CID හිටපු අධ්‍යක්ෂවරයාට පොලිස් ආරක්‍ෂාව | දිනමිණ

CID හිටපු අධ්‍යක්ෂවරයාට පොලිස් ආරක්‍ෂාව

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාට පොලිස් ආරක්ෂාව ලබාදෙන බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දන්වා සිටියේය.
 
සිය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පියවර ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශානි අබේසේකර මහතා විසින් ගොනුකළ පෙත්සමක් අද (05) කැඳවූ අවස්ථාවේදී අතිරේක සොලිස්ටර් ජනරාල් රොහන්ත අබේසූරිය මහතා එම දැනුම්දීම සිදුකළේය.
 
මෙහිදී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කර සිටියේ, පෙත්සම්කාර ශානි අබේසේකර මහතාගේ ආරක්ෂාව සඳහා ආයුධ සන්නද්ධ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ලබාදීමට කටයුතු කරන බවය.
 
ඊට අමතරව නිවසේ ආරක්ෂාව සඳහා එක් නිලධාරියෙකු ලබාදීමට කටයුතු කරන බවත් ඔහු දන්වා සිටියේය.
 
එමෙන්ම සිය පදිංචි ස්ථානය වෙනස් කිරීමට පෙත්සම්කාර ශානි අබේසේකර මහතා කැමැත්ත දක්වන්නේ නම් ඒ සඳහා වෙනස් ස්ථානයක් ලබා දීමටත් සූදානම් බව වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජෙනරාල්වරයා පැවසීය. 
 
මෙහිදී ශානි අබේසේකර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් එම දැනුම්දීම සම්බන්ධයෙන් තම සේවාදායකයා සෑහීමට පත්වන බව දන්වා සිටියේය.
 
අනතුරුව අදාළ පෙත්සම දෙසැම්බර් මස 15 වනදා කැඳවන බවට නියෝග කෙරුණි.
 
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරිය, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ.
 
පෙත්සම්කාර ශානි අබේසේකර මහතා කියා සිටින්නේ, තමන්ට ජීවිත තර්ජන එල්ල වී ඇති බැවින් ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දෙන ලෙස තමන් විසින් වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරිය වෙත ඉල්ලීමක් කළ බවය.

නව අදහස දක්වන්න