොත් අවම ලෙස සියයට 50කින් අලි මිනිස් ගැටලුව විසඳා ගත හැකි බව කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ ඇමැති මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (02) ප්‍රකාශ කළේය.

දෙස් විදෙස් යෝජනා ලබා ගනිමින් අලි මිනිස් ගැටුමට විසඳුම් සොයන බව ද ඇමැතිවරයා පැවසුවේය.

අයවැය තුන්වැනි වර කියවීමේ විවාදයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

ඇමැති මහින්ද අමරවීර මහතා තවදුරටත් මෙසේද පැවසිය.

වනජීවි, වන සංරක්ෂණ අමාත්‍යාංශයත්, පරිසර අමාත්‍යාංශයත්, සංචාරක හා ඉඩම් අමාත්‍යාංශත් පිළිබඳ දීර්ඝ කාරණා රැසක් අද උදේ ඉඳලා සාකච්ඡාවට ලක් කළා. යෝජනා හා චෝදනා ගැන අවධානය අපි මෙහිදී යොමු කරනවා. මේ වගේ වාද විවාද සෑම වසරකදීම පැවැත්වෙනවා. අලි මිනිස් ගැටුම ප්‍රධාන කාරණාවක්. එමඟින් අලි මිනිස් ජීවිත බොහෝ සංඛ්‍යාවක් නැති වෙනවා. අලි 6000 කට වඩා සිටිනවා. මේක අපිට සම්පතක්.අලි මිනිස් ගැටුම සඳහා දීර්ඝ ලෙස සාකච්ඡා පවත්වා තිබෙනවා. ජනාධිපතිවරයා මේ ගැන සොයා බැලීමට කමිටුවක් ද පත්කර තිබෙනවා. දිස්ත්‍රික්ක 19 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 131 ක් සඳහා මේ අලි මිනිස් ගැටුම බලපා තිබෙනවා. අලි වැට මේ වන විට කිලෝමීටර් 4901 ක ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබෙනවා. තවත් කිලෝමීටර් 1500ක අලි වැට ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා මූල්‍ය ප්‍රතිපාදන ද ලැබී තිබෙනවා. ජනතාව සමඟ එක්ව අලි වැට සැකසීමට වැඩපිළිවෙළක් අපි සකස් කරගෙන යනවා. සේවක ගැටලු මේ කාලයේදී අප වෙත තිබෙනවා. සේවකයන් බඳවා ගැනීමට ද මේ කාලයේ දී අමාරුයි. එම නිසා ජනතාව සමඟ එක්ව අලි මිනිස් ගැටුම විසඳීම සඳහා අපි පියවර ගන්නවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගම්වලට දිනකට අලින් හතළිහක් පනහක් පමණ පැමිණෙනවා. අලින්ගේ භූමි අපි අත්පත් කරගෙන තිබෙනවා. විවිධ සංවර්ධන කටයුතු සඳහා අලින්ගේ භූමි අත්පත් කරගෙන සිටිනවා. මහවැලි ව්‍යාපාරයේ සිට මොරගහකන්ද ව්‍යාපාරය දක්වා ඉඩම් අත්පත් කරගෙන තිබෙන්නේ අලින්ගේ භූමි. හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනය සිදු කළ පර්යේෂණයකට අනුව මාස හයකට පොල් ගෙඩි මිලියන 93ක් වන සතුන්ගෙන් හානි වන බවට තහවුරු කරගෙන තිබෙනවා. වදුරා, රිලවා, ඉත්තෑවා, මොණරා, වල් ඌරා නිසා විශාල ලෙස වන හානි වෙනවා. සතුන් විනාශ කළ නොහැකියි. වන සතුන් බේරා ගෙන සංවර්ධන වැඩපිළිවෙළක් සකසා ගන්නා ආකාරය ගැන ගැන සාකච්ඡා කරමින් පවතිනවා.


අලි මිනිස් ගැටුම පාලනයට විද්‍යාත්මක වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි

මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන

 අලි මිනිස් ගැටුම පාලනය සඳහා විද්‍යාත්මක වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍ර‍ෙස්න මහතා මේ බව සඳහන් කළේ අය වැය කාරක සභා අවස්ථාවේ විවාදයට ඊයේ (02) සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එස් .එම්. චන්ද්‍ර‍ෙස්න මහතා මෙසේ ද පැවසීය.

මෙම ගැටලුවට වනජීවි දෙපාර්තමේන්තුවට හෝ එහි නිලධාරීන්ට පමණක් තනිව විසඳිය නොහැකියි. මේ වෙනුවෙන් විධිමත් වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි. ඒ අනුව සිවිල් ආරක්ෂක බළකාය, පොලිසිය, ප්‍රාදේශීය ලේකම් කාර්යාල මෙන්ම පළාත්වල ජනතාව ආදී සියලු දෙනා සම්බන්ධ කරගනිමින් මෙම වැඩපිළිවෙළ සකස් කළ යුතුයි.

වන අලි ප්‍රශ්නය කියන්නේ මේ වෙනකොට ජාතික ප්‍රශ්නය වගේ ප්‍රශ්නයක්. මගේ දිස්ත්‍රික්කය වන අනුරාධපුර ඇතුළු සෑම ප්‍රදේශයකටම මෙම ප්‍රශ්නය අද බලපා තිබෙනවා. වනජීවි ප්‍රශ්නය සම්බන්ධයෙන් අපි අවධානය යොමු කළ යුතුයි. නාගරික ප්‍රදේශවල ජනතාවට මේක තේරෙන්නේ නැහැ. ඒ අය බලන්නේ අලි ආරක්ෂා කරන්න විතරයි. අලි ආරක්ෂා කළ යුතුයි. නමුත් මේ ප්‍රශ්නය නිසා ග්‍රාමීය ජනතාව බොහොම බයෙන් ජීවත් වෙන්නේ. මේ අලි මිනිස් ගැටුම නිසා පසුගිය දිනක කැබිතිගොල්ලෑව පොලිසියේ නිලධාරියකු ඝාතනය කිරීමටත් ගම්වැසියන් කටයුතු කළා. අලි ගහනය එන්න එන්න වැඩි වෙනවා. ඒ වගේම කැලය අඩු වෙලා. මේ ප්‍රශ්නය විසඳීම සඳහා විද්‍යාත්මක වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි. මේක වනජීවි නිලධාරීන්ට, දෙපාර්තමේන්තුවට තනියම කරන්න බැහැ. වැඩපිළිවෙළක් සැකසිය යුතුයි. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, පොලිසිය මේ සියලුදෙනා එකතු කළ යුතුයි. වන අලියෙක් ගම් වැදුණම සිදු කරන හානිය අතිවිශාලයි. වනජීවි ප්‍ර‍ෙද්ශවල තිබෙනවා නටබුන් වූ වැව්.


නිලධාරීන්ට එරෙහිව පාර්ලිමේන්තුව තුළදී චෝදනා එල්ලවෙන නිසා ඒවාට පිළිතුරු දිය හැකි ක්‍රමයක් හදන්න

මන්ත්‍රී චමල් රාජපක්ෂ

පාර්ලිමේන්තුවට පැමිණ පිළිතුරු දිය නොහැකි නිලධාරීන්ට එරෙහිව පාර්ලිමේන්තුව තුළදී විවිධ චෝදනා එල්ල කරන බැවින් එල්ලවන චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු දිය හැකි ක්‍රමවේදයක් සකස් කරන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (02) ප්‍රකාශ කළේය.

චමල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේදී ඊයේ පැවැති අය වැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා මෙසේ ද පැවසීය.

රාජ්‍ය නිලධාරීන් ඇතුළු බොහෝ දෙනාට පාර්ලිමේන්තුව තුළදී මහජන නියෝජිතයින් විවිධ චෝදනා එල්ල කරනවා. අදාළ නිලධාරීන්ට පිළිතුරු දීමට නොහැකිවීම ඔවුන්ට සිදු කරන අසාධාරණයක්. එබැවින් එවන් ක්‍රමවේදයක් සකස් කරන්නැයි කථානායකවරයාගෙන් ඉල්ලා සිටිනවා.

පාර්ලිමේන්තුව තුළ විවිධ නිලධාරීන්ට චෝදනා සිදු කරනවා මම දුටුවා. රාජ්‍ය නිලධාරීන්ට චෝදනා කරනවා. මේ පාර්ලිමේන්තුවට ඇවිත් උත්තර දෙන්න බැරි නිලධාරීන්ට එරෙහිව ප්‍රකාශ කරන්න එපා. ඒ නිසා මේ එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් යම් ක්‍රමවේදයක් සකස් කරන්න. නිලධාරීන්ගේ පැත්තෙනුත් සාධාරණයක් විය යුතුයි. ඒ කියන්නේ මෙතෙන්ට ඇවිත් පිළිතුරු දිය නොහැකි නිලධාරින්ටත් සාධාරණයක් විය යුතු නිසා යම් ක්‍රමවේදයක් සකස් කරන ලෙස මම කථානායකවරයාගෙන් ඉල්ලා සිටිනවා.

නැත්තම් ඒ වෙනුවෙන් ක්‍රමවේදයක් සකස් කරන්න. ඒ වගේම අපේ දිස්ත්‍රික්කය තුළත් අලි මිනිස් ගැටුම තිබෙනවා. ඒ වගේම කොටියාගල, ඇතිමලේ වැනි ප්‍ර‍ෙද්ශවල ගවයින් විශාල පිරිසක් සිටිනවා. ඒ නිසා එක් ගොවි මහතෙකුට නඩත්තු කරන්න පුළුවන් තරම් ගවයින් සංඛ්‍යාවක් විතරක් ලබා දෙන්න. සමහර නිලධාරීන් තවත් බල ප්‍ර‍ෙද්ශයක භූමියට යන්න බයයි, විමර්ශන වෙනුවෙන්. නමුත් භූමිය මේ රටේනේ. ඒ නිසා මේවා වෙනුවෙන් වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි. අලි මිනිස් ගැටුම අපේ පළාත්වලත් තිබෙනවා. විශේෂයෙන්ම සූරියවැය ප්‍ර‍ෙද්ශයේ මේ තත්ත්වය තිබෙනවා.

රටේ ඉඩම් සම්බන්ධ වගකීම් එක් ආයතනයක් සතු විය යුතුයි. හම්බන්තොට දිස්ත්‍රික්කය අවට යාල, කිරින්ද ආදී ස්ථාන සංචාරක කර්මාන්තයට හොඳ ස්ථාන. කිරින්ද හොඳ පිහිනුම් නවාතැනක් ලෙස සංවර්ධනය කළ හැකියි.


අලි වැටවල් හදන්න යුද හමුදාවට භාර දෙන්න

මන්ත්‍රී සරත් ෆොන්සේකා

අලි වැටවල් සකස් කිරීමේ කාර්යය යුද හමුදාවට භාර දෙන්නැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (02) පැවසීය.

අය වැය තෙවැනි වර කියැවීමේ විවාදයේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කෙළේය.

තවදුරටත් ඇමැතිවරයා මෙසේ ද පැවසීය.

අලි වැට සැකසීම යුද හමුදාවට භාර දුන්න හොත් බඩු භාණ්ඩවලට යන මුදල හැර ශ්‍රමය සඳහා මුදලක් යන්නේ නැහැ. වසර තුනක් පමණ යන විට එය සම්පූර්ණයෙන්ම අවසන් කර ගත හැකියි.

අලි වැට ආරක්ෂා කිරීම සඳහා සිවිල් ආරක්ෂක හමුදාවේ සාමාජිකයන් යොදා ගන්න කියා ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

වනජීවි භාර ඇමැතිවරයා ලෙස තමන් කටයුතු කළ කාලයේ රුපියල් බිලියන 06ක ව්‍යාපෘතියක් ආරම්භ කළා. එවකට හිටපු ජනාධිපතිවරයා සහ නාමල් කුමාර කියන පුද්ගලයන්ගේ කුහකත්වය නිසා එය නතර වුණා.

වනජීවි අමාත්‍යාංශයට අය වැයෙන් මිලියන 420ක් වැඩිපුර ලැබිලා තිබෙනවා. වනජීවි අමාත්‍යාංශයේ ප්‍රධාන වගකීම වනජීවීන්ගේ පැවැත්ම ආරක්ෂ කිරීම, වනාන්තර ආරක්ෂා කිරීම, සීමා මායිම් හඳුනාගෙන නීති රීති ඇති කිරීම. වනජීවී අමාත්‍යාංශයේ සේවකයන් 1800ක් ඉන්නවා. ඉන්න ඕනෑ ගණන 4200යි. වනජීවී ජාතික උද්‍යාන 26ක් තිබෙනවා. වැඩිම දේශීය සංචාරකයන් එන්නේ විල්පත්තුවට. යාලේ ඇතැම් කලාපවලට අවශ්‍ය පහසුකම් නැහැ. මේ පිළිබඳ අවධානය යොමු කරන්න කියලා ඇමැතිවරයගෙන් ඉල්ලා සිටිනවා. 2016 අවුරුද්දේ වනජීවි දෙපාර්තමේන්තුවේ සංවර්ධනය කරන්න අවුරුදු 03ක සැලැස්මක් සකස් කළා. එවකට හිටපු ජනාධිපතිවරයා සහ නාමල් කුමාර කියන පුද්ගලයා නිසා එය ඇනහිටියා. අපි ඒ ව්‍යාපෘතිවල වටිනාකම බිලියන 06ක්. එයින් බිලියන 05ක් වනජීවී අරමුදලින් අරගෙන තමයි කරන්න සැලසුම් කළේ. අලි වැට කියන ප්‍රශ්නය යුද හමුදාවට භාර දෙන්න. එහෙම වුණාම මුදල් යන්නේ බඩු බාහිරාදියට පමණයි. ශ්‍රමයට මුදලක් යන්නේ නැහැ. ඔවුන් අවුරුදු 03ක් විතර යද්දී මේ ප්‍රශ්නය විසඳාවි. මම ඇමැති කාලේ වනජීවී නියාමකයන්ට ඇඳුමක් නිර්දේශ කළා. එයට මුදල් අනුමත වුණත් ක්‍රියාත්මක වුණේ නැහැ. ස්වේච්ඡා නියාමකයන් 300ක් පමණ ඉන්නවා. ඔවුන් ස්ථිර කරන්න කියන තැන අපිත් හිටියා. ඔවුන්ට ලැබෙන්නේ සොච්චම් මුදලක්. ඔවුන් ස්ථිර කරන්න කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිනවා. අලි මිනිස් ගැටුම විසඳුවොත් එය විසඳන කෙනාගේ නම රන් අකුරෙන් ලියවේවි. 2016 අලීන් 279ක්, පුද්ගලයන් 88 මිය ගියා. 2021 අලි 375ක් පුද්ගලයන්142ක් සහ මේ වසරේ මාස 11ට අලීන් 390 පුද්ගලයන් 125 ඝාතනය වෙලා තිබෙනවා. ස්වභාවිකව අලි මැරිලා තිබෙන්නේ සියයට 15යි. බහුතරයක් ඝාතනයන් සිදු වෙන්නේ. අලි ඝාතනය කරන පුද්ගලයන්ට දැඩි නීතිරීති ක්‍රියාත්මක කළ යුතුයි.


පාර්ලිමේන්තුවේ වාද විවාද නියමිත වේලාවට අවසන් නොවීමෙන් ගැටලු රැසක් මතු වෙනවා

ඇමැති ප්‍රසන්න රණතුංග

නියමිත වේලාවට පාර්ලිමේන්තු විවාද ආරම්භ නොවීමෙන් සහ විවාදය අවසන් නොවීමෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙන්ම පාර්ලිමේන්තුවේ සේවක සේවිකාවන්ට ද අසාධාරණයක් සිදුවන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (02) ප්‍රකාශ කෙළේය.

අය වැය තෙවනවර කියවීමේ විවාදයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය.

තවදුරටත් ඇමැතිවරයා මෙසේ ද පැවසීය.

පාර්ලිමේන්තුවේ කාලය කළමනාකරණය කිරීම සඳහා කථානායකවරයා අවධානය යොමු කළ යුතුයි.

නියමිත වේලාවට පාර්ලිමේන්තු විවාදය අවසන් නොවීම නිසාවෙන් පාර්ලිමේන්තු නිලධාරින්ට හා සේවක සේවිකාවන්ට නිවෙස්වලට යෑමේදී විශාල කාලයක් ගත වෙනවා. එමෙන්ම නියමිත වේලාවට විවාදය ආරම්භ නොවීම හේතුවෙන් විවාදවලට සූදානම්ව පැමිණෙන මන්ත්‍රීවරුන්ට කතා කිරීමට ලැබෙන අවස්ථාව අඩු වී ඔවුන්ට ද අසාධාරණයක් සිදු වෙනවා.

කාරක සභා අවස්ථාවේදී විවාදය උදෑසන 9.30ට ආරම්භ කිරීමටත් රාත්‍රී 7.00ට අවසන් කිරීමත් පක්ෂ නායක රැස්වීමේදී තිරණය කළා. නමුත් හැමදාම විවාදය ආරම්භ වෙන්න ප්‍රමාද වෙනවා. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 121 දෙනාටම කතා කරන්න වෙලාව තියෙන්නෙ විනාඩි 257යි. විපක්ෂයට විනාඩි 314ක් දෙනවා. ඒ අනුව ආණ්ඩු පක්ෂයට වඩා විපක්ෂයට වැඩිපුර විනාඩි 57ක් ලැබෙනවා. හැබැයි පහුගිය කාලයේ වෙලාවට විවාදය පටන් ගත්තේ නැහැ. නොවැම්බර් 23 වැනිදා විවාදය පටන් ගන්න විනාඩි 47ක් ප්‍රමාද වුණා. නොවැම්බර් 24 වැනිදා විනාඩි 25ක් පරක්කුයි. නොවැම්බර් 26 වැනිදා විනාඩි 6ක් පරක්කුයි. නොවැම්බර් 28 වැනිදා පැයයි විනාඩි 14ක් පරක්කුයි. විවාදය ආරම්භ කිරීම ප්‍රමාදවීම නිසා මන්ත්‍රීවරුන්ට ලොකු අසාධාරණයක් වෙනවා. මන්ත්‍රීවරුන් විනාඩි 10ක කතාවට සූදානම් වෙලා ආවත් වෙලාව අඩුවීම නිසා අවසානයේ මන්ත්‍රීවරුන්ට කතා කරන්න ලැබෙන්නේ විනාඩි 5ක් හෝ 6ක් පමණයි. ඒ නිසා උදේට විපක්ෂය වැඩිපුර කාලයක් ගන්නව නම් ඒක ඒ පැත්තෙන් අඩු කරන්න. අපේ පැත්තෙන් වැඩිපුර කාලයක් ගන්නව නම් ඒක අපේ පැත්තෙන් අඩු කරන්න. ඊයේ පාර්ලිමේන්තු විවාදය අවසන් වුණේ රාත්‍රී 7.20යි. නොවැම්බර් 28 වැනිදා විවාදය අවසන් වුණේ රාත්‍රී 7.10යි. නොවැම්බර් 29 වැනිදා විවාදය අවසන් වුණේ රාත්‍රී 7.41ට. මේ ප්‍රමාදය නිසා පාර්ලිමේන්තු සේවක සේවිකාවන් හා නිලධාරින්ට ලොකු අසාධාරණයක් වෙනවා. මේ අය යන්නේ බස් රථවල. විවාදය අවසන් වෙලත් අඩුම තරමින් පැය භාගයක්වත් මෙතන ඉන්න වෙනවා. පාර්ලිමේන්තුව උදේ 9.30ට පටන් ගන්න නිසා පහුවෙනිදා උදේ 8.30ට කලින් එන්න ඕනෑ. මේක අසාධාරණයක් නිසා කාලය කළමනාකරණය කර ගන්න කටයුතු කරන්න කියල ඉල්ලනවා.


රට දියුණු කළ හැකි හොඳම මාර්ගය රාත්‍රී ආර්ථිකය ශක්තිමත් කිරීමයි

සංචාරක රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ

රට දියුණු කළ හැකි හොඳම මාර්ගය රාත්‍රී ආර්ථිකය ශක්තිමත් කිරීම බවත් එය මෙරටට අත්‍යාවශ්‍ය බවත් සංචාරක රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේදී සඳහන් කළාය.

සංචාරක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් ඇමැතිවරිය මේ බව සඳහන් කළාය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැතිවරිය මෙසේ ද සඳහන් කළාය.

දහවල් ආර්ථිකයෙන් රටට ලැබෙන්නේ 30%ක පමණ ආදායමක්. රාත්‍රී ආර්ථිකයෙන් 70% මුදලක් මෙරට ආර්ථිකයට ලැබෙනවා. එමෙන්ම මෙරටට පැමිණෙන කාන්තා සංචාරකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ආණ්ඩුව වගකිවයුතුයි. ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා.

මෙම ක්‍රමය නියාමනය කර සංචාරකයන් සඳහා පැකේජ හඳුන්වා දිය යුතුයි.

ආණ්ඩුව සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා. සංචාරක කර්මාන්තය නැවත ගොඩනැඟීමට කටයුතු කරනවා.

මම හැමදාම කතා කරන්නේ නයිට් ලයිෆ් එක ගැන. සංචාරකයෝ මේ රටට ඇවිත් රෑ 10ට නිදාගත්තොත් ඔවුන්ගෙන් මුදල් ලබා ගන්න ක්‍රමයක් නැහැ. මේ රටට කියන්නේ සංචාරක පාරාදීසය කියලා. ඇත්තටම මේ දේවලට රාත්‍රියට ඇරල තියන්න ඕනෑ දේවල් තිබෙනවා. සුරාබදුවලින් තමයි මෙරටට වැඩිම ආදායම් බදු ලැබෙන්නේ. ඒත් අද රෑ 11න් පස්සේ බාර් ටික වහලා. එතකොට අපි කොහොමද සංචාරකයන්ගේ මුදල් ටික ගන්නේ? අපි මේවා ඇරලා තියන්න ඕනෑ. බොන්න කන්න, විනෝද වෙන්න, සින්දු අහන්න අද ගොඩක් රාජ්‍යයන් දියුණු වෙලා තියෙන්නේ රාත්‍රී ආර්ථිකයෙන්. කෞතුකාගාරය සවස 5.00ට වහනවා. කෞතුකාගාර ඇරලා තියන්න ඕනෑ. ග්‍රීසිය කියන්නේ අපි වගේ ආර්ථික අර්බුදයට ලක් වූ රටක්. අද ලෝකයේ වැඩිම ජාත්‍යන්තර ගුවන් තොටුපොළ හදලා තිබෙන්නේ ග්‍රීසියේ. ඔවුන් වෙනස් විදියකට සිතමින් සංචාරක කර්මාන්තය දියුණු කර තිබෙනවා.


චීනයෙන් ලංකාවට දුන් ණය කපා හැරීම ප්‍රතිව්‍යුහගත කිරීම නොකළ හොත් චයිනා ගෝ හෝම් යන සටනට නායකත්වය දෙනවා

මන්ත්‍රී ශානක්‍යන් රාසමානික්‍යම්

චීනයෙන් ලංකාවට දී ඇති ණය කපා හැරීමක් හෝ ප්‍රතිව්‍යුහගත කිරීමක් නොකළ හොත් 'චයිනා ගෝ හෝම්' යන සටනට නායකත්වය ලබා දෙන්න මා සූදානම් බව මඩකළපුව දිස්ත්‍රික් මන්ත්‍රී ශානක්‍යන් රාසමානික්‍යම් මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (02) පැවසීය. අය වැය තෙවැනිවර කියැවීමේ විවාදයේ දී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

දැවන්ත ආර්ථිකයක් හිමි චීනයට ශ්‍රී ලංකාවට ලබා දී ඇති ණය කපාහැරීමට හෝ ප්‍රතිව්‍යුහගත කිරීමට හැකියි. එසේ නොකරන්නේ නම් ගෝඨා ගෝ හෝම් සේ චයිනා ගෝ හෝම් කිරීමටත් කටයුතු කරනවා.

චීන රජයට සහ චීන තානාපති කාර්යාලයට කියන්න කැමැතියි අපේ රටේ මිලියන 22ක් වන ජනතාවගේ අනාගතය වෙනුවෙන් ජාති, පාට, පක්ෂ භේදයකින් තොරව එකතු වන බව.

වනජීවී සහ වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් උතුරු නැඟෙනහිර ජනතාවට විශාල බාධාවන් එල්ල වෙනවා. මේ පිළිබඳ අවධානය යොමු කර ඒ ජනතාවට නිදහසේ ගොවිතැන් කර ගැනීමට ඉඩ දෙන්නැයි ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.


වනජීවි ඇමැති වුණ මට ලැබුණේ හෙණ්ඩුව පමණයි

මන්ත්‍රී සී. බී. රත්නායක

මා වනජීවි අමාත්‍යාංශයේ ඇමැතිවරයා ලෙස කටයුතු කරද්දී මට ලැබුණේ හෙණ්ඩුවක් පමණක් යැයි නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී සී. බී. රත්නායක මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (02) පැවසීය.

අය වැය තෙවැනිවර කියැවීමේ විවාදයේ දී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කෙළේය.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

අත් කකුල් නැති වන සතුන් එකතු කර ඔවුන් එක තැනකට යොමු කර නඩත්තු කරන්න කටයුතු කරන්න.

වනජීවී සහ පරිසරය කියන්නේ සංවේදී අමාත්‍යාංශයක්. එම අමාත්‍යාංශ ජන ජීවිතයට හුස්ම ගන්න තිබෙන අමාත්‍යාංශය ලෙසයි මම දකින්නේ. අනාගතයේ දරුවන් වෙනුවෙන් මෙය ආරක්ෂා කරන්න ඕනෑ. ඒ වගේම වනජීවි අමාත්‍යාංශය හරහා සංචාරකයන් ගෙන්වා ගත හැකි වැඩපිළිවෙළ රැසක් ක්‍රියාත්මක කළ හැකියි. ඒ සඳහා සංචාරක බංගලා තිබෙනවා. එය සංවර්ධනය කරන්න, වැව් තාවුල් තිබෙනවා. මේවා සංචාරකයන්ගේ ආකර්ෂණය ලබාගත හැකි වන පරිදි සකස් කරන්න. එවැනි දේවල් තිබෙද්දි සමහරු ගස්වලට සිවුරු අන්දලා අමුතු දේවල් කරන්න ගියා.


විපක්ෂයේ සමහර මන්ත්‍රීවරුන්ගේ හැසිරීම ඉතාම අශෝභනයි

කථානායක මහින්ද යාපා අබේවර්ධන

විපක්ෂයේ සමහර මන්ත්‍රීවරුන්ගේ හැසිරීම ඉතාම අශෝභන බවත්, ඔවුන් තේරුමක් නැති පල් හෑලි කතා කිරීම නිසා සභාවේ වටිනා කාලය නිකරුණේ නාස්ති වන බවත් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (02) පැවසීය.

කාලය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් පැන නැඟුණු අවස්ථාවේදී කථානායකවරයා මේ බව සඳහන් කළේය.

තවදුරටත් කථානායකවරයා මෙසේ ද පැවසීය.

'විපක්ෂයේ කණ්ඩායමෙන් තමයි වැඩිම කරදරය සිදුවන්නේ. මන්ත්‍රීවරුන්ට කතා කරන්න හැකියාව තියෙනවා. ඒත් විනයක් නැතුව හැසිරෙන්න ඉඩ දෙන්න බෑ'

කථානායකවරයා - මන්ත්‍රීතුමා ඔබතුමා දන්නවා සමහර වේලාවට බලහත්කාරයෙන් නැඟිටලා මෙතන කතා කරනවා. ඔබතුමාලා කොයි වේලාවෙවත් එය නතර කරන්න උත්සාහ නොගැනීම ගැන ඉතාම කනගාටු වෙනවා. මන්ත්‍රී කණ්ඩායම පාලනය කිරීම මගේ වගකීමක් නොවෙයි, ඔබේ වගකීමක්.

කථානායකවරයා - විපක්ෂයේ මන්ත්‍රීවරු කතා කරන එක ගැටලුවක් නැහැ.

කිරිඇල්ල මහතා - අපි ඔබතුමත් එක්ක අමනාපයක් නැහැ. ඔබතුමා අපිට කතා කරන්න ඉඩ දෙනවා. අපි ඔබතුමාත් එක්ක තරහ නැහැ.

කථානායකවරයා - මගෙත් කිසිම තරහක් නැහැ.

කිරිඇල්ල මහතා - අපි කිව්වනේ 09යි 10යි දෙන්න කියලා. ආණ්ඩු පක්ෂයෙන් කැමැති වුණේ නැහැ. 09-10යි ඔබතුමන්ලා වෙන වැඩ දාගත්තා. මේක අපේ වැරැද්ද නොවෙයි. ආණ්ඩුව තමයි න්‍යාය පත්‍රය හදන්නේ. විපක්ෂ නොවෙයි නේ.

කථානායකවරයා - විපක්ෂයේ ඉල්ලීම මතයි මෙය කළේ. විපක්ෂයෙන්මයි 09-10 ගන්න එපා කිව්වේ. 8 වැනිදට මෙය නතර කරන්න කියලා ඉල්ලීම කරන්න ඕනේ විපක්ෂයෙන්.

 

නව අදහස දක්වන්න