පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 5000ක් අද සුගතදාස පිහිනුම් තටාකයට | දිනමිණ

පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 5000ක් අද සුගතදාස පිහිනුම් තටාකයට

නිරෝෂාන් ප්‍රියංකර

ශ්‍රී ලංකා පාසල් ජල ක්‍රීඩා සංගමය නෙස්ලේ ලංකා සමාගමේ ‘මයිලෝ’ අනුග්‍රහය ඇතිව අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ සංවිධාන කරන 47 වැනි පාසල් පිහිනුම් හා කිමිඳුම් තරගාවලිය අද (7) කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේදී ආරම්භ වෙයි.

‘මයිලෝ’ මේ තරගාවලියට අනුග්‍රාහකත්වය ලබාදෙන 29 වැනි අවස්ථාව මෙයයි.

වසර 2කට නිහඬතාවකින් පසු පැවැත්වෙන මෙවර තරගාවලිය මේ මස 11 වැනිදා දක්වා පැවැත්වෙන අතර, ඊට පාසල් 232ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 5000කට අධික සංඛ්‍යාවක් සහභාගි වීමට නියමිතය.

කනිෂ්ඨ සහ ජ්‍යේෂ්ඨ ලෙස වයස් කාණ්ඩ 6ක් යටතේ පැවැත්වෙන තරගාවලියේදී තරග ඉසව් 164ක් පැවැත්වෙන අතර, එහිදී අවුරුදු 10, 12, 14, 16, 18 සහ 20න් පහළ වයස් කාණ්ඩ යටතේ කේවල තරග 140ක් සහ සහාය ඉසව් 24ක් පැවැත්වෙනු ඇත.

අවුරුදු 10 සහ 12න් පහළ වයස් කාණ්ඩවලින් ස්ථාන තේරීමක් සිදු නොවන අතර, එම තරගවල පරිසාධන මට්ටම හෝ ඊට අඩු කාලයක් වාර්තා කරන තරගකරුවන්ට සහතිකපත් පිරිනැමේ. සෙසු වයස් කාණ්ඩවල මුල් ස්ථාන 8 සඳහා සහතිකපත් හිමිවන අතර, මුල් ස්ථාන 3 දිනා ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පදක්කම් පිරිනැමීමට නියමිතය. එම වයස් කාණ්ඩවල දක්ෂතම ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව තෝරා විශේෂ සම්මාන පිරිනමන අතර, දක්ෂතම පාසලට ද කුසලාන හිමි වේ.

මේ තරගාවලියේදී කනිෂ්ඨ බාලක-බාලිකා, ජ්‍යෙෂ්ඨ බාලක-බාලිකා, මිශ්‍ර පාසල් සමඟ සමස්ත බාලක සහ බාලික ශූරතා පිරිනැමෙන අතර, ඒ අනුව පිරිනැමෙන සමස්ත ශූරතා සංඛ්‍යාව 23කි.

මෙවර තරගාවලියේ සහාය තරග සඳහා බාලක කණ්ඩායම් 275ක් සහ බාලිකා කණ්ඩායම් 180ක් එක් වන අතර, කිමිඳුම් තරගාවලිය සඳහා ක්‍රීඩකයන් 274ක් සහ ක්‍රීඩිකාවෝ 110ක් සහභාගී වීමට නියමිතය.

අද තරගාවලියේ සමාරම්භක උත්සවය අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේම්යන්ත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර, සමාප්ති උලෙළ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්.එන්. රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනු ඇත.

අවසන් වරට (2019) පැවති මේ තරගාවලියේදී මිශ්‍ර පාසල් ශූරතාව දිනා ගැනීමට වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල සමත් වූ අතර, බාලක ශූරතාව මරදාන සාන්ත ජෝසප් විදුහලටත්, බාලිකා ශූරතාව කොළඹ විශාකා විදුහලටත් හිමි විය.

නව අදහස දක්වන්න