රජයේ තීරණවලට අවනත නොවීම හේතුවෙන් ලංගම සභාපතිට ඉල්ලා අස්වෙන්නැයි ඇමැති බන්දුල‍ගෙන් නියෝග | දිනමිණ

රජයේ තීරණවලට අවනත නොවීම හේතුවෙන් ලංගම සභාපතිට ඉල්ලා අස්වෙන්නැයි ඇමැති බන්දුල‍ගෙන් නියෝග

CITY බස් සේවාව හිතුමතේ නවත්වලා

ජනතාවට පහසුකම් සැලසීම සඳහා රජය ප්‍රතිපත්තිමය වශයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කෙරෙහි අවනත නොවීම හේතුවෙන් ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතාට වහාම ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් දැනුම් දී තිබේ.

මාකුඹුර බහුවිධ මධ්‍යස්ථානයේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය කිරීමට 2021.07.15 සිට යොදවා තිබූ සිටි බස් සේවාව කොවිඩ් ව්‍යාප්තිය සමඟ නවතා දමා පසුව ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් 2022.7.15 සිට ආරම්භ කරන්නට පියවර ගෙන තිබිණි.

එම බස් සේවාව ඇමැතිවරයාට හෝ නොදන්වා හදිසියේ නතර කිරීමට සභාපතිවරයා කටයුතු කර ඇති බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඇමැතිවරයා විසින් යොමු කළ ලිපියක දැක්වේ.

මෙම බස් රථ සේවාව මඟින් අවිස්සාවේල්ල, හෝමාගම හා අවට ප්‍රදේශවලින් කොළඹ බලා ගමන් කිරීමට කාර්යාල මණ්ඩල හා සෙසු මඟීන්ට තමන්ගේ වාහනය බහුවිධ මධ්‍යස්ථානයේ ගාල් කර බස් සේවාවෙන් කොළඹට පැමිණීමට පහසුකම් සලසා තිබිණි. එමෙන්ම එමඟින් මඟී තදබදය අවම කර ගැනීමටත් වායුගෝලයට එකතු වන කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය අවම කර ගැනීමටත් හැකියාව ලැබී ඇත. මෙම ජනප්‍රිය සේවාව නොදන්වා නතර කිරීමට ලංගම අධ්‍යක්ෂ මණ්ඩලය කටයුතු කර ඇති බවට තොරතුරු තමන්ට ලැබුණු බවද ඇමැතිවරයා සිය ලිපියේ සඳහන් කර තිබේ.

අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලබන තීන්දු තීරණ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් හිතාමතාම ක්‍රියාත්මක නොකිරීම මේ සඳහා බලපා ඇති ආසන්නතම හේතුව වන අතර, රජය විසින් අරමුණු කර ඇති ජනහිතවාදී ඉලක්කයන් කරා ආයතනය රැගෙන යාමට සිය දායකත්වය ලබා නොදීම ද මෙම තීරණයට හේතු වී තිබේ. ඒ අනුව 2005 අංක 27 දරන ලංකා ගමනා ගමන මණ්ඩල පනත පළමු කොටසේ පස්වන වගන්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා ලංගම සභාපතිවරයාට ඉල්ලා අස්වන ලෙස දැනුම් දී තිබේ.

සුභාෂිණි සේනානායක,

උපාලි කරුණාරත්න

නව අදහස දක්වන්න